[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

අනුන්ගේ දොස් දකින්නට පෙර ...

අප විසින් කලක සිට විමසුමට ලක් කරමින් පවතින බුදුසරණ දහම් පුවත්පත මඟින් පින්වත් ඔබ වෙත පත් කරමින් සිටින කරණිය මෙත්ත සූත්‍රයෙහි සඳහන් ඉතා වැදගත් කරුණක් අද අපේ විමසුමට ලක් කරනවා. “න ච ඛුද්දං සමාචරෙ කිඤ්චි යෙන විඤ්ඤූ පරෙ උපවදෙය්‍යුං” මෙයින් ඉදිරිපත් කරන අදහස් ටික ගිහි පැවිදි අප හැම දෙනාට ම අතිශයින් ප්‍රයෝජනවත් වෙනවා. මෙහි දී සඳහන් වූ පළමු කොටසෙන් කියවෙන්නේ ( න ච ඛුද්දං සමාචරෙ ) ඉතා කුඩා වූ වරදක් වුවත් ගිහි පැවිදි අප කවුරුත් නො කළ යුතු යන අදහස යි. ඉතින් වරද දිහා බලන විට එය කුඩා ද? ලොකු ද? යන්නට වඩා වැදගත් වන්නේ වරද වරද ම ය කියා සිතා කටයුතු කිරීම යි. කුඩා දරුවකු වුව ද ඉතා බාල වියේ දී පාසලේ දී කුඩා පෑනක්, පැන්සලක් වැනි දෙයක් සොර සිතින් තවත් දරුවකුගෙන් පැහැර ගෙන තම ගෙදරට ගිහින් නැති බැරිකම්වලින් පෙළෙන තම අම්මාට දුන්නහම එම ක්‍රියාව වරදක් බව නො කියා හෝ නිහඬ ව සිට එහි ආදිනව දරුවාට කියා දී දරුවා වරදින් මුදවා ගන්නට ක්‍රියා නොකළොත් ඒ දරුවා අනාගතයේ මහා දරුණු හොරෙකු බවට පත් වී සිරබත් කා මෙලොව ම දුකට පත් වෙනු දැකීමට ඒ අම්මාට වුව ද සිදු වෙනවා. එවැනි කොතෙකුත් නිදර්ශන සමාජයෙන් අපට ලබා ගන්ට පුළුවන්. මේ තත්ත්වය අපට බොහෝ විට වැටහෙන්නේ යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් බොහෝ දුර දිග ගොස් අන්ත අසරණ තත්වයට පත් වුණාට පස්සෙ යි. මේ නිසාම පැවිදි පක්ෂය වුවත්, ගිහිපක්ෂය වුවත් තම ශිෂ්‍යබාලාදීන් එහෙම නැත්නම් ගෝලබාලයන් (පැවිදි), දරුවන් හදන වඩන කොට ස්වල්ප හෝ වරදක්, අවැඩක් ඒ අය විසින් කරන කොට ඒ ගැන විමසිලිමත් වී සුළු හෝ ඒ වරදින් මුදවා ගෙන බාල වයසේ පසුවන පිරිස් මුදවා ගැනීමට ක්‍රියා කළ යුතු වෙනවා. දීඝනිකායේ සුභ සූත්‍රයේ දී කියැවෙන විදිහට සසර දුක ගැන කළකිරුණු තැනැත්තා එයින් මිදී සියලු බන්ධනයන්ගෙන් ඉවත්ව මහණදම් පුරණවා නම් ඉතා සුළු වරදෙහි වුව භය ඇති කර ගෙන ක්‍රියා කරන බව ප්‍රකාශ වෙනවා. පංචශීලයෙහි එන ශික්ෂා පද කීපයෙන් කය වචනය දෙකින් සිදු වන වරදින් මුදවා ගැනීමේ කාර්යය ඉටු කර ගැනීමට බෞද්ධයෝ මෙම සිල්පද සමාදන් වෙනවා. එපමණක් නොව දශවිධ අකුසල කර්මයෙන් වෙන් වීම තුළ යහපතෙහි ක්‍රියා කරනවා. වරදින් මිදෙනවා.


ඇසළ පුර පසළොස්වක

අගෝස්තු 01 අඟහරුවාදා පූ.භා. 03.53 න් පුර පසළොස්වක ලබා 02 බදාදා පූ.භා. 00.02 න් ගෙවේ.
01 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]