[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් අමාවක පෝ දා 2024-10-31

සැබෑ දිනීම

ලෞකික ජීවිතය සාර්ථක කර ගන්නවා යනු ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වීම පමණක් නොවේ. භෞතික සම්පත් තරමට ම ආධ්‍යාත්මික ගුණ ධර්ම ද වර්ධනය කර ගත යුතු ය. පුරුදු පුහුණු කළ යුතු ය. එවිට ය බෞද්ධයාගේ ඒකායන අරමුණ වන උතුම් නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමේ මාර්ගයට පැමිණියා වන්නේ. පුද්ගලයකු තුළ වර්ධනය කර ගත යුතු ඒ උතුම් ගුණ ධර්ම අතර ඉවසීමේ ගුණය ද උතුම් කොට සැලකේ.

යම් අකටයුත්තක් නොවන තුරු තමන්ට හොඳ ඉවසීමේ ගුණයක් ඇතැයි කෙනකුට සිතෙන්නට පුළුවන. ඔහුගේ හෝ ඇයගේ හෝ පැවතුම් දකින අයට ද ඉවසිලිවන්තයෙකු යැයි සිතෙන්නට පුළුවන. එහෙත් තමන් නුරුස්නා දෙයක් සිදු වූ කල සිත තුළ නිදා සිටි නො ඉවසීමේ දුර්ගුණය මතුවනවා නම් ඒ පුද්ගලයා ඉවසීමේ ගුණයෙන් යුතු යැයි සිතිය නොහැකි ය.

නො ඉවසීම නිසා තමන්ගේ ජීවිතයට සේ ම ජීවත්වන ගෙදර දොරට, සමාජයට ද අනර්ථය කළෝ බොහෝ ය. බුද්ධ කාලයේත් එවැන්නෝ සිටියහ. අද ද සිටිති.

කෙනකුට අන්‍ය මත ඉවසිය නො හැකි ය. තවත් කෙනකුට අනුන්ගේ දියුණුව ඉවසිය නො හැකි ය. එක්කෝ තමන්ගේ පරාජය දරාගත නොහැකි ය. දිනුම ලද අයට බොරු චෝදනා කරමින් ඔවුන් අපකීර්තියට, විනාශයට පත් කරන්නට ද්වේෂ සහගත සිතින් ක්‍රියාත්මක වන්නෝ ද වෙති. සමාජය තුළ වන ඇතැම් ක්‍රියාකාරකම්, වචන භාවිතය දකින, අසන කුඩා දරුවකුට වුව එය තේරුම් ගැනීම අපහසු නැත.

බෞද්ධ සමාජයට මේ අවගුණය කිසිසේත් ම කැප නොවේ. එය ජීවිතයට අකුසල් රැස් කරන්නකි. එක් අවස්ථාවක තථාගතයන් වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා කළ දේශනාවක මෙසේ සඳහන් ය.

එක්තරා ගම්මානයක් අසල මහා සාල වනයක් විය. එහෙත් ගසින් ගසට පිළිල වර්ධනය වීම නිසා මේ ගස් වර්ධනයෙන් බාල විය. මේ දුටු මිනිසෙක් සාල වනයට පි‍්‍රය වූයේ එම දූෂිත අතුරු වැල් කපා ශුද්ධ පවිත්‍ර කොට සල් ගස් හොඳින් පෝෂණය කළේ ය. එතැන් පටන් ඒ සාල වනය මනාව වැඩුණි. බුදුරජාණන් වහන්සේ මේ කතාව ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ අර පුද්ගලයා පිළිල උපුටා දමා සාල වනය පිරිසුදු කළා සේ තමන් තුළ වන අකුසල දුරු කළ යුතු බව ය. නැවත නැවත කුසල ධර්මයන් හි පිහිටිය යුතු බව ය.

නො ඉවසීම නිසා හිමි වන්නේ ම මානසික ව්‍යාකූලත්වයකි. විනාශයකි. පසුබෑමකි. ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැකි බව ජනවහරේ එන කියමනකි. දුර්ගුණයන්ට තමන් මෙහෙයවන්නට ඉඩ දෙන්නට අඥාන නොවීමට බෞද්ධයා සමත් විය යුතු ය. ඒ සමර්ථ බව ඇති කර ගන්නට ධර්මෝපදේශ අපමණ ය. කල්‍යාණ මිතුරන් ඇසුරින් ඒ මහඟු මිණි තමන් තුළ ප්‍රායෝගික කර ගත යුතු ය. බුදු බණ සිහිපත් කරමින් මේ දුර්ගුණ සිත තුළ වැඩීමේ ඉඩ අහුරා දැමීමට සමත් විය යුතු ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ යම් කෙනෙක් කොයි ආකාරයෙන් හෝ කෙනකුට යම් වචනයක් කියන්නේ ද? මගේ සිත මෛත්‍රි සහගත ය. ඒ සිත මේ වචන නිසා වෙනස් නොවන්නේ ය. පහත් වචන නො කියන්නේ ය. හිතානුකම්පී ව, මෙත් සිතින් ම වාසය කරන්නේ ය. ඒ කියන පුද්ගලයා වෙත මෛත්‍රිය පතුරුවා සිටින්නේ ය. ඒ මෙත් සිත ලොව සියලු සතුන් වෙත පතුරුවා අවෛරී ව, ද්වේෂ රහිත ව, වසන්නෙම්'යි ආදී ලෙස සිත හික්මවා ගත යුතු බව ය. මේ ධර්මෝප දේශ ජීවිතයට පුරුදු පුහුණු කරවීම ජීවිතය බොහෝ ප්‍රශ්නවලින්, අපරාජිත හැඟීම්වලින් මුදවා ගනියි. අකුසලයෙන් වළක්වා ගනියි. ඒ තුළ මේ ජීවිතය සේ ම මරණින් මතු ද සැප සදයි. ඒ සැබෑ දිනීමයි.

වප් අමාවක

 ඔක්තෝබර් 31 බ්‍රහස්පතින්දා අ.භා. 03.53 අමාවක ලබා නොවැම්බර් 01 සිකුරාදා
අ.භා. 06.16 ගෙවේ.
31 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

First Quarterපුර අටවක

නොවැම්බර් 09

Full Moonපසළොස්වක

නොවැම්බර් 15

Second Quarterඅව අටවක

නොවැම්බර් 23

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]