[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බඹසරට හානිවන ගෙහසිත සිතිවිල්ලේ නපුර

බඹසරට හානිවන ගෙහසිත සිතිවිල්ලේ නපුර

භික්ෂු ජීවිතය බ්‍රහ්මචාරියි. එය උතුම්. එහි අදහස අබ්‍රහ්මචරියාවෙන් වැළකීම යි. එය කිසිසේත් ගිහි ජීවිතයට සමාන වූවක් නොවේ. මේ ශාසනය මෙතෙක් ආරක්ෂා වී ඇත්තේ භික්ෂූන්ගේ විනයානුලෝමික පැවැත්ම ආරක්ෂා වීම තුළ යි.

විනයො නාම සාසනස්ස ආයු යනුවෙන් ප්‍රකාශ වන්නේ එයයි. කරණීයමෙත්ත සූත්‍ර දේශනාවෙහි ප්‍රකාශ වන තවත් ඉතාමත් වැදගත් අර්ථයක් ප්‍රකාශ වන වචනයක් වන්නේ ”කුලෙසු අනනුගිද්ධො.” මේ වචනයෙන් ප්‍රකාශ වන අර්ථය එක්වරම භික්ෂූන් වහන්සේ පිළිබඳ අරුත් ගන්වන අදහසක්. මෙයින් කියැවෙන්නේ කුලයන්හි හෙවත් ගිහි ගෙවල්දොරවල ජීවත්වන්නවුන් පිළිබඳ ගිජු ගති ඇත්තකු නොවිය යුතු ය යන්න යි. තවදුරටත් මේ අර්ථය පැහැදිලි කරනවා නම් සැදැහැතියන් සිව්පසය පුදමින් භික්ෂූන් වහන්සේට හිතවත්,ගිහි ජීවිත ගෙවන අය සමඟ භික්ෂූන් වහන්සේ විසින් පැවැත්විය යුතු සම්බන්ධතාව ඉක්මවා ගොස් එම පිරිස් හා භික්ෂූන් වහන්සේ ඇළී, බැ¼දී ක්‍රියා නො කිරීම යි. එය පමණ ඉක්මවා ඇති කර ගන්නා සම්බන්ධතාවක ස්වරූපයක් නොදැරීම යි. මෙය මෙසේ නො වීමට භික්ෂූන් වහන්සේට ඇති වන විවිධාකාර චෛතසික තත්ත්වයන් බලපානවා. අද වර්තමාන තත්ත්වය දිහා විමසුම් නුවණින් බැලුවහොත් මේ තත්ත්වය වඩාත් දරුණු ආකාරයෙන් දක්නට හැකියාව තිබෙනවා. මේ තත්ත්වය නිසා මේ සම්බුද්ධ ශාසනයට ඇති වන අහිතකර බලපෑම ඉමහත් බව පැහැදිලි කරුණක්. ප්‍රත්‍ය තෘෂ්ණාව නිසා ඇතැම් භික්ෂූන් වහන්සේ තම හිතවත් ගේ දොරවල් සොයා ගෙන එහි වැඩම කරනවා. සමහර විට එම කුලගෙවල්හි දින දෙක තුන හතරක් නිකරුණේත් ඕපාදුප කතා කරමින් කාලය ගෙවනවා. මෙවැනි තත්ත්වයන් නිසා භික්ෂු ජීවිතය ඉතා පහත් තත්ත්වයට පත් වෙනවා. මේ තත්ත්වය කොතරම් බහුල වෙනවා ද යන්න ප්‍රකාශ කරනවා නම් එවැනි අවස්ථා තවදුුරටත් දියුණු වී ගොස් භික්ෂු ජීවිතයටත් හානි පමුණුවා ගන්නා තරමට එවැනි ගේහශ්‍රිත ප්‍රේමයන් උත්සන්න වෙනවා. ඒ තත්ත්වය ඇති ව පහත් තත්වයට පත්වීම අතිශයින් සුලභ කරුණක්.

