[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

තෙරුවන් ලොව පහළ වූ අසිරිමත් දිනය අදයි

තෙරුවන් ලොව පහළ වූ අසිරිමත් දිනය අදයි

මේ මහා භද්‍ර කල්පයේ සිවුවනවරට ලොව පහළ වී වදාළ අපගේ පරම පූජනීය ශාස්තෘන් වහන්සේ විසි අසංඛ්‍යෙය කල්ප ලක්ෂයකට වඩා උත්තම සම්බුදු බව පිණිස පෙරුම් දම් පිරූ සේක. මෙයින් අසංඛ්‍යෙය කල්ප ලක්ෂ හතරකට පෙර වරමණ්ඩ නම් මහා කල්පයේ දී, අනූපම ගුණ ඇති දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දඹදිව් තලයේ දී ලොවට පහළ වී වදාළ සේක.

අනන්ත සංසාරේ වඩන ලද පින් ඇති අප මහා බෝසතාණන් වහන්සේ සුමේධ තාපස නම් ව ඉපිද දීපංකර සම්මා සම්බුද්ධ පාද මූලයේ සම්මා සම්බුදු බව පිණිස විවරණ සිරි ලබා ගත් සේක.

“ පින්වත් මහණෙනි මෙහි මඩ වගුරෙහි බිම දිගා වී සිටින මහා ඍෂිවරයා දෙස බලවු. මේ තෙමේ අහස් ගමන් යන්නෙකි. මහා සෘද්ධිමතෙකි. උදාර සංකල්ප ඇත්තෙකි. මෙයින් කල්ප ලක්ෂ හතරක් ඇවෑමෙන් මේ තෙමේ ගෞතම නමින් ශ්‍රී සම්බුද්ධත්වයට පත්වන්නේ ය. බොහෝ දෙවි මිනිසුන්හට සෙත සලසන්නේ ය. එකල ද, මෙකල සෙයින් අසිරිමත් යුගයක් උදාවනු ඇත”

මේ වනාහි ඒ උදාර පුරුෂ රත්නය ලද ප්‍රථම විවරණය විය.

සූවිසි විවරණ ලබා තුසිත දෙවිලොව සන්තුසිත නමින් දිව්‍යරාජිතව උපන් කල්හි සක්වල වැසි දෙවියෝ මේ බුද්ධාංකුරය දැක මෙසේ ආරාධනා කළෝ ය.

“කාලෝයං තේ මහාවීර - උප්පජ්ජ මාතුකුච්ඡියං

සදේවකං තාරයන්තෝ - බුජ්ඣස්සු අමතං පදං”

මහාවීරයාණෙනි, ශ්‍රී සම්බුද්ධත්වය පිණිස මේ ඔබට කාලය යි. මිනිස් ලොව මවු කුසෙහි පිළිසිඳ ගත මැනව. සදේවක ලෝකයා භව සයුරෙන් එතෙර කරවීම පිණිස අමෘත පදය නම් වූ ශ්‍රී සම්බුද්ධත්වය සාක්ෂාත් කරන සේක්වා .

මව්කුස පිළිසිඳ ගැනීම

අපගේ මහා බෝසතාණන් වහන්සේ දෙවි මිනිස් ලෝකය කෙරෙහි පතළ මහා කරුණාවෙන් ම කාලය, දීපය ,දේශය ,කුලය, මව යන පස්මහ බැලුම් බලා අසිරිමත් ඇසළ පුන් පොහෝ දිනයක දී, මිනිස් සියවස් ආයු ඇති කල්හී ජම්බුද්වීපයේ කපිලවස්තුපුර කිඹුල්වත් නුවර සුදොවුන් ශාක්‍ය රජුට දාව, පිනැති මහාමායා බිසවු කුස අසිරිමත් අයුරින් පිළිසිඳ ගත් සේක.

එකෙනෙහි මහාමායා බිසවු තොමෝ සොඳුරු ස්වප්නයක් දුටුවා ය. ඒ කෙසේද යත්, සිවු මහා දෙව් රජවරුන් මායා බිසවුන් වහන්සේ සැතපී සිටි යහන ඔසවාගෙන ගොස් හිරියල් ගල් තලාවක සුපිපි මලින් හෙබි සල් රුකක් සෙවණේ තැබූහ. සතර වරම් දෙවිවරුන්ගේ අග්‍ර මහේශිකාවෝ මායා බිසවු අනෝතප්ත විලෙන් දිය නහවා, සළු හඳවා, දිව මල් පළඳවා, රන් යහනේ බටහිරට සිරසලා සතප්ප වූහ. එකෙනෙහි වළාතුරින් සුදෝ සුදු ඇත් පැටවෙක් සුදු නෙළුමක් සොඬින් රඳවාගෙන පැමිණියේ ය. හේ බිසවු වටා තුන්වරක් පැදකුණු කළේ ය. මනා සිහියෙන් යුතුව ම බිසවුගේ දකුණු ඇලයෙන් කුසට ඇතුළු වූයේ ය. දස දහස් ලෝ ධාතුව එකහැර කම්පා විය. ඒ වනාහි ඇසළ පුන් පොහෝ දින සිදුවූ අප මහා බෝසතාණන් වහන්සේගේ මවු කුස පිළිසිඳ ගැනීමයි.

