බක් පුර අටවක 2019.04.12
හෙළ සංස්කෘතියේ
බොදු හැදියාව
සාමය, සමගිය, සෞභාග්‍යය උදා කරමින් තවත් සිංහල හින්දු අලුත් අවුරුද්දක් උදාවෙයි.
විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාවට මෙම මහා සංස්කෘතික මංගල්‍යය වඩාත් වැදගත් වන්නේත්,
අර්ථවත් වන්නේත් එය සම්බුදු දහම හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර ධර්මයන්ගෙන් සුපෝෂිත
වන නිසා ය. අනාදිමත් කලෙක සිට ලාංකේය බෞද්ධ ජනතාව අලුත් අවුරුදු උදාව පිළිගන්නේ
එළඹෙන පුණ්‍ය කාලය තුළ සිය දරුමුනුබුරන් ද සමගින් වෙහෙර විහාරස්ථාන වෙත පැමිණ ආගමික
වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ය. බුද්ධ රත්නය, ධම්ම රත්නය වන්දනාමානකොට මහා
සංඝරත්නයෙහි ආශිර්වාද ලබාගැනීම නව අවුරුද්දේ අලුත් ජීවිතයකට, යහපත් ජීවිතයකට පින්බර
ආරම්භයක් ලබාදෙයි.
ගෙවී ගිය අවුරුද්දේ තමන් වෙතින් සිදු වූ යම් වැරැදි, අතපසුවීම් වේ නම් ඒවායින්
මිදී, අඩුපාඩුකම් සකසාගෙන එළඹි අලුත් අවුරුද්දේ ධර්මානුකූල, ප්‍රතිපත්තිගරුක
ජීවිතයක් ගත කරන බවට තමන් තුළම ඇති කරගන්නා අධිෂ්ඨානය ජීවිතය නව මාවතකට ප්‍රවිෂ්ඨ
කරන්නක්ම ය. වරදක්, අඩුපාඩුවක් සිදුවූවානම් ඒ ගැනම සිතමින්, පසුතැවිලි වෙමින් කල්
ගෙවනවාට වඩා වැරැදි නිවැරැදි කරගෙන යහපත් පුද්ගලයෙක් ලෙස මින්මතු ජීවිතය පවත්වා
ගැනීමය අපගේ ශාස්තෘන් වහන්සේ අගය කොට වදාළේ. එවැනි පුද්ගලයා වළාකුළෙන් මිඳුණු සඳසේ
බබළන බව උන්වහන්සේ දේශනාකොට වදාළහ.
ධර්මානුකූලව එසේ පිළිගන්නා සිංහල අලුත් අවුරුද්ද පවුලේ සාමාජිකයන්, අසල්වැසියන්,
ගම්වාසීන්, පොදුවේ සමස්ත සමාජ සාමාජිකයන් අතර අපූර්ව බැඳීම්, සාමය, සහයෝගිතාවය
ගොඩනඟන සංස්කෘතිකාංග රැසකින් සමන්විත වන්නේ වෙයි.
ආගන්තුක සත්කාරය බුදුදහමේ ඉහළින් අගය කැරෙන ගුණධර්මයන් ය. අලුත් අවුරුදු සමයේ එය
වඩාත් අර්ථසම්පන්නව දෘෂ්‍යමාන වෙයි. කොතරම් දුර බැහැරක සිටියත්, මොනතරම් අපහසුතා
මැද්දේ වුවද තම මව්පියන් දැක ගන්නට නොයන, ඔවුන් දෙපා වැඳ ආශිර්වාද නො ගන්නා
දරුවෙක්වේ නම් ඒ ඉතා කලාතුරකින් දරුවෙකු විය හැකිය. එය සමාජයක් බබළවන වටිනා
ගුණධර්මයකි. මොනතරම් නිලබල දැරූවද වැඩිහිටියෙකුට බුලත් හුරුල්ලක් දී නෑදෑකම් අලුත්
කරන, හිත් අමනාපකම් දුරු කරන, හිතු මිතුරුකම් අලුත් කරන අවුරුදු සමයේ ඔවුනොවුන් අතර
ඇතිවන සුහදශීලී බව, සාමය සතුට පිරි සමාජයකට දොරගුළු විවර කරන්නේ ම ය. මේ ආකල්පමය
වෙනස තමන්ගේත්, සමාජයේත් යහපත පිණිසම වන්නේ ය. එහෙත් අතීතයේ සිට අපේ මුතුන් මිත්තන්
විසින් පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආ මේ වටිනාකම් දැන් දැන් අපේ සිංහල බෞද්ධ
සමාජයේ ඇතැම් තැනෙක ගිලිහී යන ආකාරය දකින්නට ලැබේ. සුළු වශයෙන් වුවද මේ වෙනස්කම්
මහා පරිමාණයෙන් සිදුවීමට පෙර, සමාජයෙන් වියැකී යන්නට පෙර පිළියම් යෙදිය යුතුම ය.
එහිදී වැඩිහිටියන් ලෙස අපට පැවරෙන වගකීම සුළුපටු නොවේ. අපගේ වටිනාකම්, හර පද්ධතීන්
ආරක්ෂා කොට, සංවර්ධනය කොට බාල පරපුරට දකින්නට, විඳින්නට සැලසුවේ නැතිනම්, ඔවුන්
ඒවාට හුරු නො කළේ නම් නුදුරු අනාගතයේ ම අපට සිදුවන්නේ වියැකී ගිය අතීත වටිනාකම්වල
සුගන්ධය ගැන සිහි කරමින්, තැවීමටය.
ඇතැම් කෙනෙක් මේ සිරිත් විරිත් හරසුන් දේ ලෙස බැහැර කරති. හරවත් දේ ලෙස හරසුන් දේ ම
වැළඳ ගනිති. ජාතියක අනන්‍යතාවය, අභිමානය, ප්‍රෞඪත්වය පෙන්වන කැඩපතක් වන්නේ
සංස්කෘතිය යි. සමාජය නො මිනිස්කම්වලින් පිරීගියේ නම් එහි වගකීම බාරගත යුතු
වැඩිහිටියන් විසින්ම ය.
සිංහල හින්දු අලුත් අවුරුද්ද අපට ඒ වගකීමට ආරම්භයක් ලබා දේ. සිතුම් පැතුම් වෙනස්
කරගන්නට අවස්ථාවක් ලබා දේ. ගේ දොර කුණු දුහුවිලි පිසදා හුණු පිරියම් කර අලුත් කරනවා
සේ අප සිත් වෙලා ඇති රාග, ද්වේශ, මෝහාදී කෙලෙස්මළ සෝදා හළ යුතු වේ. අලුත් අවුරුද්දේ
අලුත් ඇඳුමින් සැරසෙන්නා සේ අපේ සිත කෙලෙස් මළ වෙනුවට මෛත්‍රිය, කරුණාව, දයාව, වඩා
වර්ධනය කළ යුතු වේ. ප්‍රඥාවන්ත විය යුතු වේ. දරුවන් වෙත ද ඒ ආකල්පමය වෙනස ඇති කළ
යුතු වේ. එවිටය සැබෑ අවුරුද්දක සතුට ධාර්මිකව අත්වින්දා යැයි තෘප්තියක් ලද හැකි
වන්නේ. |