[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සද්ධර්මය ඇසුමත් සත්පුරුෂ ඇසුරත් පරම මිහිරකි

සද්ධර්මය ඇසුමත් සත්පුරුෂ ඇසුරත් පරම මිහිරකි

බුදුදහම ආගමකට සීමා කිරීම යෝග්‍ය නොවේ. එය ආගමකට ඔබ්බෙන් එහා ගිය දැක්මකි. එපමණක් ද නොවේ. ආගමක් හා දර්ශනයක් ද අභිබවා ගිය විමුක්ති මාර්ගයකි. මේ අයුරින් එහි නිෂ්ටාව වනුයේ මිදීමකි. ඒ කුමකින් මිදීමක් ද? මෙලොව - පරලොව හා සසර යමකුට ඇති දුක් කන්දරාවක් වේ ද?, ඒ සියල්ලෙන් මිදීමකි. මේ මිදීම කළ හැක්කේ තමාට ය. ශාස්තෘ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිදුකරනුයේ මුදවාලීම ය. එනම් ඒ මඟ කියා දීම ය. ඒ මඟ කුමක් දැයි විමසමු.

“තුමෙමහි කිච්චි ආතප්පං - අක්ඛාතාරො තථාගතා
පටිපන්නා පමොක්ඛන්ති -ක්‍ධායිනො මාරබන්ධනා”

(ධම්මපදය මග්ග වග්ගය ගාථාව 276/ ඛු.නි. - 1 -පි 94)

“දැන් ඔබ විසින් සම්‍යක් ප්‍රධන් වීර්යය යොදා කෙලෙස් තවන්න. සර්වඥයෝ හුදෙක් නිවන් මඟ කියන්නාහු ම වෙති. (අතින් අල්ලා ගෙන ගොස් නිවන් පමුණුවන්නේ හෝ තථාගත බලය යොදා සියලු දුකින් මුදවන්නෙක් හෝ නොවේ) මේ මඟට පිළිපන් සමථ - විදර්ශනා ධ්‍යාන වඩන නුවණැති යෝගාවචරයා තෛ‍්‍රභූමික වට නම් වූ මාර බන්ධනයෙන් මිදෙන්නාහු”ය.

මාරයාගේ මේ “තෛ‍්‍රභූමික වට” නම් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා (පටිච්චසමුප්පන්න) ධර්මයෝ ය. සංසාර වට්ට ධර්මයෝ ය. සත්වයා සසර පුරා ඉපිද මැරෙමින් - ඉපිද මැරෙමින් යන දුකින් පිරී හේතු ඵල ධර්මයෝ ය. ඵල හේතු ධර්මයෝ ය. මේවා වට තුනක් ලෙස බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට දෙසා ඇත්තේ ය. එනම් : අවිජ්ජා - සංඛාරා - විඤ්ඤාණ - නාමරූප - ෂඩායතන යනුවෙන් වූ ධර්මතා පහ කම්ම වටය යනුවෙන් ද ඵස්ස, වේදනා, තණ්හා - උපාදාන යන සතර ක්ලේශ වට්ටය ලෙසින් ද භව, ජාති, මරණ යන ධර්මතා තුන විපාක වට්ටය වශයෙන් ද වෙති.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ අනුශාසනාව තේරුම් ගැනීමට (අවබෝධ කර ගැනීමට) ශ්‍රාවක අපට ඕනෑකම තිබේ නම් අප විසින් කළ යුත්තේ කුමක්දැයි යන්න ද මෙම ගාථාවේ ම දක්වා ඇත. අපි උපන් දා පටන් මරණය දක්වා වූ ජීවිත කාලය තුළ සුළු ආස්වාදයකට ( මද වින්දනයකට) මුළා ව එකොළොස් ගින්නකින් දැවෙමින් ජීවිතය ගෙවන බව පළමු ව වටහා ගත යුතු ය. එම ගිනි නිවා දැමීම නිවනයි. ඒ වැටහීම උපයෝගී කොට සතර ප්‍රධන් වීර්ය යොදා කෙලෙස් (සසර පුරා ගෙන ආ කර්ම) හා මෙලොව උපන් පසු සිදු කර ගන්නා කර්ම (ක්‍රියා) නම් වූ උපක්කිලෙසයෝ තවන්නට (අතප්පං) වෑයම් කළ යුතු ය.

