[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සම්බුදු දහම ප්‍රඥාවෙන් විමසන්න

සම්බුදු දහම ප්‍රඥාවෙන් විමසන්න

වර්ෂයේ බිනර පුර පසළොස්වක පෝය ආගමික වශයෙන් ඓතිහාසික වනුයේ තථාගතයන් වහන්සේගේ ගිහි කළ කිරි මව් වූ මහා ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ බුද්ධ ශාසනයේ පළමුවැනි භික්ෂුණීන් වහන්සේ ලෙසින් පැවිද්ද ලැබීම හා ඒ තුළින් භික්ෂුණී ශාසනය ආරම්භය සිදුවීමත් නිසා ය.

මෙකී භික්ෂුණී ශාසනය ශ්‍රී ලංකාවේ ආරම්භය සිදුවූයේ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ බුද්ධ වර්ෂ 236 - 244 අතර දී පමණ දේවානම් පියතිස්ස මහ රජු සමයේ දී ශ්‍රී ලංකාවට වැඩම කොට අනුරාධපුරයේ දී අනුලා දේවිය ප්‍රධාන කාන්තා පිරිසක් උපසම්පදාව සහිත පැවිද්දෙහි පිහිටුවාලු කාලයේ පටන් ය. මෙම ථේරවාදී භික්ෂුණී ශාසනය වසර දහස් ගණනක් අවිච්ඡින්න ව පැවති අතර, පොළොන්නරු යුගයේ දී අතුරුදහන් ව ගොස් ඇති බව ශාසන වංශකතාවෙහි සටහන් ව ඇත.

මහනුවර යුගයේ දී භික්ෂු ශාසනයට ද මේ ඉරණම සිදුවන්නට ගොස් රාජ්‍ය අනුග්‍රහයෙන් වැලිවිට අසරණ සරණ සරණංකර සඟ රජු මුල් ව ථේරවාදී බෞද්ධ රටක් වූ එවකට සියම් දේශය ලෙස නම් කොට තිබූ වර්තමාන තායිලන්තයෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේ අටනමක් පමණ මෙහි වැඩම කරවා ගෙන අතුරුදන් වන්නට ගිය ථේරවාදී භික්ෂු ශාසනය නැවැත ස්ථාපිත කරවා ගත්හ.

බුද්ධ ශාසනයේ “උපසම්පදාව“ විනය ක්‍රියාවකි. ථේරවාදීහු එදා බුදුරජාණන් වහන්සේ පැනවූ විනය නීති ඛුද්දානු ඛුද්දක (කුඩා - ඉතා කුඩා) වශයෙන් හෝ වෙනස් නො කරමුයි’ පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේට වූ පොරොන්දුව අද ද ආරක්ෂා කිරීම මෙයට හේතු සාධක වේ.

“පුප්ඵානිහෙව පචිනන්තං
ඛ්‍යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහොඝොව
මච්චු ආදාය ගච්ඡති.”

වර්ණ ගන්ධා දි මල් නෙළා රැස් කරන මල්කරුවකු මෙන් මේ ලෝකයේ (වර්ණ) රූප (මිහිරි) ශබ්දාදී පස්කම් සැප සොය සොයා යන, එහි තදින් ඇලුනු සිත් ඇති සත්ත්වයා සපල නොවූ අදහස් (නොතිත් වූ) ඇතිව ම නිදා සිටි ගමක් (ගම්වැසියන්) මහා දිය පහරකින් මහ මුහුදට ගෙන යන්නා සේ පස්කම්හි ඇලුනු, පස්කම් පතන මිනිසුන් මරණය (මෘත්‍යමාර) තෙමේ සතර අපාය නමැති මහමුහුදට ඇදගෙන යයි.

විඩුඪභ කුමාර වස්තුව

දිනක් උසාවියේ නඩුවකින් පැරැදුනු කණ්ඩායමක් බන්ධුල මහසෙනෙවි දැක විනිසුරුවන් අල්ලස් ගෙන නඩු අසන්නේ යැයි කෑ මොර ගැසූහ. ඔහු ඒ නඩුව අසා යුක්තිය ඉෂ්ට කළේ ය. මෙහිදී රැස්ව සිටි ජනයා කළ පී‍්‍රති ඝෝෂාව අසා රජු එය දාන කවරදැක් සියලු විනිසුරුවන් පහකොට බන්ධුල සෙනෙවි අගවිනිසුරු තනතුරෙහි තැබීය. පිරිහී ගිය විනිශ්චයකරුවෝ බන්ධුල රජකමට කටයුතු කරන්නේ යැයි රජුට හඟවා භේද කළවිට රජ තෙමේ එකී බස් පිළිගෙන නගරයෙන් ඈත් කොට ඔහු සහ ඔහුගේ දරුවන් මැරවීමට සිති ය. ව්‍යාජ කැරැල්ලක් ප්‍රත්‍යන්ත නගරයක ඇතිකොට ඔහු එහි යැවී ය. මහසෙනෙවි එන බව ඇසූ සැණින් කුමන්ත්‍රණකරුවෝ පැන ගියෝ ය. අදාළ ප්‍රදේශයෙහි සාමය ඇති කොට පුතුන් තිස්දෙනා සමඟ ආපසු එන ගමනේ දී රජ තෙමේ සෙනෙවි සමඟ ම යවා තිබූ මහායෝධ සමූහය විසින් බන්ධුල සෙනෙවි හා පුතුන් සියල්ලන්ගේ හිස් සිඳ මරා දැමූහ.