මහා බෝසතාණන් වහන්සේ මයා බිසවු කුස තුළ පුර සඳක් සේ වැඩෙනා සේක. අපමණ ආශ්චර්යය ඇතිව පිරුණු දස මසින් යුතු දරුගැබ ඇති කල්හී වෙසක් පුන් පොහෝ දවසේ ලුම්බිණී සාල වනෝද්‍යානයේ දී දෙව් මිනිස් ලෝකයා තුටු කරවමින් අනන්ත ප්‍රාතිහාර්ය මැද, ධර්මාසනයෙන් බස්නා ධර්ම කථිකයෙක් සේ මවුට කිසි දුකක් නොදී මනුලොවට වැඩි සේක. සත් පියුම් මතින්, සත් පියවරින්, උතුරු දෙසට වැඩි මහා බෝසතාණෝ සිහනද පතුරුවාලූ සේක. එකල්හි දසදහස් ලෝ ධා ප්‍රීති සොම්නසින් ප්‍රකම්පිත විය. ඒ වනාහි සිද්ධාර්ථ මහා බෝසතණන් වහන්සේගේ උපත යි.

ගිහි කාම බන්ධන අතහැරීම

දෙව් විමනකට බට දෙව් රජකු සේ අපමණ රාජකීය සම්පත් මැද තුරුණු වියට එළැඹෙත්ම මහා බෝසතාණන් වහන්සේගේ අසිරිමත් පරිවර්තනයක් සිදුවිය. දිනක් උයන් කෙළියට යද්දී ජරාවෙන් දැදුරු වී ගිය, පැසී ගිය, දුබල බවට පත් වූ ජරපත් මහල්ලකුගේ රුව දැක කුමරු සිත සලිත වී ගියේ ය. දෙවන දිනයේ සිරුර පුරා ගෙඩි මතුවී ගිය - ලේ සැරවෙන් ගැවසුන බැගෑ හඬ නඟන රෝගියකු දුටුවේ ය. තුන්වෙනි වර මළකඳක් රැගත් පෙරහරක් දුටුවේ ය.

“අහෝ, ලෝවැස්සන් ජරාවෙන් ද, රෝග පීඩාවෙන් ද, මරණයෙන් ද පෙළෙමින් සිටිති. උපන්නා වූ උනුන්හට පිළිසරණක් නැත්තේ ද? පිහිටක් නැත්තේ ද? යැයි” සිද්ධාර්ථ කුමරුගේ සිත කළකිරුණේ ය.

“ඇත්තෙන්ම මමත් ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන, ඉපදෙන ස්වභාවයට අයිති දෙයක් සොයන්නේ කුමට ද? මමත් ජරාවට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත්වෙන දෙයක් සොයන්නේ කුමට ද? මමත් ලෙඩවෙන ස්වභාවයෙන් ඉඳගෙන ලෙඩ වෙන ස්වභාවයට අයිති දෙයක් ම සොයන්නේ කුමට ද? මමත් මැරීයන ස්වභාවයෙන් ඉඳගෙන මැරීයන දෙයක් ම සොයන්නේ කුමට ද? මමත් ශෝක වෙන ස්වභාවයෙන් ම ඉඳගෙන ශෝකවෙන දෙයක් ම සොයන්නේ කුමට ද? මමත් කිලුටුවෙන ස්වභාවයෙන් ම ඉඳගෙන කෙලෙසෙන දෙයක් ම සොයන්නේ කුමට ද?”

