නිවන් පිළිවෙත මැදුම් පිළිවෙත ය
ගරු ලේඛකාධිකාරි විනිශ්චයකාරක
සංඝ සභාව
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාව
පත්බේරියේ ශ්‍රී විමලඤාණ නා හිමි
සම්බුදුරජාණන් වහන්සේ අද වැනි ඇසළ පුන් පොහෝ දිනක බරණැස්නුවර මිගදාය නම් වූ
ඉසිපතනයට වැඩම කර කොණ්ඩඤ්ඤ, වප්ප,භද්දිය, මහානාම, අස්සජි යන පස්වග තවුසන් අමතා මෙසේ
වදාළහ.
මහණෙනි,පැවිද්දකු විසින් අත්හළ යුතු අන්ත දෙකකි. එනම් කාමසුඛල්ලිකානු යෝගය හෙවත්
කම්සැපයෙහි ඇලී ගැලී සිටීම ය. එය පහත් ය, රළු ය, පොදු ජනයා විසින් සෙව්ණේ ය. අනාර්ය
ය, අවැඩදායක ය.
දෙවැන්න අත්තකිලමථානුයෝගය හෙවත් ශරීරයට වද දීමයි. එය දුක් දෙයි. අනාර්යයි. අවැඩ
දායකයි.
මේ අන්ත දෙකට ම නොගොස් තථාගතයන් වහන්සේ විසින් සොයා ගන්නා ලද නෙත් පාදවන, (චක්ඛු
කරණී) නුවණ ඇති කරන, මැදුම් පිළිවෙත (මජ්ක්‍ධිමා පටිපදා) සැනහීමටත් (උපසමාය) උසස්
දැනුමටත් (අභිඤ්ඤාය සම්බෝධාය) සත්‍යය අවබෝධ කර ගැනීමටත් (නිබ්බාණාය) මඟ පාදයි.
බුදුරජාණන් වහන්සේ මැදුම් පිළිවෙත කවරේදැයි දේශනා කරමින් “මහණෙනි මැදුම් පිළිවෙත
නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එය සම්මාදිට්ඨි ආදි අංග අටකින් යුතු බව වදාළහ.
බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර සිටම දඹදිව විමුක්තිය සොයා ගිය ශ්‍රමණ, බ්‍රාහ්මණ,
තාපස, ආජීවකාදී බොහෝ දෙනා විවිධ ක්‍රියා මාර්ග පිළිවෙත් අනුගමනය කළහ. පෙර උපත හා
මතු උපත පිළිනොගත් ඔවුහු මේ ආත්මභාවයේ දී හැකි තාක් ඇති තාක් පස්කම් සැප විඳිය යුතු
බව ප්‍රකාශ කළහ.
දිවි ඇතිතාක් සැප විඳිමින් ජීවත්විය යුතු ය. ණයට ගෙන හෝ ගිතෙල් අනුභව කරන්න. මරණින්
මතු සොහොනෙහි දවා හළු කළ තැනැත්තා නැවත නොඑන්නේ ය යන්න භෞතිකවාදීන්ගේ මතය විය.
ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ සිටුවරු, සෙන්පතිවරු, අමාත්‍යවරු මෙන්ම රාජකීයයෝ ද සැප
විඳීමට කටයුතු කළේ මේ භෞතිකවාදයේ පිහිටා ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ
කුමාර අවදියේ සතර පෙරනිමිති දැක ජාති ,ජරා,මරණාදියෙන් මිදීමට ඉවහල් වන සත්‍යය සොයනු
පිණිස මහාභිනිෂ්ක්‍රමණය කළහ.
එ දවස ෂට්ශාස්තෘන් අතරට ගැණුනු අකිරියවාදී පූරණ කස්සප ප්‍රකාශ කළේ “කුසල් හෝ අකුසල්
කර්ම කළත් එයින් සිදුවන පිනක් හෝ පවක් නැතැයි යනුවෙනි.
මෙසේ පින්, පව් කර්ම – කර්ම විපාක, මෙලොව පරලොව, නොපිළිගන්නා වූ පූරණ කස්සප,
අජිතකේසකම්බලී ආදීහු අහේතුවාදී අප්‍රත්‍යයවාදී, නාස්තිවාදී, උගැන්වීම් තුළින්
කාමසුඛල්ලිකානු යෝගී අන්තවාදී පිරිස් ඇති කළහ.
