[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුත්ත නිපාතයෙන් ...:  සභිය තාපසතුමාගේ බුදුගුණ වැයුම  - සභිය සූත්‍රය - 2

සුත්ත නිපාතයෙන් ...: 

සභිය තාපසතුමාගේ බුදුගුණ වැයුම 

සභිය සූත්‍රය - 2

මෙම ලිපියේ මුල් කොටස පසුගිය 04 වැනිදා මැදින් අමාවක පෝදා බුදුසරණ පුවත්පතේ පළ විය.

භාග්‍යවතුන් වහන්සේ සභිය තාපසතුමාට මෙලෙසින් වදාළා. “තමා හා අනුන් යන දෙපැත්තම විමසා, එහි ඇති සත්‍යය තත්ත්වය පිරිසුදු ලෙසට දැනගෙන, සියලු කළු සුදු කර්මයන් ඉක්මවා ගොස්, සත්‍යාවබෝධ කළ අකම්පිත සිතින් යුතු කෙනාටයි දැනුවත් පුද්ගලයා කියා පවසන්නේ.

එමෙන්ම අභ්‍යන්තර බාහිර යන මේ සියලු ලෝකයේ, යහපත හා අයහපත මනාකොට හඳුනාගෙන දෙව් මිනිසුන් අතර පිදුම් ලබනා කෙනෙක් වී, සියලු කෙලෙසුන් ඉක්මවා ගිය කෙනාටයි ලෝකයේ මුනිතුමා කියා පවසන්නේ.”

මෙසේ වදාළ විට සභිය තාපසතුමා ඉතාමත් සතුටට පත් වී භාග්‍යවතුන් වහන්සේගෙන් යළිත් මෙසේ විමසා සිටියේ ය.

”ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, දහමේ පරතෙරට පත්කෙනා ලෙස කියන්නේ කුමන ගුණයට පැමිණි කෙනාට ද?

කුමන කරුණින් යුතු කෙනාට ද අවබෝධ කළ කෙනා කියා පවසන්නේ?

වීර්යවන්තයා කියා යමෙකු හඳුන්වන්නේ කෙලෙසින් ද?

ශ්‍රේෂ්ඨ මුනිතුමා වශයෙන් කෙලෙසින්ද කෙනෙකුට පවසන්නේ?

එම සදහම් පැනයන්ට භාග්‍යවතුන් වහන්සේ ඉතාමත් මනරම් ලෙස මෙසේ පිළිතුරු දී වදාළා. ‘ශ්‍රමණ බමුණන්ගේ සියලු මතවාද නුවණ යොදා විමසමින් අවබෝධ කොට සියලු විඳීම් කෙරෙහි ඇල්ම බැහැර කොට, සියල්ලක් ම ඉක්මගිය පුද්ගලයාට “දහමේ පරතෙරට පත් උතුමා” කියා පවසනවා.

යම් කෙනෙකුට අවබෝධ කළ කෙනා කියා හඳුන්වන්නේ අභ්‍යන්තර බාහිර හැම කෙලෙස් රෝගයන්ට මුල් වූ භවය සකසන නාමරූප නුවණ යොදවා විමසමින්, සියලු බන්ධනයන්ගෙන් මිදී, අකම්පිත සිත් ඇති, සත්‍යාවබෝධ කළ නිස යි. එමෙන් ම හැම පවින් වෙන් වී, නිරා දුක ඉක්ම ගිය, දිවිපුදා නිතර වීරිය වඩන, අටලෝ දහමින් නො සැලෙන සත්‍යාවබෝධ කළ උතුමාට වීර්යවන්තයා කියා පවසනවා. අභ්‍යන්තර බාහිර වශයෙන් පවතින, හැම කෙලෙසුන්ට මුල් වූ සියලු බන්ධන දැනගෙන ඒ සියල්ලේ ම මුල් සිඳ දමා, හැම දුකින් මිදී ගිය , අටලෝ දහමින් ද නො සැලෙන, සත්‍යාවබෝධ කළ පුද්ගලයාට ශ්‍රේෂ්ඨ උතුමා කියා පවසන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා.

භාග්‍යවතුන් වහන්සේගේ මෙම අසිරිමත් දහම් විග්‍රහයන්ගෙන් ඉතාමත් සතුටට පත්වූ සභිය තාපසතුමා අවසන් සදහම් පැන කිහිපය මෙසේ විමසුවේ ය.

කුමන ගුණයට පත් කෙනාටද ‘යහපතට පත් කෙනා’ කියා පවසන්නේ?

