[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ආස්වාදය විඳින්න හැබැයි එහි ආදීනව තේරුම් ගන්න

ආස්වාදය විඳින්න හැබැයි එහි ආදීනව තේරුම් ගන්න

මේ සමාජයේ සතුට කියන දේ තරගයක් බවට පත්වෙලා. සමහර කෙනෙක් ජීවිතය විඳිනවා නෙමෙයි. හැබැයි විඳිනවා කියා සමාජයට පෙන්වමින් විඳවනවා. කෑම කඩයකට කෑම කන්න යනවා. තමන්ගේ කෑම පිඟාන, කෑම කඩේ නාමපුවරුව, බිල්පත සමාජයට පෙන්වන්න උත්සාහ කරනවා

ස්වාමීන් වහන්ස, සමාජය බලාපොරොත්තු වන සතුටත්, ධර්මයෙහි විග්‍රහ වන සතුටත් අතර වෙනසක් තිබෙනවා ද?

“සතුට” කියන්නේ භෞතික ලෝකයේ මිනිසා දකින දේ අනුව ලබන දෙයක්. යම් කෙනකුට සතුටු සහගත දෙයක්, තව කෙනකුට අසතුටක් වෙන්න පුළුවන්. කෙනකුට අසතුටු දෙයක් වුවත් කෙනකුට සතුටක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මිනිසා සතුට ලබන්නේ ලෞකික ලෝකයේ පංචකාමය තුළයි.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පැහැදිලි කරන්නේ “සංතුට්ඨි පරමං ධනං” සතුට පරම ධනයයි. විශේෂයෙන් ම ධම්මපදයේ සුඛ වග්ගයේ ගාථා දොළසකින් ම සතුට පැහැදිලි කරන අවස්ථාවක් හැටියට අප දකිනවා.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව යමෙක් කෙලෙස්වලින් ආතුර වූ සමාජයක, අනාතුරව ජීවත් වෙනවා නම් සතුට එයයි. සාමිස පී‍්‍රතියත් සාමිස සතුටත්, නිරාමිස පී‍්‍රතියත්, නිරාමිස සතුටත් යනුවෙන් සතුට වර්ග කෙරෙනවා.

සාමාන්‍ය භෞතික ලෝකයේ පවතින්නේ සාමිස පී‍්‍රතියයි. ආර්යයන් වහන්සේ, උත්තමයන් වහන්සේ ලබන්නේ නිරාමිස පී‍්‍රතියයි. ‘විශේෂයෙන් ම කෙලෙස් නිසා මිනිසා තුළ පවතින සතුට නැති වෙනවා. ලෝභය, ද්වේෂය, මෝහය, ආගාධය, පටිඝය, රාගය, ක්‍රෝධය, වෛරය යන කාරණා මත සමහර අයකුට සතුට නැති වෙනවා.

කාගේ හෝ ගෙයක්, ඇඳුමක් මල් ගසක මලක් දුටුවිට සමහර අයට ඒ පිළිබඳ පවතින්නේ තරහක්. ඔවුන් හිතනවා මල් පිපෙනවා නම් අපේ වත්තෙ, අපේ මල් ගස්වල ම පිපෙන්නට ඕනෑ. ගෙඩි හැදනෙවා නම්, අපේ වත්තෙ අපේ ගස්වල ම හැදෙන්න ඕනෑ. ඒ වගේම රැකියාවේ උසස්වීම් ලැබෙනවා නම් මට, මගේ සැමියාට දරුවන්ට ම ලැබිය යුතුයි. ඒ පෘථග්ජන ස්වභාවයයි.

සතුට තීරණය කරන හොඳම තැන කුමක්ද?

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “සබ්බේ පෘතග්ජනා උම්මත්තකා” පෘථග්ජන මනුෂ්‍යයා හැම වෙලාවක ම උම්මත්තකයි. කෙලෙස් නිසා ආතුර වෙනවා. සතුට කියන දේ පවතින්නේ අඳින ඇඳුමෙවත් යන වාහනේවත්, කරන රැකියාවෙවත් නොවෙයි.

අපේ සාහිත්‍යයේ ලස්සන කතාවක් තියෙනවා. පෙර රජ කෙනකුට අවශ්‍ය කරනවා, ඒ රටේ සතුටින් ම ජීවත් වන මනුෂ්‍යයා තමන් බවට පත්වෙන්න. රජතුමා තමන්ගේ පුරෝහිතට මේ බව පවසනවා. ඒ අවස්ථාවේ දී පුරෝහිත කියනවා, ඉතාම පහසු දෙයක් ගැන

රජතුමනි, ඔබතුමා මේ මුළු රටේ ම ඇවිද සතුටින් ඉන්න මනුෂ්‍යයා සොයන්න. එසේ සොයා ඔහු හැඳ සිටින කමිසය ඔබතුමා ඇඳගන්න. රජතුමා කල්පනා කළා මම මේ රටේ රජු. ඒ නිසා රට වැසියකුගේ කමිසයක් ගලවා ගන්න එක අපහසු දෙයක් නොවෙයි. එලෙස සිතා රජතුමා මුළු රටේ ම ඇවිද්දා. එසේ යන විට සතුටින් ම ඉන්න මනුෂ්‍යයා හමුවුණා.

එහෙත් ඒ මනුස්සයාට උඩුකය වසාගන්න කමිසයක් තිබුණේ නැහැ. තම උඩුකය වසා ගන්න වස්ත්‍රයක්වත් නොමැති මනුෂ්‍යයා මේ මුළු රාජ්‍යයේ ම සතුටින් ම ජීවත්වන්නේ, රජතුමා තේරුම් ගත්තා සතුට කියන්නෙ දේපළ, ගේ දොර, ඉඩකඩම් නොවෙයි කියා. සතුට කියා කියන්නේ මානසිකව ඒ දේ කළමනාකරණය කර ගැනීමට පුළුවන් බවයි.

ථේරී ගාථාවල සතුට ගැන කියැවෙනවා. උත්තම ස්වභාවයට පත් වූ තෙරණි සහ තෙරවරු තමන්ගේ සතුට ප්‍රකාශ කර තිබෙනවා. ලෝකය පිළිබඳ සෞන්දර්යාත්මක දේ පිළිබඳ උන්වහන්සේ අගය කර තිබෙනවා. එය රාගය හෝ කාමය හෝ යන ස්වභාවයට පත්වන්නේ සංකල්ප මත.

සමහර කෙනෙක් ඒ මත රාගය සාදා ගන්නවා. කාමය සාදා ගන්නවා. මේ ලෝකයේ විවිධත්වය මත, විචිත්‍රත්වයන් හැදිලා තියෙනවා. මෙන්න මේ විචිත්‍රත්වය තමයි අපි ලස්සන කියා කියන්නේ. ඒ ලස්සන දේ සිතින් දැක, ඒ තුළ රාගය, කාමය, උපදවා ගන්නේ නැතිව බොහෝම සැහැල්ලුවෙන් ලැබූ ජීවිතය පවත්වා ගෙන යමින් ධර්මානුකූලව දහම අවබෝධ කර ගත් අයට ලබන්නට පුළුවන් සතුටත්, ඒ වගේ ම ධර්ම අවබෝධයෙන් තොර කෙනකුට ලබන්න පුළුවන් සතුටත් අතර වෙනසක් පවතිනවා.

සතුට සදාකාලික වන්නේ මේ කියන “නිබ්බාණං පරමං සුඛං” නිවන කියන පරම සුවයට පත්වීමෙන් පසුවයි. ඒ පරම තත්ත්වයට පත්වීම ආර්ය ලාභය උපරිමය හැටියට තමයි අපි ධර්මානුකූලව සලකන්නේ.

බොහෝ දෙනෙක් පුරුදු වී සිටින්නේ භෞතික සම්පත් ප්‍රමාණය අනුව සතුට මනින්නට නේද?

මේ සමාජයේ සතුට කියන දේ තරගයක් බවට පත්වෙලා. සමහර කෙනෙක් ජීවිතය විඳිනවා නෙමෙයි. හැබැයි විඳිනවා කියා සමාජයට පෙන්වමින් විඳවනවා. කෑම කඩයකට කෑම කන්න යනවා. තමන්ගේ කෑම පිඟාන, කෑම කඩේ නාමපුවරුව, බිල්පත සමාජයට පෙන්වන්න උත්සාහ කරනවා. තමන්ගේ නිවස ඇතුළෙ උදේ, හවස හමුවන බිරිඳට නිවස ඇතුළෙ දෛනිකව සුබ පතනවා වෙනුවට සමාජ මාධ්‍ය මඟින් සුබ පතනවා. අපි තමයි සතුටින් ම ඉන්න පවුල කියා. සමාජයට පෙන්වන්න උත්සාහ කරනවා.

වර්තමාන සමාජයේ පරිභෝජන රටාව ඇතුළේ තිබෙන වඩාත් දුබලතාව නම් තමන් ජීවිතය විඳිනවා ය, සතුටු වෙනවා ය, තමන් ජීවිතය ඉතාම හොඳින් ගත කරනවා කියා සමාජයට පෙන්වන්න දරන උත්සාහයයි.

යාන – වාහන, ඇඳුම් – පැළඳුම්, ගේ දොර – ඉඩකඩම් තිබෙන විට යමෙක් හිතනවා, ඒ අයට නම් මොන ප්‍රශ්නද? ඒ අය හරිම සතුටින් ජීවත්වනවා ඇති කියා. ඇත්තම ස්වභාවය එය නොවෙයි. සමහර විටෙක බූරු ඇඳක නිදාගන්නා මනුස්සයා ලබන සතුට, බුමුතුරුණු ඇතිරූ යහනක නිදාගන්න අයකුට නැතිවෙන්න පුළුවන්.

දිනක් තථාගතයන් වහන්සේ වන ලැහැබක වැඩ සිට උදෑසන පිබිදුන මොහොතේ හස්තක ආලවක පැමිණියා. ඔහු භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා

“ඔබ වහන්සේ ඊයෙ රාත්‍රී හොඳට නිදා ගත්තා ද?” කියලා.

“ඔව් මම, මේ ලෝකයේ සැපට නිදාගන්න අයගෙන් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. හස්ථක නැවත මෙසේ අසනවා” මේ ගහ කොළ තිබෙන, හරක් කුරවලට කැඩුණූ පොළොවේ ඇට්ටේරියා කොළ බහුල වූ පොළවක ඔබ වහන්සේ සැතපෙන්නේ. එසේ නම් කොහොම ද සුව සේ නින්ද ගියා කියා පවසන්නේ”. ගෘහපතිය, යම් මනුස්සයෙක් බුමුතුරුණු ඇතිරූ බිමක සැප පහසු යහනක, සුරූපී ලලනාවන් සිව්දෙනෙක්ගේ පවන් සැලීමට ලක්ව උදෑසන වන තුරු සැතපෙනවා. ඔබ සිතනවා ද? සැපයට නිදා ගන්නවා යැයි කියා. “ඔව්, මම හිතනවා, බුදුරජාණන් වහන්ස, ඔහු සැපට නිදා ගන්න අයගෙන් එක් අයෙක් කියා”

”නැහැ. ගෘහපතිය ඔහු මුළු රාත්‍රිය ම රාග ගින්නෙන් පිච්චෙනවා. ඔහුට නඩත්තු කරන්න දේ තියෙනවා. නමුත් හස්ථක මට මේ කැලෑවේ නඩත්තු කරන්න දේ නැහැ. යමෙක් සරල වෙන්න, සරල වෙන්න අල්පේච්ඡ වෙන්න, වෙන්න සංතෘෂ්ඨිතාව, සුබරතාව දියුණු කරන්න කරන්න සතුට සහ සැනසීම ඇතිවෙනවා.

එහෙත් සංකීර්ණ වූ සමාජයක සමහර අයෙක් බොහෝ බඩු – මුට්ටු එකතු කර ගන්නවා. ඒත් ඔවුන්ට එයින් සැබෑ සතුටක් නැහැ. සමහර විටෙක ගෙදර ගෙනා පුටු කට්ටලයක තමන් ආසාවට වාඩිවෙලා නැහැ. ඒ වගේම බඩුමුට්ටු ප්‍රදර්ශනාගාරයක් වාගේ ගෙනත් තබනවා. ඒ තුළ ඒ පුද්ගලයා ගේ මානසික ආකල්පයයි පැහැදිලි කරන්නේ. පරිහරණයට අවශ්‍ය නැති සෑම දෙයක් ම අතිරේක භාණ්ඩ. නැතිනම් බහුභාණ්ඩයි. බහු භාණ්ඩික වීම සැනසීම නොලබන්න හේතුවක්.

ස්වාමීන් වහන්ස, සැනසීම කියලා අපි දුවන්නේ වැනසීම පසුපස ද?

ජීවිතයේ අවසාන මොහොතේ, මරණ මංචකයේ දී පවා බඩුබාහිරාදිය ගැන මතකයට පැමිණිය හැකියි. ඒවා කෙරෙහි උපාදානය හදාගන්න හදාගන්න ඇලීම සහ ගැටීම මත කෙලෙස් වැඩෙනවා. සැනසීමක් නම් නැහැ.

අපේ බුද්ධ ශාසනයේ ඉතාම තෘප්තිමත්ව සතුටින් වැඩසිටිය ස්වාමීන් වහන්සේ නමක් මහා කාශ්‍යප හාමුදුරුවෝ. උන්වහන්සේට තිබුණේ තුන් සිවුර පමණයි. මහා සිවුරු විශාල ප්‍රමාණයක් තිබූ ස්වාමීන් වහන්සේට වඩා පිණ්ඩපාතයෙන් යැපී වනගතව විසූ මහා කාශ්‍යප හාමුදුරුවෝ සුවයෙන් සතුටින්, පී‍්‍රතියෙන් ජීවත් වුණා.

අපේ ජීවන රටාව ගැන සිතන්න.

සමහර විට අප අල්මාරිය අරින විට ඇඳුම් තුන හතරක් ම බිමට වැටෙනවා ඒක ගුලි කරල අල්මාරිය ඇතුලෙන් තියනවා. භෞතික සැප සම්පත් මත නොවෙයි සතුට පවතින්නේ. නිවැරැදි කළමනාකරණ හැකියාව කියන කාරණාව මතයි.

ඉතිරි කොටස ඇසළ අව අටවක පෝදා (08) අන්තර්ජාල කලාපයේ පළවේ

ඇසළ පුර පසළොස්වක

අගෝස්තු 01 අඟහරුවාදා පූ.භා. 03.53 න් පුර පසළොස්වක ලබා 02 බදාදා පූ.භා. 00.02 න් ගෙවේ.
01 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]