අද වෙන කවරදාටත් වඩා ශ්‍රී ලංකාව තුළ බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති වන සෙයක් මතුපිටින් නම් කාටත් පැහැදිලිව පෙනෙනවා. වෙහෙර විහාරස්ථාන වේගයෙන් භෞතික වශයෙන් දියුණු බවක් පෙනුන්ම් කරනවා. වෙහෙර විහාරස්ථාන වැඩි වැඩියෙන් අලුතෙන් ඉදිවෙනවා. හැම රූපවාහිනී, ගුවන්විදුලි නාලිකාවක ම ධර්ම දේශනා ප්‍රකාශ වෙනවා. බණදහම් විකිණෙනවා. ඒ මඟින් තම නාලිකාවන් ශක්තිමත් කර ගන්නවා. ඒ විතරක් ම නොවෙයි ඒ ඒ ස්වාමින් වහන්සේ, විහාරස්ථාන වටා විශාල වශයෙන් දායක පිරිස් ගොනු වෙනවා. ජනප්‍රිය දේශනා තරගයක්.

මේ නිසා එක පැත්තකින් භික්ෂූන් වහන්සේ තම භික්ෂු ජීවිතයේ උදාර අරමුණු ගැන නොසිතා ප්‍රත්‍ය පහසුකම් අරමුණු කර ගෙන විහාරස්ථාන, මන්දිර ගොඩනඟා ගැනීම අරමුණු කරගෙන දායක පිරිස් පිළිබඳ ගේහසිත ප්‍රේමයෙන් බැදී ඔවුන් වෙත අනවශ්‍ය ඇගයීම් බැදීම් ඇති කර ගන්නවා. මේ තත්ත්වය කෙතරම් දැඩිව පවතිනවා ද කියනවා නම් අද සාමාන්‍ය පැවැත්මක් ඇති විහාරස්ථානයක් පවත්වාගෙන යාමට නොහැකි ආකාරයෙන් බොහෝ විහාරස්ථාන ඉදි කරමින් ඒවාට දායක දායිකාවන් බඳවා ගනිමින් තරගකාරීව ක්‍රියා කරනවා.

එවැනි භික්ෂූන් වහන්සේ තම දායක දායිකාවන් කෙරෙහි ඒ අයගේ උස්මිටිකම් අනුව ගැතිකම් කරමින් දාසයන් මෙන් කටයුතු කරනවා.

තම දායක කාරකාදීන්ගේ පමණක් නොව වෙන වෙනත් ගේහසිත ප්‍රේමයෙන් බැඳුණු දායක ගෙවල්වල ලෙඩදුක්, මඟුල් මරණ ගෘහකර්මාන්ත ආදි නොයෙක් කටුයුතුවල දී ඇලී ගැලී ඔවුන් සමඟ එක්ව ඇගැලුම්කම් දක්වමින් ක්‍රියා කරන ආකාරය ද දක්නට ලැබෙනවා. ඒ වගේම ඔවුන්ගේ අවමංගල අවස්ථා වැනි ආගමික වතාවත් සිදු කරන ප්‍රසිද්ධ ස්ථානවල අනවශ්‍ය ගුණ වර්ණනා කියමින් කටයුතු කරනවා. මේ තත්ත්වය වැඩි දියුණු වීමෙන් භික්ෂුව දායකයාගේ කල්‍යාණ මිත්‍රයකු බවට පත්වීම වෙනුවට දායකයාට බැලමෙහෙකම් කරන තත්ත්වයට පත් වෙනවා. භික්ෂු ජීවිතයේ උදාර අරමුණු වෙනස් කර ගන්නවා.

යමක් කමක් ඇති දායකයන් සම්බන්ධයෙන් තමන්ගේ අයිතිවාසිකම් ප්‍රකාශ කරමින් එම දායකයන් විසින් සැදැහැ සිතින් වෙනත් පූජ්‍යස්ථානයකට යනවා නම්, වෙනත් භික්ෂුවකට ප්‍රත්‍ය පහසුකම් සපයනවා නම් ඊට එරෙහි වෙන තත්ත්වයට පවා පත් වෙනවා. මේ නිසා කෙලෙස් සහිත සසර දිගු කරන මේ ජීවිතයට සමු දීමට උත්සාහ වන භික්ෂුවගේ උදාර අරමුණු වැළලී ගොස් අන්තිමට නොසිතූ තරම් වන ප්‍රපාතයකට භික්ෂුව ඇද වැටෙනවා.

මේ තත්වය ඇතැම් භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් කෙතරම් දැඩිව බලපෑම් ඇති කරනවා ද කියනවා නම් ඇතැම් භික්ෂූන් වහන්සේ තමන්ගේ යැයි අයිති කර ගත් දායක කොටස් වෙනත් විහාරස්ථානකට ගොස් බණක්වත් අසනවා දැන ගත් සැණින් මහත් සේ දුක්වෙනවා. එරෙහි වෙනවා.

