[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සැනසිල්ලෙන් ඇස් දෙක පියාගන්න විමසිල්ලෙන් ජීවත් වන්න

සැනසිල්ලෙන් ඇස් දෙක පියාගන්න විමසිල්ලෙන් ජීවත් වන්න

අප හැම දෙනාගේ ම බලාපොරොත්තුව සතුටෙන් සැනසිල්ලෙන් ජීවත්වීම යි. මිල මුදල්, ඉඩකඩම්, දේපළ, ව්‍යාපාර රැකියා තිබූ පමණින් ම සතුටෙන් ජීවත් විය හැකි ද?

අසූ කෝටියක් ධනය තිබූ මහාධන සිටු පුත්‍රයා විවාහ වූයේ අසූ කෝටියක් ධනය ඇති පවුලක සිටු දියණියක සමඟ ය. ධනය ඇති නිසා දෙදෙනාම ඉගෙන නො ගත්හ. ඔවුන් පි‍්‍රයකරන සංගීතය, නැටුම්, ගැයුම් පමණක් ඉගෙන ගත්හ.

මේ සිටු පුත්‍රයා ගැන සෝදිසියෙන් සිටි ඇතැම් දෙනා මත්වතුර පානයට හුරු කර ගත්තොත් තමන්ට ලොකු වාසියක් වන බව සිතා ක්‍රමෝපායන් යොදමින් මොහු සමඟ මිත්‍රත්වයක් ඇතිකර ගත්හ. මේ අනුව හැමදාම මත්ද්‍රව්‍ය භාවිතයට හා සූදුවට නැටුම්, ගැයුම්වලට යෙදීමෙන් තම මුළු ධනය ම විනාශ කර ගත්තේ ය. තම භාර්යාව සතු ධනයත්, ගෙවල් දොරවල්, ඉඩකඩම්, සියල්ලමත් විකුණා මහමඟට බැස්සහ. හිඟමනෙන් ජීවත්වූහ.

දිනක් බුදුරදුන් වැඩ සිටින ආරාම දොරටුව අසල දී කුඩා සාමණේර හිමිවරුන් විසින් දෙනු ලබන ඉඳුල් බත් භාරගන්නා මේ දෙපළ දැක බුදුරදුහු සිනා පහළ කළහ. මෙය දුටු අනඳ හිමියෝ කුමන කරුණක් නිසා සිනා පහළ කළේ’දැයි බුදුරදුන්ගෙන් විමසූහ.

ආනන්ද, මේ මහා ධන සිටු පුත්‍රයා ප්‍රථම වයසේ දී තම ධනය වැදගත් කර්මාන්තයන්හි යෙදවූයේ නම් අද මේ නගරයේ අග්‍ර සිටුවරයා වනු ඇත. ගිහිගෙයින් නික්ම පැවිදි වූයේ නම් රහත් ඵලයට පත්වනු ඇත. සිටු භාර්යාව ද අනාගාමී ඵලයට පත්වනු ඇත. මධ්‍යම වයසේ දී ධනය නාස්ති නො කොට කර්මාන්තවල යෙදැවූයේ නම් මේ නගරයෙහි දෙවන සිටු තනතුර ලබන්නේ ය. පැවිදි වූයේ නම් අනාගාමී වන්නේ ය. භාර්යාව ද සකෘදාගාමී වනු ඇත. පශ්චිම අවධියේදීවත් තම ධන විනාශය තේරුම් ගෙන එයින් වැළැකී කර්මාන්තවල යෙදුයේ නම් නගරයෙහි තුන්වන සිටුවරයා වන්නේ ය. පැවිදි වූයේ නම් සකෘදාගාමී වන්නේ ය. භාර්යාව ද සෝවාන් ඵලයට පත් වන්නී ය. දැන් ගිහි ජීවිතයෙන් මෙන්ම පැවිදි ජීවිතයෙන් ද පරිහානියට පත්ව ඇත.

