[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඇසළ පුර පසළොස්වක පෝ දා 2023-08-01

තමන්ට තමන් අමතක නොවීමට ...

දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි සංගාරව නම් බ්‍රාහ්මණයෙක් උන්වහන්සේගෙන් මෙසේ විමසා සිටියේ ය. “භාග්‍යවතුන් වහන්ස, මා ඉගෙන ගන්නා කිසිවක් හරියට පාඩම් හිටින්නේ නැත. ඉගෙන ගත් මන්ත්‍ර පවා මතකයෙන් ගිලිහී යයි. මෙයට හේතුව කුමක් ද?” යනුවෙනි. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඉගෙන ගත් දේ අමතක වීමට ප්‍රධාන හේතුව වන්නේ පංචනීවරණ ධර්මයන් වන බව ය. ජීවමාන බුදුරදුන් දවස සංගාරව බ්‍රාහ්මණයා මුහුණ දුන් ගැටලුවට අද සමාජයේ ද බොහෝ දෙනෙක් මුහුණ දී සිටිති.

දැන උගත් දේ අමතක වූ කල ඇතිවන ගැටලු බෙහෝ ය. ජීවිතයට ඉතාම නරක බලපෑම් ඇති කරන්නේ ය. ගෙදර දොර කටයුතුවල දී, රැකියා ස්ථානයේ දී, අධ්‍යාපනය ලැබීමේ දී, සමාජයීය ජීවිතයේ දී ආදී ලෙස විවිධ අවස්ථාවන් හි විවිධාකාර ලෙස අපහසුතාවට පත්වේ.

එතැනින් ද නො නවතී. බෞද්ධයින් ලෙස අපගේ පරම බලාපොරොත්තුව මේ දුක්ඛිත සසර මඟ නවතා දැමීම ය. ඒ සඳහා නිවන අවබෝධ කර ගත යුතු ය. එහෙත් පංච නීවරණ ධර්ම නිවන් මාර්ගය අවහිර කරයි.

කාමච්ඡන්දය හෙවත් කාම රාගය නීවරණ ධර්ම අතර පළමුවැන්න යි. කාම රාගයෙන් දැවෙන පුද්ගලයාට හොඳ නරක තෝරා බේරා ගත නොහැකි ය. එවිට කළ නොකළ යුතු දේ නො වැටහේ. තමන් කවුද යන වග පිළිබඳ හෝ හැඟීමක් ඇති නොවේ. අපේ සමාජයේ ඇතැම් පුද්ගලයන්ට විටෙක අම්මා තාත්තා කවුද, සහෝදර සහෝදරියන් කවුද යන්න පවා අමතකව බොහෝ අනර්ථ වන සැටි අපි අසමු දකිමු.

පිරිසුදු ජල බඳුනකට වර්ණ මිශ්‍ර කළවිට ජලයේ පිරිසුදු බව දැක ගත නොහැකි ය. කාම රාගයෙන් දැවෙන්නා ද ඒ හා සමාන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. එහෙයින් ගින්නක් සේ පැතිර යා හැකි, තමන් ද දවමින් අනුන් ද දවාලන එම පහත් සිතිවිල්ල පිළිබඳ හොඳ අවබෝධයෙන් සිටිමින්, පැමිණි වහාම දුරු කර හරින්නට උත්සාහවත් විය යුතු ය.

සිතට දැනෙන සිතිවිලි හමුවේ, ඇසින් දකින, බලන රූප හමුවේ, කනට ඇසෙන ශබ්දය හමුවේ, නාසයට දැනෙන ගඳ සුවඳ හමුවේ, දිවට දැනෙන රසය හමුවේ, කයට දැනෙන පහස හමුවේ, කෙනෙක් රාගයෙන් මුසපත් විය හැකි බව තේරුම් ගත යුතු ය. එහිදී මේ ඉන්ද්‍රියයන්ට ගෝචර වන සියල්ලෙහි අනිත්‍ය ස්වභාවය සැබෑ යථාර්ථය තේරුම් ගන්නට උත්සාහ කරමින්, එම නීවරණය දුරු කළ යුතු ය. බොහෝ දෙනෙක් අන්ධයන් සේ කටයුතු කරන්නේ එය තේරුම් ගන්නට නොහැකිවීම නිසා ය.

ව්‍යාපාදය හෙවත් තරහ සිතිවිල්ල ද එලෙස ම ය. රත් වූ, බුබුලු දමමින් උතුරන ජල බඳුනකින් මුහුණ බැලිය නොහැකි බව නොතේරෙන්නේ අත දරුවකුට පමණි. ව්‍යාපාදය ද එවැනි ය. රත් වී උතුරන ජල බඳුනකින් මුහුණ බලනවා හා සමාන ය. වෛරයෙන්, ක්‍රෝධයෙන් පෙළෙන පුද්ගලයාට ද ජීවිතයේ ඇත්ත අවබෝධ නොවේ. කාම රාගයෙන් මත් වූවකුට සේ ම තරහෙන් මුසපත් වූවකුªට තමන් කවුද යන්න පවා අමතක ය. එවිට කරන කියන දේ පිළිබඳ කවර නම් කතාවක් ද? එවැනි අවස්ථාවන්ට උදාහරණ මේ සමාජයෙන් මොන තරම් නම් තිබෙනවා ද?

පවුලෙන් පටන් ගෙන ගම රට, තුළ ඇවිලී යන මහා යුද්ධ දක්වා හේතුවන්නේ මේ තරහ සිතිවිල්ලයි. එතැනින් නො නැවතී අපට ධර්මය අවබෝධ කර ගන්නට තිබෙන අවස්ථාව, ප්‍රඥාව දුබල කරන මේ සිතිවිලි නිවන් මඟ අවහිර කරයි.

අලසකම,සිතේ විසිරෙන ස්වභාවය හා පසුතැවිල්ල, බුද්ධාධි අටතැන් කෙරෙහි වන සැකය යන නීවරණ ධර්ම ද ජීවිතය අනතුරේ හෙළයි. අපගේ උතුම් පරමාර්ථය වන නිවන් මඟ අහුරයි. දහම් පොත පත කියවා, දහම් අසා මේ පිළිබඳ ධර්මාවබෝධය ලැබ යහපත් ජීවිතයක් ගෙවමින් මේ සසර මඟ කෙටි කර ගන්නට මේ උතුම් පෝදා අධිටන් කර ගනිමු.

ඇසළ පුර පසළොස්වක

අගෝස්තු 01 අඟහරුවාදා පූ.භා. 03.53 න් පුර පසළොස්වක ලබා 02 බදාදා පූ.භා. 00.02 න් ගෙවේ.
01 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]