උතුම් කෙනෙක් කියා කියන්නේ කුමන කරුණින් යුතු කෙනෙකුට ද?

දහමේ හැසිරෙන කෙනා යයි කෙනෙකුට පවසන්නේ කෙලෙසින් ද?

කෙලෙසින්ද කෙනෙකුට ‘තවුසා’ කියා කියන්නේ?

එම සදහම් පැන එකිනෙක සම්බුදු නුවණින් විසඳමින් භාග්‍යවතුන් වහන්සේ සභිය තාපසතුමාට මේ ආකාරයෙන් පිළිතුරු දී වදාළා.

‘ලොවේ සියලු ධර්මයන් ගැන අසා, නුවණින් අවබෝධ කරගෙන, වැරැද නිවැරැදි දේ ගැනත් නුවණින් දැන, සියලු අකුසල් මැඬලමින්, හැම සැකයෙන් එතෙර වී, සදහටම නිදහස් වී දුක්රහිත බවට පත් වූ පුද්ගලයාට යහපතට පත් උතුමා කියා පවසනවා. හිතේ මුල් බැසගෙන ඇති සියලු ආශාවන් දුරු කොට, ප්‍රඥාව උපදවාගෙන මව් කුසක යළි උපදින්නට නො එන නිත්‍ය, සුඛ ආත්ම යන සංඥාවෙන් ඇතිවන කෙලෙස් මඩ බැහැර කළ, සසරේ නොම පැටලෙන පුද්ගලයා ‘ආර්ය උතුමා’ වශයෙන් නැණවතුන් හඳුන්වනවා.

සදහම් පිළිවෙත් තුළ මනාකොට හැසිරීමෙන්, හැම කල්හිම දක්ෂ වී ඒ දහම් අවබෝධ කොට කිසිතැනක නො බැඳෙමින් සදහටම නිදහස් වී ගිය, නිසි තැනක කිසි ගැටුමක් නොමැති ව දහමේ හැසිරෙන උඩ යට සරස හෝ ඒ අතර විඳවන, දුක් විපාක දෙන යම්කිසි කර්ම ඇත්නම්, ඒ සියල්ල බැහැරකොට නුවණින් යුතුව හැසිරෙන, මායා මාන හුල් ලෝභය හා ක්‍රෝධය මේ නාම රූපයද සදහටම අවසන් කළ, නිවනට පත් පුද්ගලයාට ‘තවුසා’ කියා පවසනවා.

එවිට සභිය තාපසතුමා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය සතුටින් පිළිගෙන, අනුමෝදන්ව, සතුටු සිතින් යුතුව, ප්‍රමුදිතව, ඔද වැඩුණු සිතින් යුතුව, හටගත් පී‍්‍රති සොම්නස් ඇතිව, තමා හුන් තැනින් නැගිට උතුරුසළුව ඒකාංශකොට පොරවාගෙන භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමින් ගාථාවලින් මෙසේ සම්බුදු ගුණ ප්‍රකාශ කළේ ය.

හැට තුනක් වූ ශ්‍රමණ මත තුළ සංඥාව විපරිත කරගෙන, පැටලී ගිය ලෝකයක් තුළ මහා පැණවතාණෙනි, ඔබවහන්සේ නම්, ඒ සියලු මතවාද සැඩපහර මැඬගෙන එතෙරටම වැඩි සේක්ම ය. සියලු දුක් නිමාකොට එතෙරටම වැඩි ඔබවහන්සේ අරහත් ය. සම්මා සම්බුදු ය. හිතේ මුල් බැසගත් කෙලෙස් නැති කළ කෙනෙක්ම ය. නුවණින් දිලෙන මුනිදුනි! මහා බුද්ධිමතාණෙනි! මහා නැණවතාණෙනි! දුක් නිමාකළ මුනිඳුනි! ඔබ වහන්සේ අසරණ මාද සසර කතරින් එතෙර කරවූ සේක.

මා සිතේ තිබූ සැක මැනවින් අවබෝධ කොට ඒ පටලැවී ගිය සියලු සැකයෙන් මා ද එතෙර කළ සේක. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! මුනි දහම වෙත සපැමිණි මහා මුනිවරයාණෙනි! හිරුගොත් වංශයෙන් වැඩි කෙලෙස් හුල් නැති උතුම් බුදු සමිදාණෙනි! ඔබ වහන්සේ නම් දහම තුළ හික්මුන ලොවට සැනසුම සදන උතුමෙක් ම ය.