( අරියපරියේසන සූත්‍රය - මජ්ක්‍ධිම නිකාය)

යළි එක්තරා දිනයක දී උයන් කෙළියට යන කල්හී හිස මුඩුකොට ගත් සඟල සිවුරු දරාගත් සංවර ඉඳුරන් ඇති ශ්‍රමණයන් වහන්සේ නමක් දැක සිත පහන් වී ගියේ ය. එ දවස මහත් ප්‍රීතියට පත් එතුමෝ උයන් කෙළියට ගොස් උයන් පොකුණෙහි සිසිල් පැනින් නහගත්තේ ය, නා නා වස්ත්‍රයෙන් සැරසුණේ ය. සක්දෙව් රජුගේ ඇරයුමෙන් විස්කම් දෙව්පුතු බෝසතුන් සැරසුවේ ය. ඒ වනාහි අවසාන සැරසීම විය. නො කැලඹුණු සිත් ඇති මහා බෝසතාණෝ උයන් කෙළිය අවසන් කොට මාලිගාවට පැමිණියේ ය. එදින රාත්‍රියේ දී නාටිකාංගනාවෝ ගීත ගැයූහ, තූර්ය නාද කළෝ ය. නැටුම් දැක්වූහ. කාමයේ නො ඇලුණු කුමරු නිදන්නට වන්හ. රාත්‍රී අවදි වූ කුමරු දුටුවේ තැන තැන වැටී කෙළ වගුරුවමින් ගොරවමින් සිටින නළඟනන්ගේ විප්‍රකාර ය. හේ සංවේගයට පත්විය. අද ම මා අභිනික්මන් කළ යුත්තේ යැයි දැඩිව අදිටන් කොට ගත්තේ ය. ඒ දවසේ ම උපන් සිඟිති රහල් පුතු සිටින රාහුල මාතාවන්ගේ යහන් ගැබෙහි දොර සෙමින් විවර කොට රහල් කුමරු දෙස බලා ලෝ වැස්සන්ට මහත්

අනුකම්පා සිතින්ම, නිහඬව ම ආපහු හැරී ආයේ ය. ඡන්න ඇමති සමඟ කන්ථක අසු පිටින් නැඟෙනහිර දොරටුවෙන් අභිනික්මන් කළෝ ය. “අසිරියකි” ද්වාර පාලකයෝ සුව නින්දේ ය. දෙවියෝ දොරගුළු හැර දුන්හ. අශ්වයාගේ කුර හඬ කිසිවකුටත් නොඇසුණේ ය. සක්විති පදවිය පවා අත්හැර සම්බුද්ධත්වයට ම සිත ඇලී ගියේ ය. මේ වනාහි ඇසළ පුන් පොහෝ දින සිදුවූ මහා අභිනික්මන යි.

ශ්‍රාවක සඟරුවන ලොව පහළවීම

සා අවුරුද්දක් පුරාවට මහා බෝසතාණන් වහන්සේ අපමණ වීරියකොට නිවන් මඟ සෙවූ සේක. මෝරා ගිය නුවණින් යුතු අප මහා බෝසතාණන් වහන්සේ අන්ත දෙකම බැහැර කොට මධ්‍යම ප්‍රතිපදාවෙන්, පාරමී බලයෙන්, දස මරුන් පරදවා වජිරාසනය මත සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක.

දෙව් මිනිසුන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් යුතුව ඉසිපතන මිගදායේ දී චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත උතුම් දම්සක් ප්‍රවර්ථනය කළ සේක. දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ මේ සියලු ලෝක ප්‍රජාව තුළ - මින් වසර 2612 කට පෙර, ඒ අප්ප්‍රතිවර්ථ දම්සක් නදින් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ තෙරුන් වහන්සේ ඇතුළුව පස්වග භික්ෂුන් වහන්සේ පෙර නොදුටු විරූ දහම් ඇස උපදවා ගත්සේක.

මේ මහා භද්‍ර කල්පයේ සිවුවෙනි වරට ලොව පහළ වී වදාළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ, ධර්මයෙන් නිර්මිත උත්තම ශ්‍රාවක සඟරුවන ලොවට පහළ වූ සේක.

ඒ මොහොතේ පටන්, ලෝකයට කල්ප ගණනින් අසන්නට, දකින්ට, දුර්ලභ බුද්ධ රත්නයත්, ධර්ම රත්නයත්, සංඝ රත්නයත් යන ත්‍රිවිධ රත්නයේ පහළ වීම සිදුවූහ. එය ද උතුම් ඇසළ පුන් පොහෝ දිනක දී ම සිදුවුයේ ය. ඒ නිසා තුන් ලොවෙහි ම දුර්ලභ සම්මා සම්බුද්ධ ශාසනය ලද මොහොතේ සත්ජනයෝ මුළු හදවතින් ම බුදුන් සරණ යෙත්වා! මුළු හදවතින් ම දහම් සරණ යෙත්වා! මුළු හදවතින් ම සඟුන් සරණ යෙත්වා!

අධි ඇසළ
පුර පසළොස්වක

ජූලි 02 ඉරිදා අ.භා. 08.19 න්
පුර පසළොස්වක ලබා
03 සඳුදා අ.භා. 05.07 න් ගෙවේ.
03 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]