ඔබේ කඳුළු මට දෙන්න
මගෙ සිනහව ඔබ ගන්න
ශාස්ත්‍රපති
මහගල්වැවේ විමල හිමි
ලොව මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම මනෝ විද්‍යාඥයා, මනෝ විශේෂඥවරයා බුදුරජාණන් වහන්සේ ය.
උන්වහන්සේගේ දේශනාවන් තුළ මනෝ දර්ශනයක්, මනෝ විශ්ලේෂණයක්, මනෝ විද්‍යාවක්, මනෝ
උපදේශනයක් හා මනෝ චිකිත්සාවක් පරිපූර්ණ වශයෙන් අන්තර්ගත ය.
බුදුරදුන්ගේ චරිතයත්, දර්ශනයත් සකලවිධ භාවිතයෙන් එකිනෙක සමාන ය. එම චරණය හා දර්ශනය
තුළ දැකිය හැකි සුවිශේෂ ලක්ෂණයක් වන්නේ, මනෝ කේන්ද්‍රීය හා මානව කේන්ද්‍රීය
පදනමකින් යුක්ත වීමයි. ඒ අනුව බුදු සිරිත හා බුදු දහම සකලාර්ථයෙන් ම පරිසමාප්ත මනෝ
උපදේශනයකි. සර්ව භෞමික වූ ත්, සර්වකාලීන වූ ත්, සකල සත්ව හිතෝන්නතිකාමී වූ ත් මෙම
සාරගර්භ ඉගැන්වීම් සමුදාය “බෞද්ධ” යන ලේබලය සහිත කොටු පවුරට සීමා නොවූයේ නම්, සමස්ත
මනුෂ්‍ය සංහතියට ම එයින් සලසා ගත හැකි “ආධ්‍යාත්මික සුවය” කියා නිමකළ නොහැකි ය.
ආදානග්‍රාහී වැට කඩොලු, සීමා බන්ධනවලින් මිදුණු නිදහස් හා මධ්‍යස්ථ මතධාරී දෙස්
විදෙස් බොහෝ පිරිස් බුදු දහමේ සුවය වෙත ආකර්ෂණය වෙමින් සිටිති. එහි දේශීය
නැඹුරුවටත් වඩා විදේශීය නැඹුරුව වැඩි ය. අද ලෝකය ගමන් ගන්නා, අති ධාවනකාරී භෞතික
දියුණුව ගැන සිතන විට මෙම ප්‍රවණතාව එන්න එන්න ම වැඩි වන බව ඉතා පැහැදිලි කරුණකි.
ජනතාවගේ කාලීන අවශ්‍යතාවන් අතර අද දවසේ ප්‍රමුඛස්ථානයක් ලැබෙන්නේ මානසික සහනයට ය.
ඔවුන්ගේ එම ඉල්ලුමට සරිලන පරිදි බුදු දහමේ මූලික හරය මඟින් සහනදායී ජීවන රටාවකට
අවශ්‍ය උපදේශනය ලබා දීම යුගයේ ප්‍රධානතම ආගමික කාර්යභාරය බවට පත්ව තිබේ. ඒ සඳහා
ආගමික ආයතන හා පූජ්‍ය පක්ෂය කෙ තරම් අනුග්‍රාහක මානසිකත්වයකින් හා සූදානමකින්
පසුවන්නේ ද යන්න පිළිබඳ පෙර සුබ නිමිති තව ම දක්නට ලැබෙන්නේ නැත. බෞද්ධාගමික
උපදේශනය හා මඟ පෙන්වීම මීට වඩා විධිමත් ව, ක්‍රමවත් ව හා කාලෝචිත ව සිදුවන්නේ නම්,
එනම් සතර සතිපට්ඨාන ප්‍රගුණතාව වැනි ක්‍රියාකාරකම් මඟින් ජීවිතය පිළිබඳ මනා
වැටහීමක්, හරි දැක්මක් ලබා දිය හැකි ය.
ඒ සඳහා වනගත විය යුතු ම නැත. වනගතවීම නිර්දේශිත වන්නේ භික්ෂූත්වයට ය. විවිධ ගැටුම්,
අභියෝග, අඹු දරු පෝෂණය ආදී ක්‍රියාකාරකම් සමඟ පොර බඳිමින් සිටින මිනිසා, එම
ජීවිතයෙන් පලා නොගොස්, එම ජීවිතයේ ම සිටිමින් ඒවාට මුහුණ දිය යුතු ආකාරයේ මානසික
ධනාරෝපණ උත්තේජනයක් එයින් සලසා දීම වඩාත් ප්‍රායෝගික ය.
