හෙළ කලාවේ අභිමානය
මන නෙත් පිනවන
අසිරිමත් මංගල්‍යය
රාජකීය පණ්ඩිත
අමුණුපුර පියරතන නා හිමි
සිරිසුගත තථාගත අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අසූහාර දහසක් දහම් කඳින් පහස ලද
ශ්‍රීමත් දළදා වහන්සේ වැඩ සිටින ශ්‍රී දළදා මාලිගාව බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධා භක්තිය
වර්ධනය කරන්නා සේ ම ඉතා විචිත්‍ර කලාත්මක නිර්මාණ නිසා ජනතා නෙත් සිත් ප්‍රසාදයට
පත්වන්නේ ය.
සම්බුද්ධ ශාසනයේ චිර කාලීන පැවැත්ම උදෙසා ධර්ම විනය මෙන් ම ප්‍රායෝගික වශයෙන්
ජනකාන්ත විෂයයන් ද අනිවාර්යයෙන් අවශ්‍ය වන්නේ ය. බුදු දහම ජන ජීවිතයට සම්බන්ධ
කිරීමේ දී ප්‍රථමයෙන් පරිකල්පනයට අවධානය යොමු කොට ක්‍රමයෙන් ප්‍රඥාවට යොමු කළ වග
ශාසන ඉතිහාසයෙන් ප්‍රත්‍යක්ෂ වන්නේ ය.
අප බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් වහන්සේගේ චිත්ත සන්තානය
ධර්මයට යොමු කළේ මනෝවිද්‍යානුකූල ව උපක්‍රමශීලීව ය. අංගුලිමාල, පටාචාරා, කිසාගෝතමී
ආදී චරිත කතා එයට නිදර්ශන වන්නේ ය.
ප්‍රකෘතියෙන් ප්‍රභාශ්වර වූ සිත ආගන්තුක අරමුණු නිසා සසල වන විට එය රුචි කරන අරමුණු
කරා ම ගමන් කරන්නේ ය. එයින් ලබන වින්දනයට අවශ්‍ය විෂය ධාරාවන්ගෙන් ප්‍රධාන වන්නේ
කලාව යි. විශේෂයෙන් බුදුදහම ජනකාන්ත කලාවන් බිහිවීමට උසස් තෝතැන්නක් වන්නේ ය.
ශ්‍රී දළදා මාලිගාව මෙ තරම් මනස්කාන්තවීමට ප්‍රධාන හේතු කීපයකි.
ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටීම, ශ්‍රී දළදා මාලිගාවේ විවිධ නිර්මාණ, පෙරහර මංගල්‍යය,
සුන්දර පරිසරය, ඇඳුම් පැළඳුම් සොබාදහමේ මනස්කාන්ත දර්ශන උතුම් ලොව්තුරු සැපත ලබා
ගැනීමට මහෝපකාරී වූ ආකාරය ථේරථේරී ගාථාවලින් දක්නට පුළුවන. කඳු හෙල්, ඇළ දොළ ගංගා
මෙන් ම ආකශයේ ඉගිලෙන විහඟුන්ගේ දර්ශනය, සුමිහිරි නාදය චිත්තාකර්ෂණීය මෙන් ම එම
සොබාදහමේ ඇති පරිණාම ස්වභාවය අරමුණු කර ගෙන නිර්වාණගාමී ප්‍රතිපදාවට පිළිපන් වග එම
චරිත කතාවලින් ප්‍රත්‍යක්ෂ වන්නේ ය.
අප බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ රජවරුන්, සිටුවරුන් හා මහජනතාව ඉතා අනර්ඝ
මාලිගා මන්දිර වෙහෙර විහාර කරවා, සත්රුවන්මය ආසන පනවා වඩා හිඳුවා මහා පුද පෙරහර කළ
වග බුද්ධ චරිතයෙන් ප්‍රකට වන්නේ ය.
ශ්‍රී දළදා වහන්සේ ලක්බිමට වැඩම වූ දා සිට රජවරුන්, පැවිදි උතුමන් හා පොදු ජනතාව ද
කළ පූජෝපහාරයන් පිළිබඳ තොරතුරු ඓතිහාසික වශයෙන් මෙන් ම සාහිත්‍යාත්මක වශයෙන් ද
දක්නට පුළුවන.