මෙ දවස ම සැරියුත්, මුගලන් දෙනම වහන්සේ සමගින් 500 දෙනා වහන්සේට මල්ලිකා දේවිය විසින් නිවසෙහි දන් වැටක් දෙමින් සිටියදී මේ සිද්ධිය සඳහන් හසුන් පතක් ඇය වෙත ලැබී එය කියවා බලා ඉනෙහි ගසා ගනිමින් දන් බෙදන්නට වූවා ය. මෙවෙලෙහි එක් සේවිකාවක් අතින් ගිතෙල් දීසියක් සඟුන් ඉදිරියේ දී බිම වැටී බිඳී ගියා ය. සැරියුත් තෙරුන් වහන්සේ එය දැක “බිඳීම ස්වභාව කොට ඇති සියලු දේ බිඳෙන්නේ ය. ඒ ගැන අමුත්තක් නො සිතිය යුතු ය”යි දේවියට වදාළ විට ඇය ඉනෙහි ගසාගෙන තිබූ හසුන ගෙන කියවා මෙසේ වූ මට ගිතෙල් බඳුන බිඳීම ගැන කුමක් සිතන්න දැයි ඕ කීවා ය.

එහිදී සැරියුත් මහ රහතන් වහන්සේ ශෝකය තුනී වන්නට දහම් දෙසා වැඩි සේක. අනතුරුව බන්ධුල මල්ලිකාවෝ ලේලියන් (සුණිසා) දෙතිස ළඟට කැඳවා පෙර කළ බලගතු කර්මයක විපාක ලෙසින් අපගේ සැමියෝ නිරපරාද ව මරණයට පත්වූහ. ඒ නිසා ශෝක නො කරන්න. රජු කෙරෙහි පවා යම් තරමකිනුත් සිත් කිලිටි කර නො ගන්න යැයි අවවාද කොට සනසාලු ය. චරපුරුෂයෝ මෙ වදන් අසා රජුට දැන්වූවිට සංවේගයට පැමිණ මල්ලිකාවගේ නිවසට පැමිණ ඇය හා ලේලීන් සියල්ල කමා කරවා ගෙන මල්ලිකාවට කැමැති වරයක් ලබා ගන්නා ලෙස ඉල්ලී ය. රජු ගිය කල්හි මළවුන් වෙනුවෙන් දන් දී පින් අනුමෝදන් කරවා සියල්ල සමඟ රජ ගෙදරට ගොස් සියල්ලට තම නිවෙස්වලට යන්නට අවසර ඉල්ලා එසේ කොට, මල්ලිකාවෝ ද, කුසිනාරාවේ තම ගෙදරට ම ගියා ය.

පසුව රජු ද බන්ධුල මහ සෙනෙවිගේ බෑනා කෙනකු වූ දීඝකාරායන හට මහ සෙනෙවි තනතුරු දුන් මුත් ඔහු ද තමාගේ මාමා රජු විසින් නිරපාරාධී ව මරවන ලදැයි සිතමින් අවස්ථාවක් එනතුරු කල් ගෙවූය.

‘රජ තෙමේ ද නිරපරාධි වූ බන්ධුලයන් මැරවූ දා සිට නින්දක් හෝ නිසි රාජ්‍ය පාලනයක් නැත්තේ “උලුම්ප” ගමේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ සමීපයට ගියේ ය. ඒ කකුධ රාජ භාණ්ඩ දීඝකාරායන අතට දී තනිව ම ය. අවස්ථාව ලත් මහ සෙනෙවි මහරජුට ගමනට එක් අසකු හා උපස්ථානයට එක් ස්ත්‍රියක නවතා “විඩූඪභ” යුවරජු රජ කරවා පළිගැනීමේ සිතින් නැවැත සැවැතට ගියේ ය.

කොසොල් මහරජු ද මජ්ක්‍ධිම නිකායේ ධම්මචේතිය සූත්‍රයේ එන පරිදි බුදුරජාණන් වහන්සේ සමඟ සතුට දනවන කතාවෙන් පසු ආයේ රැඳී සිටි ස්ත්‍රියගෙන් සියල්ල දැන රජගහ නුවර බෑනා අජාසත් හමුව නැවැත රජය ගන්නෙමි’යි සිතා එහි ගියේ ය.ඇතුලු නුවර දොරවල් වසා තිබුයේ දැක පිටත ශාලාවක ගමන් විඩාවෙන් නිදා සිටින විට එහි දී ම කලුරිය කළේ ය. අජාසත් රජු සියලු පුවත් අසා කොසොල් රජුගේ ආදාහනය කරවීය.