මේ සඳහා සත්පුරුෂ ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, සතියෙන් යුතු ව කාලය ගෙවීම හා උගත් සද්ධර්මයෙහි හැසිරිය යුතු ය යන්න බුද්ධ සදූපදේශ වෙති.

මේ අතර ගාථාවේ සඳහන් ප්‍රධන් වීරියය නම් කවරේ ද? ඒ සතරෙකි.

(1) නො කළ පව් නො කිරීමට වීර්යය කිරීම

(2) කරන පව් නතර කිරීමට වීර්යය කිරීම (3) නො කළ පින් හා කුසල් වේ නම් (යහපත් දක්ෂතා) ඒවා කරන්නට පටන් ගැනීම සඳහා වීර්යය කිරීම හා

(4) කර ගෙන යන පින් හා කුසල් නො නවත්වා කර ගෙන යාමට වීර්යය කිරීමත් ය.

අමේ අයුරින් අප වීර්යය වඩන්නේ ද, කෙලෙස් තැවීම ද පටන් ගත්තා වේ.

මේ සඳහා තවත් පරිවාර (පිහිටවන) වීර්යය තුනක් ද බුද්ධානුශාසනාවේ තිබේ. ඒවා නම් (1) ඉහත කී ආකාරයේ යම් සම්මා වාචා, සම්මා කම්මන්ත, (ක්‍රියාකාරකම්) සම්මා ආජීවයක් (යහපත් දිවි පැවැත්මක්) යමෙක් ආරම්භ කළේ ද එය නො පිරිහෙළා කිරීමේ අධිෂ්ඨානයෙන් යුතු වීර්ය යි. මෙය ආරද්ධ වීර්යය නොහොත් ආරම්භක ධාතු ( ඇරැඹූ විරිය) නමින් ද, (2) එසේ ඇරැඹූ විරිය නො පිරිහෙළා ඉටු කිරීම, නම් වූ පරක්කම විරිය නොහොත් පරක්කම ධාතු නමින් දෙවැන්න ද, එසේ අරඹා නො පිරිහෙළා සිදු කෙරෙන ඒ සතර ප්‍රධන් විරිය ක්‍රියාකාරකම්හි පරම නිෂ්ඨාව නම් වූ නිවන සාක්ෂාත් කර ගන්නා තෙක් ( නිමාව දකින තෙක්) පවත්වා ගෙන යන නික්ඛම විරිය නොහොත් නික්ඛම ධාතු නමින් තෙවැන්න ද බුද්ධ වචනයෙහි සඳහන් ව ඇත.

මෙම හැම ආකාරයේ වීර්යයන් වැඩීම සඳහා භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ අපට වදාළ ත්‍රිපිටක ධර්මය තුළ අප විසින් කිසියම් පරිත්‍යාගයක්, අත්හැරීමක්, කැපකිරීමක් කළ යුතු බව ප්‍රථම දේශනාව “ධම්මචක්කප්පවත්තන” සූත්‍ර දේශනාවේ දී වදාරා ඇති බව ද සිත්හි තබා ගත යුතු ය.

ඒ මෙසේය.

මහණෙනි, (ශ්‍රාවකයෙනි) ඔබ තමාගේ කයට පීඩා පමුණුවන (අත්තකිලමථානු යෝගය) පිළිවෙත්වලින් ද, තමාගේ කයට සිතූ සිතු සැප එළවන පරිදි ඇස, කන, ආදි පඤ්ච ඉන්ද්‍රියෝ පිනවීමේ (කාමසුඛල්ලිකානු යෝග) පිළිවෙත්වලින් ද ඈත් ව සිත හා කය මධ්‍යම පිළිවෙතකින් (මජ්ක්‍ධිම පටිපදා) පවත්වා ගත යුතු ය.” යනුවෙනි.

තවද “මහණෙනි, මේ මඟ, අනුසෝතගාමී වූවක් (යන අතට යන ගමනක්)නොව පටිසෝතගාමී (උඩු අතට පිහිනීමට වෑයම් කරන) මඟකි. එනිසා කුස පිරෙන තුරු නොව මඳක් ඉඩ තබා වැළඳිය යුතු ය. පානය කළ යුතු ය. එනම් පමණ දැන වැළඳිය යුතු ය. (භෝජනෙ මත්තඤ්ඤුතා) නින්ද අඩු කළ යුතු ය. යහපත් ක්‍රියා සඳහා නිදි වැරිය යුතු ය. (ජාගරියානු යෝගය) මේ සියල්ල කෙලෙස් තැවීමට මහෝපකාරී වන්නේ ම ය.”

දැන් අපි මෙම ගාථාවෙන් වදාළ තැවිය යුතු කෙලෙස් කවරේ දැ යි විමසා බලමු. සිත කිලිටු කරන ධර්මතා කෙලෙස් නම් වේ. මේවා ප්‍රධාන වශයෙන් තුනෙකි. එනම්. ලෝභ - ද්වේශ හා මෝහ නම් වෙති. මේ ත්‍රිවිධ පාපී ධර්ම බිඳි බිඳී කැඩි කැඩී ගොස් එක්දහස් පන්සියයක්කුදු ඉක්මවන බව ධර්මයේ සඳහන් වේ. මේ සියල්ලෙන් ම සිදු වනුයේ සිතේ දූෂිත බව,සිතේ කිලිටි බව, දියුණු තියුණූ කිරීම ය. මෙවන් සිත් ඇත්තා අසත්පුරුෂයෙකි. ලෝභ ඇත්තෙකි. කෝප ඇත්තෙකි. සත්‍යය දැක අසත්‍ය වැළඳ ගන්නෙකි. මෝහය, මුළාව හේතු කොටගෙන යුක්තිය, සාධාරණත්වය දුක් නිවීම නො දන්නෙකි.

මේ කෙලෙස් ධර්මතාව අනවරාග්‍ර සසරේ (නැවැත්මක් නැති ඉපදීමේ දී) දිගින් දිගට ආ ස්වභාවයේ කෙලෙස් “ආශ්‍රව“ නමින් ද (කාම, භව, දිට්ඨි, අවිජ්ජා) මේ ආත්මභාවයෙහි උපන් පසු ඇති කර ගන්නා පාපී ස්වභාවයන් “උපක්කිලෙස” නමින් ද (ප්‍රාණඝාතයෙන් පටන්ගෙන මිත්‍යාදෘෂ්ටියෙන් කෙළවර වන දස අකුසල්) දෙ කොටසක් කොට තේරුම් ගැනීම මේ කෙලෙස් තැවීමට මහත් සේ උපකාර වෙයි. මේ දෙකෙන් ද උපක්ලේශයෝ තැවීම පළමුව කළ යුතු ය. දෙවනුව භවංග සිතේ රැඳී ඇති ඉකුත් ආශ්‍රව (පල්වුනු කෙලෙස්) තැවීම ගෙවා දැමීම ඇරඹිය යුතු ය.

මෙහිදී ද උපන් ජීවිතයේ දී සිදු කර ගන්නා උපක්කිලේශ සත්පුරුෂ ඇසුරා දී ඉහතින් සඳහන් කළ සතර කරුණෙක් ඉක්මණින් නවතා ගතහොත් දෙවැනි ක්‍රියා මාර්ගය වූ ආශ්‍රව ක්ෂය කිරීම සඳහා ජීවිතයේ වැඩි කාලයක් ඉතිරි වන හෙයින්, මේ ජීවිතෙය් දී හෝ ආසන්න ජීවිතයක දී හෝ කෙලෙස් තවා නිම කොට බන්ධනයෙන් මිදිය හැක.

බුද්ධෝත්මයකු ලොව පහළ වන්නේ ද මේ සඳහා ම ය.

මේ මාර්ගය තමා මෙතෙක් ලොව සියලු බුදුවරයන් වහන්සේගේ අනුශාසනාව ලෙස ඔබත් මාත් අසා ඇති “සබ්බප පාපස්ස අකරණං” ආදි ගාථා රත්නය තුළ සඳහන් ව තිබෙන්නේ. මේ සතර පද ගාථාව තුළින් මෙලොව උපන් සත්ත්වයාට පවින් මිදෙන ලෙසත්, (උපක්කිලෙස නවතා ගැනීමටත්) ඉන් අනතුරුව කුසල් උපදවා (දහමෙහි හැසිරෙන දක්ෂයකු වී) සිතෙහි ඉතිරි වී ඇති සංසාරගත කිලිටි (තණ්හා, මාන, දිට්ඨි, අවිජ්ජා) සමථයෙහි (සමාධි) ධ්‍යාන උපදවා යෙදී විදර්ශනාව මතු කොට ගෙන (ප්‍රඥාව උපදවා) සමුච්ඡේද, පටිපස්සද්ධි, නිස්සරණ වශයෙන් කිසිදු ඉතිරියක් නැති ව (නිරවසේස) මේ උපක්කිලේශ හා ආශ්‍රව පහ කර කර ගත යුතු බවත්, මෙම දේශනාවේ ඇත.