අද ගිහි පැවිදි සම්බන්ධය, ගම පන්සල අතර සම්බන්ධය දුරස් ව ඇතැයි නිතර අසන්නට ලැබේ.
එහි සත්‍යයක් නැතැයි කිව නොහැකි ය. ඊට හේතු ද බොහෝ ය. පන්සලෙන් ගිහියා අපේක්ෂා
කරන්නේ ආධ්‍යාත්මික පෝෂණය, හා මානසික සුව සහනය යි. ඔහු පන්සලට පැමිණෙන්නේ එම
අරමුණින් වුව ද, පැමිණි පසු එම අරමුණ" බලාපොරොත්තු නොසිතූ පරිදි බිඳ වැටීම්වලට ලක්
වේ. බොහෝ පන්සල්වල ඉදිකිරීම් සහ අලුත්වැඩියා කටයුතුවල ඉවරයක් නැත. හැමදාමත් පන්සල්
වත්ත පුරා ගල් ගොඩවල් ය. වැලි ගොඩවල් ය. ලී ගොඩවල් ය. විවිධ ප්‍රශ්නවලින් විඩාපත්
ව, මානසික සහනය පතා පන්සලට පැමිණෙන මිනිසාට හාමුදුරුවන් සමඟ විවේකී ව කතා බහ කිරීමේ
අවකාශයක් නැත. හාමුදුරුවන්ට ඒ තරමට ම වැඩ රාජකාරී බහුල ය. කතා කළත් ඒ අලුතින් හදන
ගොඩනැඟිලි ගැන ය. අවසානයේ ඔහුට ඉන් පිටව යන්නට සිදුවන්නේ, පැමිණියාටත් වඩා පීඩාකාරී
සිතකින් යුතුව ය.
පන්සල් සෑදිය යුතු ය. ඒවා නඩත්තු කළ යුතු ය. ප්‍රතිසංස්කරණ කටයුතු කළ යුතු ය. එහෙත්
කෙතරම් පන්සල් විහාර, දාගැබ් රට පුරා ඉදි කළත්, ඊට සාපේක්ෂ ව මිනිසාගේ ආධ්‍යාත්මය ද
ගොඩනැඟෙන්නේ නැති නම් එය ප්‍රබල අඩුපාඩුවකි.
පැලෑනේ මහ නාහිමියන් පැවසුවා සේ ස්ථානයේ දියුණුවට වඩා වැදගත් වන්නේ සන්තානයේ
දියුණුව යි. මිනිසාගේ සන්තානයේ ගින්න එන්න එන්න ම බුර බුරා නඟීනම්, පුපුරා යන තරමට
මානසික පීඩනය වැඩි නම්, ආධ්‍යාත්මික සෝදා පාළුවේ ප්‍රතිවිපාක දිනෙන් දින උග්‍ර වේ
නම් කොහේ, කොතැනක, කාගේ, කුමක් හෝ අතපසු වීමක්, අක්‍රිය වීමක් සිදුවන බව දැන්වත් අප
වටහා ගත යුතු ය.
බොහෝ බෞද්ධයින් සිතන්නේ බුදු දහම යනු පරලොව සුඛිත මුදිතභාවය සඳහා පමණක් පින් දහම්
කර ගැනීමට මඟ පෙන්වන්නක් ලෙස ය. එය බුදු දහම ජනතාව වෙත ගෙන යාමේ සන්නිවේදන ක්‍රමවල
පවත්නා අඩුපාඩු සහ ඒකාකාරී බව, එනම් බුදු දහම පිළිබඳ සාවද්‍ය දැනුමක්, වැරැදි
අවබෝධයක් ජනතාව වෙත සන්නිවේදනය වීමෙන් ඇතිවන අඩුපාඩුවකි.
බුදු දහම පුද්ගලයන්ගේ මෙලොව ජීවිතයේ කායික, මානසික, සාමාජයීය හා ආධ්‍යාත්මික
සෞභාග්‍යය, සුව සහනය, සැනසීම පිණිස දේසිත දහමකි. එමෙන් ම එය දුක්ඛ මූලික නොව, සුඛ
මූලික දහමකි. බුදු බව සඳහා සිදුහත් බෝසතාණන් අනන්ත දුක් වින්ද බව සැබෑ ය.
