[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර පුර අටවක පෝ දා 2024-09-11

අවධානයෙන් දහම් අසමු

ඉදිරියේ මහා ප්‍රපාතයකි. ඒ අසලින් හැර වෙන යා හැකි මඟෙක් ද නැත. ප්‍රපාතය අද්දරින් ම යන්නට සිදු වන්නේ ය. විසිරුණු සිතිවිලි සමඟින් කිසිවකුට එහි ගමන් කළ නොහැකි ය. යන්තමින් හෝ පය ලිස්සා ගියේ නම් නියත ව ඇද වැටෙන බැවිනි. එහෙයින් කලබලයෙන් තොර බව සේ ම අවධානය ද අතිශය වැදගත් ය.

ඉදිරියේ ගලා යන ඇළකි. ජල කඳ සැඩ ය. ඉන් එතෙර වීමට ඇත්තේ ඒදණ්ඩකි. එහෙත් අත්වැල රහිත ය. පෙර කී ප්‍රපාතය අද්දරින් යන්නා සේ ම අත්වැල රහිත ඒදණ්ඩේ යෑමට ද ඒකාකාරි සිතක් තිබිය යුතු ය. සිත විසිරී ගියේ නම් ඇළට වැටී සැඩ පහරට හසුවන්නට පුළුවන. එහෙයින් අවධානම ගැන දැඩි අවධානය අත්‍යවශ්‍ය ය.

සසර සැඩ පහරට හසුව අප අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට ඇද වැටෙමින් බවය දිගු කර ගන්නේ ද අවධානය නොමැති වීම නිසා ය. ඒ අවධානය කුමක් සඳහා ද? ශී‍්‍ර සද්ධර්මය පිළිබඳ ව ය. අප භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය මේ ඝෝර සසර මඟ නවතනු පිණිස ය. ලෝභ, ද්වේෂ, මෝහාදී කෙලෙසුන් දුරු කොට උතුම් සැපත වූ අමා මහ නිවන් මඟට පැමිණෙනු පිණිස ය. එහෙත් බෞද්ධයන් බොහෝ දෙනකුට නිවන දුරය.

එසේ වුව ඔවුහු ධර්මය ශ්‍රවණය කරති. දහම් පොතපත කියවති. බොහෝ පින් දහම්හි නිරත වෙති. එසේ නම් නිවන දුරවීමට හේතුවක් තිබිය යුතු ය. එය ද පැහැදිලි ය. ධර්මය ශ්‍රවණය කළ ද, දහම් පොතපත පරිශීලනය කළ ද අවධානය අවම වීම ඊට හේතුවයි. ප්‍රපාතය අද්දරින් යන්නා සේ, අත්වැල රහිත ඒදණ්ඩක යන්නා සේ ධර්ම ශ්‍රවණය කරන මොහොතේ සිත විසිර යා නොදී රැක ගත යුතු ය. කලබලකාරි මනසින් මිදී සිත සංවර කර ගෙන දහම් දෙසුමට අවධානය යොමු කළ යුතු ය. එවිටයි ඒ දහම් කරුණු මනාව ග්‍රහණය කර ගත හැකි වන්නේ.

අද ධර්ම ශ්‍රවණය කිරීමේ පහසුකම් ඕනෑ තරම් තිබේ. ගුවන්විදුලි, රූපවාහිනි ආදි විද්‍යුත් මාධ්‍යයෙන් ඔබ්බට ගොස් නිරන්තරයෙන් අත රැඳෙන, නින්දට යන මොහොතේත් බොහෝ අය අසල රඳවා ගන්නා ජංගම දුරකථනය පවා ප්‍රයෝජනයට ගෙන අපට ඕනෑම වෙලාවක ධර්මය ශ්‍රවණය කළ හැකි ය. එහෙත් අසන දහමට අවධානය දෙන්නෝ අවම ය. මොනතරම් දහම් ඇසුණත් ඒ ගැන අවධානය නොවේ නම් ඉන් නිසි ප්‍රයෝජන ලද නොහැකි ය.

අද අපේ සමාජයේ බොහෝ දෙනෙක් ජීවිතය ගැට ගසා ගන්නට අපමණ වෙහෙස දරති. ආර්ථික ප්‍රශ්න ඉහටත් උඩිනි. කෙනකුට මවුපියන්ගේ ප්‍රශ්න ය. මව්පියන්ට දරුවන්ගේ ප්‍රශ්න ය. අඹුසැමින් අතර ගැටුම් ය. රැකියා ආයතන ද මීට නොදෙවෙනි ය. බොහෝ අය වෛරයෙන්, ක්‍රෝධයෙන් කරන පළිගැනීම්, කේළාම් ආදියේ සිට අනේකවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුව ඇත. මෙසේ පෞද්ගලික, පොදු, සාමාජිය ප්‍රශ්න හමුවේ අද බොහෝ දෙනකුගේ සිත් ව්‍යාකූල ය. ගිනියම් ය.

එවැනි මානසික පරිසරයක සිට දහම් දෙසුමක දී පවා සිත එක තැනකට ගැනීම, අවධානය යොමු කිරීම අසීරු විය හැකි ය. මොනතරම් දහම් ශ්‍රවණය කළත් දහම් මඟට පැමිණෙන්නට බොහෝ දෙනකුට තවමත් නොහැකි වී ඇත්තේ මෙවැනි ගැටලු නිසා ද විය හැකි ය. එහෙත් දක්ෂයා මොනතරම් ගැටලු හමුවේ වුව ධර්මය ග්‍රහණය කර ගන්නට පසුබට නොවෙති. ඒ ධර්මයේ රැකවරණය හැර අන් ආරක්ෂාවක් තමන්ගේ මේ ජීවිතයට නොලැබෙන බැවිනි. පරලොවට ද නොවන බැවිනි. එහෙයින් අවධානයෙන් දහම් අසා අවබෝධයෙන් ජීවිතය දකිමු.

බිනර පුර අටවක

සැප්තැම්බර් 10 අඟහරුවාදා අ.භා. 11.10 පුර අටවක ලබා
11 බදාදා අ.භා. 11.44 ගෙවේ.
11 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]