තවද අවසානයේ අප සසරට නැවැත නැවැත වට්ටවන දොළොස් අංගයෙන් යුත් පටිච්චසමුප්පාද ධර්මතා තුළින් කම්ම, කිලේස, විපාක වශයෙන් එකම සංසාර වටයක කරකවන බව ප්‍රඥාවෙන් තේරුම් ගත යුතු ය. මේ මඟ බුද්ධ දේශනාව තුළ “පර්යාප්ති ධර්මය ලෙස ද, මේ පර්යාප්ති දේශනා නුවණින් විමසීමේ දී නිවැරැදි බව දැන ගැනීමට ප්‍රතිපත්ති දේශනාව ද මේ පර්යාප්ති ප්‍රතිපත්ති ධර්මතා තුළ සම්‍යක් ප්‍රඥාවෙන් හැසිරීම නිසා ප්‍රතිවේධ (අවබෝධ වීම, කර්මක්ෂය වීම, නිවන සාක්ෂාත් කිරීම, නැවැත උපතක් නැති බව වැටහීම, සියලු දුක් ක්ෂය කළ බව දැනීම) අවස්ථාව අවසානයේ දී වැටහේ. මේ අරහත් ඵලයට පත් වූ බව තමාට වැටහෙන ධර්මතාවය යි.

අවිජ්ජාව (චතුස්සත්‍ය නො දැනීම) නිසා පව් පින් රැස් කොට (සංඛාරා) භව හා ජාති වශයෙන් නැවැත නැවැත සසරට එකතු වන්නේ මේ තුන් වටය අවබෝධ නො කරගත් හෙයින් බව බුද්ධ දේශනාව යි.

එහෙයින් මේ බුද්ධ වචන තුළ සතර ශීලය “ආගම” වශයෙන් ගැනීමත්, සීලයෙහි පරබාහිර ව ලද නො හැකි “දර්ශනය” සප්ත විශුද්ධියෙහි ඇති බවත්, ජීවන ප්‍රතිපදාව නම් වූ කෙලෙස් ප්‍රහීණය සමථ, විදර්ශනාව හා අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලකුණු තුළ ඇති බවත් අප තේරුම් ගත යුතු බව කීමට මෙම සටහන තබන ලදී.

එහෙයින් බුද්ධ දේශනාව තම ජීවිතය පුරා වැඳ වැඳ සිටීමට හෝ නිවන් දැකීමට යැයි සිතමින් පූජා විධි පැවැත්වීමට හෝ පමණක් වූවක් නොවන බව අපි තේරුම් ගමු. ඉන් එහාට ගිය ප්‍රතිපත්ති හා ප්‍රතිවේධ වැඩ කොටසක් ද අපට ඇත. දැනට අප, අප කරන කිසිම පින්කමක් නො කොට කැළයට වදින ලෙස මෙයින් නො කියන බව ද මෙයින් අවධාරණය කරමු. දන් දීමට සිත් නැත්තාට සීලයක් නැත. දාන සීල ප්‍රගුණ නො කළාහුට භාවනාවක් නැත. මේවා එකිනෙකට බද්ධ වූවා වෙති. එනිසා දසපින් කරමින් දස කුසල් වඩමින් කල් නො මරා බුදු වදන්හි ඉදිරියට යමු. ඔබත් මමත් පින් කරන නිසා ඉදිරියට යාමට සුදුස්සෝ ද වෙමු.

බිනර පුර අටවක

සැප්තැම්බර් 10 අඟහරුවාදා අ.භා. 11.10 පුර අටවක ලබා
11 බදාදා අ.භා. 11.44 ගෙවේ.
11 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]