මෙම කුලගෙවලට ඇදෙන බැඳෙන භික්ෂු ජීවිතවල ස්වභාවය හා එහි අනර්ථකාරි බව තේරුම් ගැනීමට තරම් නිදසුන් සපයන විසුද්ධිමාර්ගයෙහි කතා පුවතක් ප්‍රකාශ වෙනවා. එහි කියැවෙන ආකාරයට පෙර ලංකාවෙහි රහතන් වහන්සේ ජීවමාන වූ කාලයෙහි රජරට ප්‍රදේශයෙහි කෝරණක නම් විහාරයක් පැවතියා. එම විහාරස්ථානයෙහි වාසය කළ හාමුදුරුවන් වහන්සේගේ සහෝදරියකගේ පුතෙක් බාල වයස් කාලයෙහි එම හාමුදුරුවන් වහන්සේ ළඟ පැවිදි වුණා. ටික කාලයක් ගත වෙනකොට ඒ කුඩා ස්වාමීන් වහන්සේ ලොකු හාමුදුරුවන්ගෙන් අවසර ලබා ගෙන රුහුණු පළාතේ පන්සලකට ගියා. දීර්ඝ කාලයක් එහි වාසය කළා. මේ පුංචි හාමුදුරුවන්ගේ අම්මා නිතරම තම පුතු පොඩි හාමුදුරුවන්ගේ තොරතුරු තම සොයුරු ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් අසනවා. විමසනවා. මේ නිසා එම ලොකු ස්වාමීන් වහන්සේ තම සොයුරිය නිතර නිතර මේ කුඩා ස්වාමින් වහන්සේගේ තොරතුරු විමසන නිසාත්, ඒ කුඩා ස්වාමීන් වහන්සේ රුහුණු පළාතෙන් එකතු කර ගෙන ඇවිත් සොයුරියට පෙන්විය යුතු වෙනවා නේද කියා සිතා රුහුණු රට බලා පිටත් වුණා.