පැවිද්දට සුදුසු තරුණ වියේදී පැවිදි වී, බඹසර නො වැස,ී එමෙන්ම ගිහියකු වශයෙන් ගොවිකම් වෙළෙඳ ව්‍යාපාර ආදිය නොකර, ධනයත් නො උපයා ප්‍රමාද ජීවිත ගත කළ අඥානයින්ට දිය සිඳී ගිය නිසා මසුන් නැති විලෙක මඩ මත හිඳ තැවෙන පියාසර කළ නොහැකි කොස්වා ළිහිණියකු මෙන් තැවෙන පීඩාවට පත්වෙන ජීවිත ගත කිරීමට සිදුවනු ඇත.

ළමා කාලය ඉගෙන ගත යුතුයි. තරුණ අවධිය තම ශ්‍රමය වැයකරමින් ධාර්මිකව හරි හම්බ කළ යුතුයි. උපයන ධනය විනාශ වන්නට නොදී පරිහරණය කළ යුතුයි. නමුත් අද සමහර තරුණ ජීවිත මංමුලා වූ ගමනක යෙදී ඇත. බොහෝ දෙනකුට තම ජීවන ගමනේ අරමුණක් ඉලක්කයක් නැත. පිළිවෙලක් නැත.

සමහරු මත්පැන්, මත්ද්‍රව්‍ය, මත්කුඩු, හා සූදුව වැනි විනාශකාරි ක්‍රියාකාරකම් සඳහා පෙළඹී හරි හම්බ කරන ධනයත්, මව්පියෝ හම්බ කරන ධනයත්, මව්පිය උරුමයෙන් ලත් දේපළත් විනාශ මුඛය කරා ගෙන යන බව බොහෝ විට අපට දැක ගන්නට පුළුවන. පරපුරක් විනාශයට යොමු කරන, රෝගී පරපුරක් ඇතිකරන මත්වතුරවලට යොමුවීමේ ඇති බරපතළ විනාශය මෙන්ම මෙලොවත් පරලොවත් පරිහානියට පත්වන අයුරු දකින්නට ඔබ උත්සාහ කරන්න.

සිඟාලෝවාද සූත්‍රයෙහි දී මත්ද්‍රව්‍යයන්ගෙන් වන දුර්විපාක වර්ග කර දක්වා ඇත.

බලා සිටිය දී ම ධනය විනාශවීම, කලකෝලාහල වැඩිවීම, රෝග කාරකවලට සුදුසු තැනක්වීම, අපකීර්තියට පත්වීම, ලජ්ජා රහිතවීම හා උපඥානය දුර්වලවීම යි.

මත් ද්‍රව්‍ය සඳහා වැය කළ යුතු මුදල විශාල ය. දිනපතා පුරුද්දක් බවට පත්වීම තම ධනය පමණක් නොව තමා සතු සියලු සම්පත් ද වැනසීමකි. සොරකම් කර හෝ තම අවශ්‍යතාව ඉටුකර ගැනීමට ඔහු පෙළඹෙනු ඇත.

මත්පැන් සිහිවිකල් කරයි. පෙර එක් රජ කෙනෙක් සුරාපානයෙන් මත්වී තම පුත්‍රයා මරවා මස් කෑ අයුරු බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් ය. පසුව තමා කළ දේ ගැන ශෝකයටත්, වේදනාවටත් පත්වූ අයුරු දක්නට පුළුවන. සිය අඹුදරුවන් සමඟ නිතර කළකෝලාහල ඇතිකර ගනී. ගෙදර බඩුමුට්ටු විනාශ කරයි. අහල පහළ අයටද චණ්ඩිකම් පෙන්වයි. අසභ්‍ය වචනයෙන් බැණ වදියි. පොලීසි උසාවි යන්නට වන අවස්ථා එමට ය.

මත් ද්‍රව්‍ය ඔබ රෝගියකු බවට පත්කරයි. වකුගඩු දුර්වල කරයි. ශරීරය දුර්වල කරන අතර, විවිධ රෝගවලින් පෙළෙන අයකු බවට පත්කරයි.