බුද්ධත්වයේ සිට එම සකලාර්ථ චරණයෙන් ම නියෝජනය වන්නේ පර පීඩිත දුක්ඛයේ විමුක්තිකාරක
නියමුවාන කෙනෙකි. බුදු රදුන් වෙත පැමිණි හැම පීඩිතයෙක් ම තම කඳුළු, දුක් වේදනාවන්
උන්වහන්සේට දී උන්වහන්සේගේ අනන්ත අප්‍රමාණ සන්තුෂ්ටිය ඔවුහු ලබා ගත්හ. ඒ අනුව බුදු
සිරිතෙන් උජ්ජලිත වන්නා වූ මූලික ගුණාංගය වන්නේ “ඔබේ කඳුළු මට දෙන්න, මගේ සිනාව ඔබ
රැගෙන යන්න” නොවේද?
අපේ රටේ පරිසමාප්ත කලා සුන්දරත්වයෙන් යුත් බුද්ධ ප්‍රතිමාවල මුහුණ මන්දස්මිතයෙන්
සැරසී ඇත. එවන් ප්‍රතිමා සන්නිවේදනය පවා අපේ විඩාබර මනසට සහන පවන සලන සුලු ය.
අනුරාධපුර අවුකන බුදු පිළිම වහන්සේගේ හස්ත මුද්‍රාවෙන් “අසෝකං විරජං ඛේමං” නොබිය ව
නිශ්ශෝකී ව සිටීමට, ආශිර්වාද ධනාරෝපණයක් අප සිතට ලබා දෙයි.
පොලොන්නරුව ගල් විහාරයේ හිටි බුදු පිළිම වහන්සේ දුර්ලභ මුද්‍රාවකින් යුක්ත ය. එයින්
මිනිසුන්ගේ දුක දැක ඇතිවන භාව ප්‍රකම්පිත ය මැනවින් නිරූපිත ය. මේ නිසා ම එය “පර
දුක්ඛ දුක්ඛිත” මුද්‍රව යැයි පරණවිතානයෝ නම් කළහ.
“එන්න මා වෙත
මම ඔබට පිහිට වෙමි
ඔබේ දුක දුන මැනවි මට
මගේ සතුට ගනු මැනවි ඔබ”
මෙවන් හද නිවන ආරාධිත ප්‍රකාශනයක් සම්භාව්‍ය සම්බුද්ධ ප්‍රතිමාවන්හි ඇතුළත් ය. මේ
පණිවුඩය හැමවිට හැම හදකට ම ස්පර්ශ නොවන්නට පුළුවන. එහි පහස අප ඇතුළාන්තයට දැනෙන්නේ
එවන් දයාර්ද්‍ර ආමන්ත්‍රණයක අවශ්‍යතාව අත්‍යවශ්‍ය ම වූ, පීඩිත මානසිකත්වයෙන්
හෙම්බත් ව සිටින අවස්ථාවක ය. එවන් අවස්ථාවක වුව ද අපට එය ප්‍රබෝධක අනුභූතියක් වන්නේ
බුද්ධ ආධ්‍යාත්මය පිළිබඳ අප ආධ්‍යාත්මය තුළ විකසිත ව ඇති අවෙච්චප්පසාදයේ අඩු වැඩි
බව මත ය.
මහගමසේකර හා අමරදේව යන අද්විතීය ද්විත්ව සුසංයෝගයෙන් බිහි වූ පහත සඳහන් සම්භාව්‍ය
ගීතය අවෙච්චප්පසාදනීය වූ අනුභූතියක අග්‍රගණ්‍ය භාව ප්‍රකාශනයකි.
ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැලවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්
නොඅදහා බුදු කෙනකු දෙවියකු
මානයෙන් වල්මත් ව සිටි මම
ගලක් යැයි ඔබ සිතා සිටියෙමි
තෙතක් හෝ කිසි දයාවක් නැති
ගලින් කළ ඔබ හදින් වෑහෙන
මහා කරුණා ගුණය නොපෙනිණි
අහිංසක හදවත්හි උපදින
මෙලෙක් සංකල්පනා සිතුවිලි
ගලින් කළ ඔබ හට ම මිස ලොව
ගලින් කළ අයට නම් නෑහෙයි
කෙලෙස් මළ පිරි නුවර අතහැර
බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආයෙමි පොළෝ තලයේ
අනෙක් පිහිටක් නොමැති වූ විට
(මහගමසේකර - සක්වා ලිහිණි)
බුද්ධ ප්‍රතිමාවකින් පවා අපට මෙවන් මානසික විවේකයක්, සුවයක් ලද හැක්කේ එහි මායා
ආකර්ෂණයක් නිසා නම් නොවේ. එයින් මූර්තිමත් වන දයා කරුණා ගුණ මහිමය නිසාම ය.
අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා ධාරා
මෙහි ඇත්තේ මනෝ විරේකයකි. සිතෙහි, හදෙහි තෙරපෙන දුක්ඛ වේදනාවන්, බුදු සිරිපා අබියස
නිදහසේ ගලා යාමට ඉඩ හැරීමයි. සිග්මන් ප්‍රොයිඩ් ද නිදහස් සංඝටනය
(Free Association) නමින් මෙවන් ක්‍රමයක් භාවිත කර ඇත.
බුදු රදුන් කිඹුල්වත් පුරයේ මාලිගාවට වැඩිය අවස්ථාවේ යශෝධරා දේවිය සැනසීමට පිය
රජතුමා සමඟ උඩු මහලට ද වැඩිය හ. එහි දී යශෝධරාව බුදු රදුන්ට වැඳ සිරි පතුල් බදාගෙන
හඬා වැටෙන්නට වූවා ය. සුදොවුන් රජතුමා ඇය වැළකීමට සූදානම් වූ අවස්ථාවේ, බුදුරජාණන්
වහන්සේ එසේ නොකරන ලෙස අඟවා, ඇයට ඇතිතාක් හඬන්නට ඉඩ හළ හ. යශෝධරාව ගැන හොඳින් ම
දන්නේ බුදු රදුන් ය. ඒ නිසා ම දිගු කලක් ඇය පපුවේ හිර කර ගෙන සිටි දුක් ගින්දර
කෙතරම් ද යන්න හොඳින් ම දන්නේ ද බුදු රදුන් ම ය. එතරම් කලක් යටපත් කරගෙන සිටි
මානසික පීඩනය බුදු රදුන් දුටු විගස නැවත ඉස්මතු විය. ඇය කඳුළු මඟින් පිට කළේ එම
තෙරපීම ය. බුදු රදුන් ඇයට එසේ රිසි සේ එය පිට කරන්නට ඉඩ දුන්නේ එයින් මනෝ විරේකයක්
සිදු වන බව දන්නා බැවිනි.
හැම කෙනකු ම වාගේ අන්ත අසරණ අවස්ථාවන්ට පත්වන බව අප හොඳින් දන්නා කරුණකි. එවන්
අවස්ථාවක අපේ දුක නිදහසේ කියා ගැනීමට නම්, එය නිදහසේ සාවධාන ව මුළු හදින් ම අසන
කෙනකු ද සිටිය යුතු ය. අපට සවන් දෙන්නට කෙනකු නොමැති වූ විට, අප තව තවත් අසරණභාවයට
පත් වේ. ඉහත සඳහන් අමරදේවයන් ගයන ගීතයේ “සොයා ආයෙමි පොළෝ තලයේ - අනේ පිහිටක් නොමැති
වූ විට” යැයි සඳහන් වන්නේත්, ඇසේ මතුවන කඳුළු බිඳු සහ හදේ මැළවෙන කැලෑ මල් ගැන
සඳහන් වන්නේත් එවන් අසරණ පීඩාකාරී අවස්ථාවක් ගැන නො වන්නේ ද? තම දුක අසන්නට පොළෝ
තලයේ අන් කිසිවකු නැතත්, බුදුරදුන් අපේ දුක අසන්නට, අපට පිහිට වන්නට සැම දා සෑම
මොහොතක ම අප දෙස බලා අප සමඟ ම සිටිනවා යන ඒකායන විශ්වාසය අප තුළ තහවුරු ව ඇත. ඒ
අනුව බුදු රදුන් අප හදෙහි විකසිත, ජීවයෙන් පිරි, වටිනා උසස් මල් පමණක් නොව, හදවතේ
මැළැ වී ඇති නො වටිනා කැලෑ මල් ද සම සිතින් පිළිගැනීමට නිහතමානී ව සැදී පැහැදී වැඩ
සිටිති. |