අධි ඇසළ පුර පසළොස්වක 2023-07-03
දුසිරිත විපත් ගෙන දෙයි
මොනතරම් නම්බුනාම, නිලතල, වත් පොහොසත්කම් ලැබුණ ද තමන්ට තමන් පාලනය කර ගත නොහැකි
නම් ඒ පුද්ගලයා තමන්ගේ අනතුර තමන්ම ළඟා කර ගත්තෙකි. රාගය, ද්වේෂය, මෝහය ආදී අකුසල
සිතිවිලි මුල්වීමෙන් කරන කියන දෙයෙහි විපාක බරපතළ ය. තමන් ගැන හොඳ අවධානයකින්,
විමසිල්ලකින් පසුවෙමින් සිතිවිලි හා ක්‍රියාකාරකම් පාලනය කර නොගත්තේ නම් ජීවිතය ම
අඳුරට ඇදී යෑම වැළැක්විය නොහැකි ය.
සමාජය තුළ වන කාම අපරාධ, වංචා දූෂණ, සොරමැරකම් ආදී විවිධ දුරාචාර ජීවිතය වරදෙහි
යෙදවීමේ විපාක ය. වැරැදීම සාමාන්‍ය ස්වභාවයක් වුව ද නැවත නැවත වැරැදි නොකිරීම ද,
වරදින්නට පළමුව හොඳින් සිතා බලා එයින් වැළකීම ද සැබෑ මනුෂ්‍ය ස්වභාවය වන්නේ ය. විය
යුතු එය වුව ද සොරකම, මනුෂ්‍ය ඝාතන, කාම අපරාධ, ඇතුළු දුෂිත ක්‍රියා නිසා නීතියෙන්
දඬුවම් ලැබ සිරගත වන ඇතැම් පුද්ගලයන් සිරෙන් නිදහස් වී පැමිණිය ද නැවත ඒ දූෂිත
ක්‍රියාකාරකම් හි ම නිරත වන අයුරු සමාජයේ අසන්නට පෙනෙන්නට තිබේ. වරදෙහි භයානකකම
නොදැකීම ඊට හේතු ය.
කොසොල් රජතුමා ගැන නො ඇසූ බෞද්ධයකු නැති තරම් ය. මේ රජු කම් සැපයෙහි ගිජු වූ
අවස්ථාවක් ගැන බෞද්ධ ඉතිහාසයෙහි කියැවේ. දිනක් රජතුමා කම්සැප විඳීමෙහි ගිජුව රැය
නිදිවරමින් සිටියේ ය. මැදියම් රැය වන විට “දු - ස - න - සෝ” යන හඬක් රජුට ඇසුණි. මේ
සිව් හඬින් තැති ගත් රජු බියට පත්වුණි. ලොමු දැහැ ගැන්වුණි. පසුදා අලුයම වෙත්ම රජු
බුදුරජාණන් වහන්සේ හමුවීමට වෙහෙරට ගියේ ය. මැදියම් රැයෙහි තමන් බියට පත් කළ ඒ හඬ
තමන්ට හෝ රටට විපත් ගෙන දීමේ පෙර නිමිත්තක් දැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසා
සිටියේ ය.
එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ එය විපතක පෙර නිමිත්තක් නොවන බවයි. පෙර
බවයන්හි වරදවා කම් සැපයෙහි යෙදුණු සිටුවරයන් සතර දෙනක් ලෝකුඹු නිරයෙහි වැටී
පැසෙමින් සිටින අතරතුර නිරය මුවවිටට පැමිණි කල තමන් කළ කර්මය සැලකීමෙන් සිව් ගයක්
පැවසීමට වෑයම් කළහ. එහෙත් නොහැකිව එම සිව්ගයේ දු ස න සෝ යන මුල් අකුරු සතර පමණක්
සිව් දෙනා වෙන වෙනම පැවසූහ යි උන්වහන්සේ විස්තර කළහ.
එම සිවු ගයට අනුව පළමු වැන්නෙහි කියැවෙන්නේ “අපි ධනය ඇති කල්හි දන් නුදුන්නෙමු.
දුසිරිතෙහි හැසිරුනෙමු. පවිටු සේ දිවිගත කළෙමු. සැප ඉසුරු ඇති කල එයින් තමන්ට
පිහිටක් කර නොගතිමු යන්න ය.
දෙවැනි ගයෙහි අර්ථය වන්නේ සැට දහසක් අවුරුදු පිරුණි. ලෝකුඹු නිරයෙහි පැසෙන්නා වූ
අපට මෙහි කෙළවරක් කවර කලෙක්හි වන්නේ ද? යන්න ය.
යම් කලෙක ඔබ හෝ මා හෝ බොහෝ පව් කරන ලද්දේ ද එනිසා ම දුකෙහි කෙළවරක් නොවන්නේ ය. ඒ
තෙවැනි ගයෙහි අර්ථයයි. අවසන් ගයෙන්, මේ නිරයෙන් මිදී මිනිසත් බව ලැබ සුසිරිතයෙහි
අනුසස් කියන්නෙක් ව, සිල්වතෙක් ව බෙහෙවින් කුසල් කරන්නෙමි’යි අර්ථවත් වේ.
දුසිරිතෙහි භයානකකම වටහා ගන්නට ධම්ම පදයේ එන මේ කතා පුවත ම ප්‍රමාණවත් ය.
භෞතික සැප සම්පතින් මොන තරම් ආඪ්‍ය වුව ද අපට ඒ සියල්ල හැර දා දිනෙක යන්නට සිදුවේ.
ඒ හිස් අතිනි. ගෙන යා හැකි කළ පින් පව් පමණි. අඳුරෙන් අඳුරට නොපැමිණ අඳුරෙන්
ආලෝකයට, ආලෝකයෙන් ආලෝකයට යා යුතු එහෙයිනි. අඳුර නම් පව්කම් ය. අකුසල ය. ආලෝකය නම්
පින් කුසල් ය.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නිදිවරන්නාට රැය දිග බව ය. ගමන් විඩා ඇත්තාට
යොදුන දිගු බව ය. සදහම් නොදත් අනුවණයාට සසර දිගු බව ය. |