දහම් ඇස් ඇතියාණෙනි! මා තුළ පෙර තිබූ සැක සියල්ල ම දුරුකළ සේක. ඔබ වහන්සේ සැබැවින් ම මුනිවරයෙක් ම ය. සම්බුදු බවට පත් වූ ඔබවහන්සේගේ සිත තුළ, කෙලෙස් නීවරණයක් නම් කිසිසේත් නො මැත්තේ ය. ලොව කෙලෙස් පීඩා තිබේ නම් ඔබවහන්සේ ඒවා සියල්ලම නැසූ සේක. යළි කවදාවත් කො තැනකදීවත් ඔබ වහන්සේ සිත තුළ කෙලෙස් පීඩා හට නො ගනී. සිහිල් සිත්ඇති මුනිරජාණනි! දැමුණු සිත් ඇති නැණවතාණෙනි! ඔබවහන්සේ ලොවේ සත්‍යයෙන් බැබළී සිටින සේක.

මහා වීර වූ බුදු සමිඳාණෙනි – නුවණින් දිලෙනා හස්තිරාජයාණෙනි

දෙසනා විට උත්තම සිරි සදහම් – නාරද කඳුවැටි දෙක තුළ වසනා

සැම දෙවියෝ ඒ සදහම් අසනා - අනුමෝදන් වෙහි නිරතුරු තුටිනා

නමෝ තේ පුරිසාජඤ්ඤ – නමෝ තේ පුරිසුත්තම

සදේවකස්මිං ලෝකස්මිං - නත්ථි තේ පටිපුග්ගලෝ

අංජාන්‍යෙය වූ ශ්‍රේෂ්ඨ පුරුෂයාණෙනි – නමස්කාර වේවා ඔබහට

අති උතුම් වූ පුරුෂයාණෙනි – නමස්කාර වේවා ඔබහට

දෙවියන් සහිත ලෝකයෙහි මේ – ඔබට සම වූ කෙනෙක් නැත්විය.

ඔබ වහන්සේ නම් බුදුරජාණන් වහන්සේ ම ය. ඔබ වහන්සේ නම් මගේ ශාස්තෘන් වහන්සේ ම ය, ඔබ වහන්සේ නම් මරු පරදවා දිනු මුනිඳු ය, සියලු අනුසය නසා ලු ඔබ වහන්සේ එතෙරටම වැඩි සේක්ම ය, මා ඇතුලු දුක් විඳින ලෝ සත එතෙර කරවූ සේක් ම ය.

කෙලෙස් හැදෙනා කර්මයන් හැම -

ඉක්මවා ගිය සේක නුවණින්

මුල් බැඳී ගිය ආශ්‍රව හැම මුලින්ම ගැලවූ සේක නුවණින්

වදාරති මුලු ලොවට සත්‍යය සිංහරාජයකුගේ විලසින්

සිටිති ලොව කිසිවකට නොඇලී සිත සිතිවිලි නොමැති සිතකින්

පුණ්ඩරිකං යථා වග්ගු තේයේ න උපලිප්පති
ඒවං පුඤ්ඥේච පාපේ ව උභයේ ත්වං න ලිප්පසි
පාදේ වීර පසාරේ හි සභියෝ වන්දති සත්ථුනෝති

දියෙහි නොම ගැලෙනා -  පියුමක් විලස සුවඳ හමනා
ඉන් පවක නොම ගැලෙනා - කිසිදෙයක නො තැවරී සිටිනා
මහා වීරයාණනි, පා සඟල දිගු කළ මැන
ශාස්තෘන් වහන්සේගේ පා කමල් - මේ සභිය නමදින්නේ ය.

ඉන්පසු සභිය තාපසතුමා භාග්‍යවතුන් වහන්සේගේ සිරි පතුල් අසල වැඳ වැටෙමින් මෙසේ පැවසී ය. මම වනාහි පින්වත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ශ්‍රී සද්ධර්මය ද, ආර්ය මහා සංඝරත්නය ද සරණ යමි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදි බව ලබම්වා! උපසම්පදාව ද ලබම්වා! ඉන්පසු සභිය තාපසතුමා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදි උපසම්පදාව ලබා නොබෝ කලකින්ම පිරිසෙන් වෙන්ව හුදෙකලාවේ ම අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව යම් කුල පුත්‍රයෙක් යම් අර්ථයක් පිණිස ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ ද තමා තුළ ඇතිකරගත් අවබෝධ ඤාණයෙන් උතුම් පැවිදි ජීවිතයේ එකම අරමුණ වූ අරහත්වය සාක්ෂාත් කළ සේක.

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් 12 වන දා සිකුරාදා අපර භාග 01.23 ට ලබයි.  13 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 12 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 19 වන දා සිකුරාදා.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk