[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සංඝශෝභන ගුණ පූජිත මාපලගම බුද්ධසිරි නා හිමි

සංඝශෝභන ගුණ පූජිත මාපලගම බුද්ධසිරි නා හිමි

( මාපලගම බුද්ධසිරි නා හිමි ජන්ම දිනය ජූලි 08 වැනිදාට යෙදී තිබේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.)

රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති, මාතර වෙහෙරහේන ශ්‍රී පූර්වාරාම විහාරවාසී, මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ජේ්‍යෂ්ඨ කාරක සංඝ සභික, ගාලු කෝරළයේ හිනිදුම් පත්තුවේ ප්‍රධාන සංඝනායක, සද්ධර්ම කීර්ති ශ්‍රී රේවත සංඝරතන, කර්මවාගාචාර්ය, සරභඤ්ඤ විශාරද, විනයාචාර්ය මාපලගම ශ්‍රී බුද්ධසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලක්දිව ථෙරවාදී භික්ෂු පරපුරේ උදාර ගුණයන් මැනවින් ප්‍රකට කරමින් වැඩසිටින ශික්ෂාකාමී යතිවරයන් වහන්සේ නමකි.

දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ මාපලගම නමැති පෞරාණික ගම් පියසක් වෙයි. මනස්කාන්ත පරිසරයක පිහිටි මෙම ගම්පියසේ විසූ එඩ්වඩ් කාරියවසම් මහෝපාසක මහතාණන්ගේ සහ පියවතී ලියනගේ මහෝපාසිකා මාතාව ගේ පුත්‍ර රත්නයක් ලෙස 1960 ජූලි මස 08 වැනි දින බුද්ධසිරි නාහිමියෝ ජන්ම ලාභය ලැබූ හ. ගිහි කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ගාල්ල මුලන ආනන්ද විදුහලෙනි.

කුඩා කල සිට ම ඉතා සැදැහැයෙන් ක්‍රියා කළ හෙයින් 1971 දෙසැම්බර් 21 වැනි දින මාතර වෙහෙරහේන ශ්‍රී පූර්වාරාම විහාරයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් විය. ඉක්බිතිව සාමණේර නමක විසින් ප්‍රගුණ කළ යුතු ධර්ම විනය, භාෂා ශාස්ත්‍රය හා ඇවතුම් පැවතුම් පිළිබඳ මනා අවබෝධයක් ලද උන්වහන්සේ වෙහෙරහේන ශ්‍රී රේවත පිරිවෙණෙන් මූලික පිරිවෙන් අධ්‍යාපනය ද මාතර ශ්‍රී සුදර්ශි විද්‍යායතන පිරිවෙණින් උසස් අධ්‍යාපනය ද ලැබූ හ. 1980 ජුනි 14 වැනි දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභායත්ත කෝට්ටේ රාජමහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාව ලැබූ හ. එහි දී බුද්ධසිරි නා හිමියන් ගේ ආචාර්යවරුන් වූයේ මාතර වෙහෙරහේන ශ්‍රී පූර්වාරාම විහාරාධිපතිව වැඩසිටි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, කීර්තිශේෂභාවෝපගත දවුලගල සංඝරතන නාහිමි,දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක කිරම විමලජෝති නාහිමි සහ අපවත් වී වදාළ ප්‍රවීණාචාර්ය මාතර ආනන්ද හිමි ය.

පරිත්‍රාණ ධර්ම දේශනාව පිළිබඳ මනා නෛසර්ගික දේශනා කුසලතාවයකින් හා ඒ හා අනුගත සාම්ප්‍රදායික චාරිත්‍ර උපචාරවිධි පිළිබඳ මනා දැනුම් සම්භාරයකින් හෙබි බුද්ධසිරි නා හිමි දේශීය හා විදේශීය වශයෙන් සිදුකරන ආගමික, සාමාජික හා සංස්කෘතික සේවාවන් රැසකි.

විදේශයකදී හෝ දිවයිනේ සෑම ප්‍රකට විහාරස්ථානයක හා රාජ්‍ය හෝ රාජ්‍ය නොවන යම් ප්‍රකට ආයතනයක සිදු කෙරෙන පරිත්‍රාණ ධර්ම දේශනාවන් හි දී බුද්ධසිරි නාහිමියන් ගේ ප්‍රධාන සහභාගිත්වය වඩාත් කැපී පෙනෙයි. 1995 මැයි මස 09 වැනි දින අභිනවයෙන් රත්මලාන සමාධි බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කිරීම බුද්ධසිරි නා හිමියන් ගේ ජීවිතයේ සදාඅනුස්මරණීය අවස්ථාවකි. ඒ ඇසුරු කොටගෙන සිරි සඟරුවන් දහම් පාසල ද බුද්ධසිරි නා හිමියන් ගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ වුණි.

ස්වකීය ලෝක ශාසනික සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත් සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිකාරී, කටුබැද්ද ශ්‍රී ගුණරතන පිරිවෙණේ ආචාර්ය, ශාස්ත්‍රපති පහළඕබඩ සුනීත හිමි ප්‍රමුඛ දැන උගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ රැසක් සසුනට දායාද කිරීම ද බුද්ධසිරි නා හිමි සිදු කළ උසස් ම ශාසනික සේවාවකි.මාපලගම බුද්ධසිරි නා හිමි ජන්ම දිනය නිමිත්තෙන් ජූලි මස 08 වැනිදා ප.ව. 7.00 ට ආශිර්වාද පූජාවක් සහ සෙත් පිරිත් දේශනාවක් රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත් වේ.

අධි ඇසළ
පුර පසළොස්වක

ජූලි 02 ඉරිදා අ.භා. 08.19 න්
පුර පසළොස්වක ලබා
03 සඳුදා අ.භා. 05.07 න් ගෙවේ.
03 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]