මේ අතර විඩූඪභ රජවූයේ ශාක්‍යයන් අතර තිබූ වෛරය ඉස්මතු කොට ශාක්‍යයන් සියල්ල මරා දමමි'යි සිතා කිඹුල්වතට යෑම සඳහා නික්ම ගියමුත් තෙවරක් ම බුදුරජාණන් වහන්සේ ඉදිරිපත්ව මේ ගමන වැළැක්වූ සේක. සතරවන වරද විඩූඪභ රජුගේ පැමිණීම බුදුරජාණන් වහන්සේ දැක ශාක්‍යයන් පෙර ආත්මයක දී කුඩා මත්ස්‍යයන් මැරීමට ගඟකට විෂ දැමූ පාප කර්මය මතු වූ බව දැන ගමන වළක්වන්නට ඉදිරිපත් නොවූ සේක.

විඩූඪභ විසින් තම මුත්තනු වූ මහානාම ශාක්‍යයන් හා ඔහු වෙත සිටියවුන් හැර ශාක්‍ය කිරිදූවරුන් පවා ඝාතනය කරවා ලේ ගංගාවක් කොට එයින් තම පුටුව සෝදවා තම අදහස ඉටු කර ගත්තේ ය. මෙසේ එදා ශාක්‍ය වංශය විඩූඪභ විසින් සිඳ හරින ලද්දේ ය.

ලෝක ඉතිහාසයේ ආසියානු කලාපයේ ඇති වංශකතාවන්හි ද මහාවංශයෙහි ද ශාක්‍යයන් ආර්ය ජාතියක් සේ සලකා අනුරාධපුර පණ්ඩුකාභය රජු සමයේ ආර්ය ජනාවාස ආරම්භ කළ බවත්, අද සිංහල භාෂාවෙන් ඉරානය හා ඉංගී‍්‍රසියෙන් අයිරාන් වශයෙන් සලකන මැද පෙරදිග රටෙහි ද ආර්යයන්ගේ සම්භවයක් තිබූ බවට ජනප්‍රවාද ඇත. මේ අනුව අපේ රටේ හා ඉරානයේ ශාක්‍යයන්ගේ සම්භවයක් ඇතැයි යන මතවාදය ඉතිහාසඥයන් විසින් පිරික්සා බැලිය යුත්තකි.

මෙසේ මහානාම ශාක්‍ය රජු හා ඔහු පිරිස සමඟින් යුද්ධය නිමා කොට ආපසු එන විඩූඪභ තම සීයා සමඟ එකට වාඩිවී ආහාර බුදින්නෙමි ය’ සිතා කැඳ වූ මුත් මාන්නාධික ඔහු අසල තිබූ විලකට බැස සියදිවි නසා ගන්නට තැත් කරද්දී ඔහුගේ ගුණ තේජසින් නා රජුගේ මෙහෙයවීමෙන් 12 වසරක් නාග භවනෙහි විසූහ. විඩූඪභ තම සීයා නො දැක පලාගියා යැයි සිතා ගමන් ඇරැඹ රාත්‍රී කාලයෙහි අතරමඟ ගං ඉවුරක පිරිස සමඟ නවාතැන් ගත්හ. එදින රාත්‍රී වසින ලද මහා වැස්සෙන් ගඟ පිටාර ගලා සියල්ලෝ ම මුහුදට ම ගසාගෙන ගොස් මරණයට පත් වූහ. ශාක්‍යයන්ගේ විනාශය ගැන ජනයා අතර වූ කතා බහ දම්සභා මණ්ඩපය දක්වා ගියේ,

“මහණෙනි, ලොව සත්ත්වයන්ගේ අපේක්ෂිත සිතුම් පැතුම් මුදුන් පමුණුවා ගන්නට කලින් මාරයා, නිදිගත් ගමක් යටපත් කොට මහත් ජල පහරක් මෙන් පැමිණ මරණය සිදුකර සතර අපාය නමැති මහ මුහුදෙහි ගිල්වා දමන්නේය’යි මුලින් සඳහන් ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ සේක.

2017 වසරේ මැයි මාසයේ එක් රැයක දී පමණක් මිලිමීටර් 544 පමණ වැස්සක් වැටී මතුගම මොරවක කෑගල්ල ආදියේ දී සිදු වූ ජීවීත විනාශය හා 2004 සුනාමි ව්‍යසනය මෙම කතාවේ එන ගංවතුර ප්‍රවෘත්තියේ උපමාවක් ලෙස ගත නො හැකිවේ ද?

ධර්ම දේශනාවසානයේ බොහෝ දෙනා සෝවන් ඵලයට පැමිණියෝ ය. තවත් බොහෝ දෙනාට වැඩ සහිත වූ ය. (ඉතා දිග අටුවා කතාවක) කෙටි කිරීමේ දී යම් ප්‍රමාදයක් සිදුව ඇතිනම් කමා කරන්න.

බිනර පුර අටවක

සැප්තැම්බර් 10 අඟහරුවාදා අ.භා. 11.10 පුර අටවක ලබා
11 බදාදා අ.භා. 11.44 ගෙවේ.
11 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]