ඒ පොඩි ස්වාමීන් වහන්සේත් ඒ දවස්හි ම ඒ ආකාරයෙන් ම සිතා තමන්ගේ ආචාර්යපාදයන් වහන්සේත්, මවත් දැක බලා තොරතුරු දැනගෙන ඒමට යැයි සිතලා රජරට ප්‍රදේශය බලා රුහුණෙන් පිටත් වුණා. රජරට සිට රුහුණ බලා පිටත් වූ ලොකුහාමුදුරුවොත්, රුහුණ සිට රජරට බලා පිටත් වූ පොඩි හාමුදුරුවොත් යන දෙදෙනා මහවැලි ගංඉවුරේ දි හමු වුණා. ඉතින් ලොකුහාමුදුරවෝ බොහොම සතුටුවෙලා ”හොඳයි ඔය නම දැන් ගමට වැඩම කරලා දෙමාපියන් දැකබලා ගන්න. මම රුහුණට ගොස් වස් කාලය ළං වෙන නිසා එහි ම වස් එළඹෙනවා” කියා පවසා රුහුණ බලා පිටත් වුණා. කෝරණක විහාරය බලා වැඩි කුඩා ස්වාමින් වහන්සේ ඒ වනවිට උපසම්පදාවෙහි පිහිටා සිටි නිසා වස් එළඹෙන දා තමන්ට කොරණක විහාරයෙහි තමන්ගේ පියාණන් විසින් කරවන ලද සෙනසුනක් ලැබුණා. දෙවන දා මෙම විහාරයට පැමිණි පියා තමන් විසින් සාදවා පූජා කරන ලද කුටිය වස්විසීමට ලැබුණේ කාටදැයි විමසන විට එහි වැඩ විසූ හිමිවරුන් කියා සිටියේ ආගන්තුක තරුණ භික්ෂුවකට බව ප්‍රකාශ වුණා. ඉතින් නියමිත දින වස් ආරාධනා කරලා තමන් විසින් සපයන ප්‍රත්‍ය පහසුකම් භුක්ති විඳලා වස් පවාරණය කොට ආපසු වඩින අවස්ථාවෙහි තමන්ට ඒ බව සිහිපත් කරන මෙන් දායක උපාසකයා ඉල්ලා සිටියා. එය ද තරුණ භික්ෂූන් වහන්සේ නිහඬව පිළි ගත්තා. ඒ වස් තුන් මාසය දෙපක්ෂය ම කිසිදු ආකාරයක හැඳින ගැනීමක් සිදු නො වී ගෙවුණාට පසු ඉල්ලීමට අනුව ම ඒ වනවටත් තම පුතු බව හඳුනා ගෙන නොසිටි පියතුමා හා එම උවැසියට දන්වා පිටත් වී රජරටින් රුහුණ බලා පිටත් වන බව පැවසූ විට ඒ දෙපළ විසින් සිවුරු පිණිස නවරියන් වස්ත්‍රයක් ද පූජා කළා. මේ විදිහට එම සෙනසුනෙන් මෙසේ පිටත්ව යන අතර රුහුණේ වස් විසූ ලොකු ස්වාමින් වහන්සේ ද වස් අවසන් වී රජරට බලා පිටත් වී එන කොට දෙදෙනාම මහවැලි ගං ඉවුරේ දී හමු වුණා. තමන්ට ලැබුණු නවරියන් වස්ත්‍රය ද තම ලොකු හාමුදුරුවන්ට පූජා කළා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කොරණක විහාරයට වැඩි පසු තම පුතු කුඩා ස්වාමින් වහන්සේගේ තොරතුරු මව විසින් හැඬූ කඳුළින් යුතුව විමසා සිටින කොට ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා ඔබ විසින් පුදන ලද වස්කුටියෙහි වස් වසා වැඩ විසූ ආගන්තුක තරුණ භික්ෂුව ඔබගේ පුතු බව. මගදී තමනට පුදන ලද නවරියන් වස්ත්‍රය ද පෙන්වා ඒ බව තහවුරු කළා. මෙයින් ප්‍රකාශ වන්නේ අන්කිසිවක් නොව සබෑ භික්ෂු ජීවිතයක අරුත වටහා ගෙන නිවන් බව අරමුණු කර කටයුතු කරන භික්ෂුව වෙනත් කුලගෙවල තබා තම දෙමාපියන්, ඔවුන් වසන ගිහිගෙවල්, ඤාතිමිත්‍රාදීන් සම්බන්ධයෙන් පවා ඇලීමෙන් වැළකී තම අරමුණ සාක්ෂාත් කර ගැනුමට ක්‍රියා කරන බව යි.

මේ කාරණයේ දී ගිහි පක්ෂය ද වහවහා තේරුම් ගෙන භික්ෂූන් වහන්සේගේ මනා පැවැත්මට හානියක් නොවන ආකාරයෙන් වඩාත් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු බව ප්‍රකාශ කළ යුතු වෙනවා.

ඇතැම් විහාරස්ථානවලට ක්‍රමයෙන් විවිධ සමිති සමාගම් ආශ්‍රයෙන් පොදු කටයුතු අරමුණු කර ගෙන සම්බන්ධකම් ගොඩනඟා ගන්නා ඇතැම් අඳබාල තරුණ පිරිස් විහාරස්ථාන පන්සල් ගොඩනඟමින් ක්‍රියා කරන ආකාරය මතුපිටින් දැඩි බෞද්ධ ප්‍රබෝධයක්, තරුණ පිරිස් පන්සලට ඇදීමක් වාගේ පෙනී ගියත් ඔවුන්ගේ ඇතැම් නොමනා ක්‍රියාකාරකම් නිසා බොහෝ තරුණ භික්ෂූන් ඔවුන්ගේ ඇසුරට වැටී එය දැඩි බවට පත් කර ගනිමින් අනතුරුව දායක බවට එහා ගිය පාපමිත්‍ර සේවනයක් දක්වා දුර දිග යනවා. මෙයින් ඇතැම් භික්ෂූන් වහන්සේ භික්ෂු ජීවිතයේ අරුත් සිඳ බිඳ ගනිමින් ක්‍රියා කරන අවස්ථා විටින් විට වාර්තා වෙනවා.

අධි ඇසළ
පුර පසළොස්වක

ජූලි 02 ඉරිදා අ.භා. 08.19 න්
පුර පසළොස්වක ලබා
03 සඳුදා අ.භා. 05.07 න් ගෙවේ.
03 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]