ශ්‍රී දළදා පෙරහරේ හැඩගැස්ම ක්‍රම ක්‍රමයෙන් ඇති වූ අතර, සිය දහස් ගණන් ජනතාවගේ
එකතු පාදාවීම, විවිධ නිර්මාණ එක්කිරීම, නිතැතින් එයට සහභාගී වී තම තමන්ගේ කොටස්
ඉදිරිපත් කිරීම ආදිය නිසා ඉතා අලංකාර ලෙස පෙරහර සංචාරය කරන්නේ කලා සාගරයක් චලනය
වන්නාක් මෙනි.
ශ්‍රී දළදා මාලිගාව ද ඉතා කලාත්මක ගොඩනැඟිලි වශයෙන් ද, විචිත්‍ර කැටයම්, මූර්ති,
චිත්‍ර, රන්, රිදී මුතු මැණික්, කරඬු, පෙති පිළිම, රස් සිවි ගෙවල්, ඇඳුම් පැළඳුම්,
ආභරණ ආදී සියල්ල චිත්තාකර්ෂණීය ලෙස නිර්මාණය කොට ඇත.
කන්දඋඩරට සෙංකඩගල පුරවරය මෙන් ම සමස්ත සිරිලක් දිවයින ම එකම සැණකෙළි වේශයක් ගන්නේ
ඇසළ මාසයේ ශ්‍රී දළදා පෙරහර පැවැත්වෙන නිසා ම ය. තෙරුවන පිළිබඳ උපරි ම ශ්‍රද්ධාවත්,
දේව භක්තියත්, බෞද්ධ කලා නිර්මාණත් එක්වන් ව දකින විට, ඇසෙන විට මානසික වින්දනයෙන්
සුවිශේෂ ලෝකයකට පිවිසෙන්නේ ය.
ශ්‍රී ලංකාවට සුවිශේෂ වූ නර්තන විලාසයන් රාශියක් මෙම පෙරහර නිසා ජනතාව අතරට
පැමිණෙන්නේ රසාංගික හැඟීම් ජනිත කරවමිනි. උඩරට වෙස් නැටුම්, උඩැක්කි, පන්තේරු,
සවරං, සළුපාලි, චාමර, කාවඩි ආදී නර්තන ඉදිරිපත් කරන නැට්ටුවන් මෙන් ම පත්තිනි
දේවාලයට අයත් කුලු නැටුම්, ගොයම් නැටුම්, ලී කෙළි ආදී නර්තන ඉදිරිපත් කරන කාන්තාවන්
ද තම ශිල්පීය දස්කම් පෙන්වන විට ජනතා මනසේ දේව භක්තිය, වීරත්වය, ආශ්චර්යවත් භාවය
ජනිත වන්නේ ය. බෙර දවුල්, තම්මැට, බුම්මැට, තාලම්, හොරනෑ, ශංඛ, රබන් ආදී සංගීත
භාණ්ඩවලින් නිකුත් වන නාද එකිනෙකට නින්නාද වන්නේ ය. දසතින් හමායන මද පවනට මුසුව අවට
කඳු හෙල් සිසාරා ගමන් කරන්නේ ය.
මහනුවර ඇසළ පෙරහර සමයේ සන්ධ්‍යා භාගයේ රාව ප්‍රතිරාව දෙන පංචතූර්ය නාද නුවර වැවේ ජල
තරංගවලට මුසුව ගමන් කරන විට ජනිත වන කලා රසය වර්ණනා විෂය අතික්‍රාන්ත වන්නේ ය. සිය
දහස් ගණන් ධජ පතාක, මුතු කුඩ, සේසත්, මුරායුධ, මල්වියන්, පන්දම් නෙත් සිත් පැහැර
ගන්නේ බුද්ධාදී තෙරුවන පිළිබඳ ශ්‍රද්ධාව, සොම්නස, සෞභාග්‍යය චිත්ත සන්තානයේ පෝෂණය
කරවමිනි.
ශ්‍රී දළදා පෙරහරේ චිත්තාකර්ෂණීය දර්ශන අතර පෙරහර කරඬුව වඩා හිඳුවන රන්සිවිගෙය
ප්‍රධානයි. රන් රිදී, මල් පොකුරු එල්ලෙන උඩුවියන් හා සුදෝ සුදු පාවාඩ ඇති ව
විචිත්‍ර වර්ණ ඇඳුමෙන් හා වර්ණ ආලෝකයෙන් බබළන හස්තිරාජයා තමාගේ පිටමතින් දළදා
වහන්සේ වඩා හිඳුවා සෙමින් සෙමින් ගමන් කරන විට ජනතා හදවත් තුළ ඇතිවන ශ්‍රද්ධාව,
භක්තිය, කරුණා රසය ආදී කුසල චේතනාවන් සගමොක් සුව ලබා ගැනීමට මහෝපකාරී වන්නේ ය.