සමාජය මොහු පිළිකුල් කරයි. මෙවැනි අය කෙරේ සමාජය කිසිදා විශ්වාසයක් තබන්නේ නැත. හදිසියකදී කිසිවකුගෙන් වත් උදව්වක්, උපකාරයක් නොලැබිය හැකි මට්ටමට පත්වෙයි. මෙවැනි අයගේ දරුවන්ට ද සමාජයේ දී විවිධ ප්‍රශ්න ඇති විය හැකි ය.

දරුවන් ඉදිරිපිට පවා අසභ්‍ය වචන පාවිච්චි කරති. ලජ්ජාවක් භයක් නැත. අන් අයගෙන් නොයෙකුත් දේ ඉල්ලති. නො දුන්නොත් බැණ වදිති.

මොළයේ ශෛල විනාශ වී මානසික වශයෙන් විකෘති බවට පත්වෙති. සිහිවිකල් වෙති. නිරවුල් මනසක් නැත. කල්පනා ශක්තිය දුර්වල වනු ඇත.

බුදුදහමට අනුව “මහණෙනි, සුරාව පානය කිරීම, නිතර සිදුකිරීම, බහුල වශයෙන් කිරීම අපායගාමී වීමට හේතුවකි. පේ‍්‍රත ජාතියෙහි ඉපදීමට ද හේතුවකි. ඉතා අඩු විපාක වශයෙන් ගත් කල මිනිස් ලොව උපන්නත් උමතු බව ඇති කරවයි.

ධනය විනාශ වී යන දොරටු (අපාය මුඛ) හයක් ලෙස සඳහක් කරන බුදුරජාණන් වහන්සේ ඉන් පළමුවැන්න ලෙස දක්වන්නේ මත්ද්‍රව්‍ය භාවිතය යි.

සිඟාල සූත්‍රයට අනුව ධනය නැති දිළිඳු වූ යමෙක් මත්වතුර බොන්නේ, පොකුණක් වෙත ගිය අයෙකු දිය පානය කරන්නා සේ මත්වතුර බීමෙහි ගිජු වූයේ ණයකාරයකු බවට පත්වෙයි. ඉතා ඉක්මණින් එම පවුල පිරිහීමට පත්වනු ඇත.

පරාභව සූත්‍රයට අනුව ඉක්මණින් මිනිසාගේ විනාශයට පරිහානියට හේතුවන කරුණු දෙකක් ලෙස පෙන්නුම් කර ඇත්තේ ස්ත්‍රීන්ට ලොල්වීම හා මත්ද්‍රව්‍යවලට ලොල්වීමයි.

ධම්මපදයේ මල වර්ගයේ සඳහන් ආකාරයට යමෙක් සතුන් මරයි ද, බොරු කියයි ද, නොදුන් දෑ ගනී ද, පර අඹුවන් කරා යයි ද, මත්පැන් බොයි ද ඔහු මෙලොව දී ම තමාගේ වළ හාරගන්නකු බවට පත්වනු ඇත යනුවෙන් පෙන්වා දී ඇත.

පංචශීලය සුරැකීමට අප අධිෂ්ඨාන කර ගත යුතුයි. පන්සිල් සදාචාරයේ අඩිතාලමයි. පන්සිල් රකින්නා ශීලාචාර හැදිච්ච අයකු ලෙස සැලකේ. සමාජය ඔහුට ගරු කරයි. ඔහු විශ්වාසවන්තයකු බවට පත්වේ. පන්සිල් සුරැකීම යනු මානව සමාජයට පමණක් නොව සමස්ත පරිසරයට ද ගරු කිරීමකි. අනුන් සතු අයිතීන් සුරැකීමක් මෙමඟින් සිදුවේ. පන්සිල් සුරකින සමාජය ශිෂ්ට සමාජයකි.

අධි ඇසළ
පුර පසළොස්වක

ජූලි 02 ඉරිදා අ.භා. 08.19 න්
පුර පසළොස්වක ලබා
03 සඳුදා අ.භා. 05.07 න් ගෙවේ.
03 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]