කම්සුව විඳීමේ නිසරු බව වටහා ගත් සිද්ධාර්ථ තාපසයාණෝ වසර හයක් දුෂ්කර ක්‍රියා කළේ
නිවන් මඟ සොයා ගැනීමේ පරම අධිෂ්ඨානයෙනි. ඒ අනුව පිඬු සිඟායාම අත්හැර බිම වැටෙන පල,
ගස මුලට වැටුණු ගෙඩි පමණක් අනුභව කළහ. “පවත්තඵල භෝගී වූහ.
අප්‍රාණක ධ්‍යානය වඩමින් ආශ්වාස ප්‍රශ්වාස නැවැත්වූ දා ශරීරයට අප්‍රමාණ දුක් දී
නමුත් එමඟින් යථාර්ථය අවබෝධ කළ නොහැකි බව වටහා ගත් බෝසතාණෝ මෙසේ අත්තකිලමථානුයෝගය
අත්හැර දැමු දා ස්වල්ප ආහාරයක් ගෙන සිරුර සවිමත් වූ පසු වප් මඟුල් දින වැඩූ ආනාපාන
සති භාවනාව වඩා ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යාන උපදවා ත්‍රිවිද්‍යා ඥානයන්
ලබා සකල ක්ලේශයන් සහමුලින් සිඳ සම්‍යක් සම්බුද්ධත්වයට පත්වූ අයුරු බුද්ධ චරිතයෙන්
දකිමු.
මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය නිර්වාණාවබෝධය සඳහා වන ඒකායන
මාර්ගයයි. හතළිස් පස් වසරක් දේශනා කළ අසූහාර දහසක් වූ ධර්මස්කන්ධයේ මැදුම් පිළිවෙත
අරිඅටඟි මඟ සිය දහස් වරක් දේශනා කළේ එහෙයිනි.
මැදුම් පිළිවෙතේ අරුත ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ විසින් විවරණය කළේ
චක්ඛුකරණී නුවණැස ඇති කරන, ඤාණා කරණී – ඥානය පහළ කරවන, උපසමය කෙලෙස් දුරු කිරීම
පිණිස වන, අභිඤ්ඤාය සත්‍යය වටහා දෙන, සම්බෝධාය සත්‍යය අවබෝධ කරවන, නිබ්බාණාය- නිවන්
පසක් කරවන අද්විතීය මාර්ගයක් වශයෙනි.
එසේම මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය ත්‍රිශික්ෂා වශයෙන් එනම් සීල, සමාධි ප්‍රඥා වශයෙන්
බෙදා දක්වා ඇත.
ඒ අනුව නිවන් අරමුණු කළ යුත්තේ ශීලයේ පිහිටා බැවින් සම්මා වාචා, සම්මා කම්මන්ත හා
සම්මා ආජීව යන මාර්ගාංග තුන ශීලය ලෙස වැඩිය යුතු වේ.
ශීලයෙහි පිහිටා ම සිත සංවර කිරීම පුහුණු කළ යුතු බැවින් සම්මා වායාම, සම්මා සති ,
සම්මා සමාධි යන මාර්ගාංග සමාධිය ලෙස වැඩිය යුතුවේ.
සත්‍යය වටහා ගැනීම පිණිස මෝහය දුරලා ප්‍රඥාව ඇති කරලිය යුතු හෙයින් සම්මා සති,
සම්මා සමාධි යන මාර්ගාංග දෙක ප්‍රඥාව ලෙස වැඩිය යුතු වේ.
මාර්ගය කොතරම් ශ්‍රේෂ්ඨ වුව ද වැඩක් වනුයේ එය, පිළිපැදීමෙන් ම නිසා භාවේතබ්බං වැඩිය
යුතු යැයි වදාළ සේක. සම්මා දිට්ඨි ආදි අංග අට සීල, සමාධි, ප්‍රඥා වශයෙන් දියුණු කළ
යුතුව ඇත. මේ උතුම් මඟ මැදුම් පිළිවෙත සෑම පුද්ගලයකු ම තම ජීවිතයේ පිළිපැදිය යුතු
දියුණුූ කළ යුතු අතර එමඟින් නිවන් පසක් කර ගැනීමට උත්සාහවත් විය යුතු ය. |