වාදකයන් සිය ගණන් බෙර, දවුල්, තම්මැට්ටම් හා තාලම් වාදනය කරමින් තාලය, වාදනය අනුව
පය තබා ගමන් කරන විට එම චලනයට ජනතාව ද අංශයකින් එක්වන්නේ එම වාදනයේ ඇති ආකර්ශණය
නිසා ය. එහි ඇති ජීවය සම්, මස්, නහර ප්‍රසාරණය කරන්නේ ය. රජ දවස ගමන් කළ ජයබෙර
සේනාංකයක් සිහිපත් වන්නේ ය.
පෙරහර නරඹන ජනතාවගේ සිත් සතන් යොමුවන විශේෂ අංගයක් වන්නේ උඩරට වෙස් නැටුම යි.
කොහොඹා දෙවියන්ට කැප වූ මෙම නර්තනයේ දී අඳින ඇඳුම් පැළඳුම් ඉතා දීප්තිමත් ලෙස සකස්
කරන නිසා වෙස් නැට්ටුවන් දර්ශනය වූ පමණින් මන නෙත් පිනවන්නේ ය. පායින්පත, අවුල්
හැරය, ඉණ හැදය, පොත්පට, දෙවල් සිරස පළඳනාව ආදී ඇඳුම් කට්ටලය හිරු රැස් මාලා මෙන්
ආලෝකයෙන් පරාවර්තනය වන්නේ ය.
ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කර ගෙන නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන දේවාල පරිවාර
වශයෙන් ඇසළ පෙරහර පවත්වන ඇතුල් පෙරහර, කුඹල් පෙරහර, රන්දෝලි පෙරහර දිය කපන පෙරහර,
දිවා පෙරහර, වලියකුන් නැටීම යන මෙම සියලු පෙරහර පුද පූජා වන්දනා මාන, සිරිත් විරිත්
ඒකාබද්ධ ව රට, ජාතියට, ආගම දහමට නිරායාසයෙන් ම ලබා දෙන සෙත් ශාන්තිය, වර්ණනා විෂය
අතික්‍රාන්ත වන්නේ ය.
බෞද්ධ සිරිත් විරිත් ආරක්ෂා වීම, බෞද්ධ කලාව පෝෂණය වීම, සංචාරක ව්‍යාපාරය
දියුණුවීම, පාරම්පරික කලා ශිල්ප පරම්පරා ආරක්ෂාවීම, ජනතා එකමුතුකම ප්‍රකටවීම හා
කුසල් සිත් පෝෂණය වීම සුවිශේෂ ය.
ඇසළ, නිකිණි මාස දෙක ම පෙරහර සඳහා වෙන්වන අතර, අලුත් නුවර දේවාලයේ පටන් කතරගම,
මහනුවර ඇම්බැක්ක, හඟුරන්කෙත දෙවුන්දර, රත්නපුර, මහියංගන, කෝට්ටේ, හලාවත ආදී
ඓතිහාසික සිද්ධස්ථානවල කෙරෙන දළදා පෙරහර, දේවාල පෙරහර එකම කාල පරිච්ඡේදයක එක්වන්
ආකෘතියකට ප්‍රධාන වශයෙන් එක ම පරමාර්ථයකට අනුව පවත්වන්නේ ය.
දෙවියන්, බුදුන් මනසින් අයින් වූ දවසට මානව පරපුරේ ස්ථිර පැවැත්මක් නොමැති වන්නේ ය.
ආත්මාර්ථය පරාර්ථයට පරිවර්තනය වන්නේ බුද්ධා දී තෙරුවන හා දෙවියන් වෙනුවෙන් තම
ජීවිතය පරිත්‍යාග කිරීමෙනි.
ශ්‍රීමත් දළදා වහන්සේ අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මහා ධර්මස්ඛන්ධය මතක්
කර දෙන අතර, බුදුරදුන් දිවමන් දවස දෙවියන් පිරිවරා ගත් ආකාරය මූර්තිමත් කෙරෙන්නේ ය.
එම මහා ගුණයෙන්, බලයෙන්, පුද පෙරහර පැවැත්වීමේ කුසල බලමහිමයෙන් සමස්ත, මානව පරපුරට
ම ආරක්ෂා සම්පත්තිය දෙ ලොව යහපත, අවසානයේ සගමොක් සුව ලැබෙන්නේ ය. |