[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් 27: බෙදා ගැනීමේ අගය ඔබ දන්නේ නම්...

තෙවළා බුදු වදන් අතරින් 27:

බෙදා ගැනීමේ අගය ඔබ දන්නේ නම්...

දිනක් භික්ෂූන් වහන්සේ ඇමතූ බුදුරජාණන් වහන්සේ “ මහණෙනි මා දන්නා ආකාරයට දානයෙහි හා බෙදාගැනීමෙහි අනුසස් ජනයා දැන සිටියා නම්, ඔවුන් අන්‍යයන්ට නොදී අනුභව කරන්නේ නැත. ඔවුන් ලෝභකමේ කිලුට ට ඔවුන්ගේ සිත අරක්ගෙන එහි පැලපදියම් වීමට ඉඩ තබන්නේ නැත.

එය තමන් සතුව ඇති අන්තිම ආහාර කොටස වුවත්, අන්තිම බත් පිඬ වුවත් එය බෙදා හදා ගැන්මට කෙනෙකු සිටී නම් ඒ අය සමග බෙදා හදා ගන්නේ නැතිව අනුභව කරන්නේ නැත. එහෙත් මහණෙනි, මා දන්නා ආකාරයට ජනයා දානයේත්, බෙදාහදා ගැනීමේත් අනුසස් නොදන්නා නිසා ඔවුහු අන්‍යයන්ට දෙන්නේ නැතිව ආහාර බුදිති. ලෝභකම නමැති කිලුට ට තම සිත අරක්ගෙන සිටීමට ඉඩහැර සිටිති” යනුවෙන් පැවසූ සේක.

ඉතිවුත්තක පාළියේ එන මෙම බුද්ධ වචනයෙන් දානයේ හා බෙදාගැනීමේ අධ්‍යාත්මික අරමුණ කවරේද? යන්න පැහැදිලි වේ. බෞද්ධ විමුක්ති මාර්ගය ආරම්භ වන්නේ දානය හෙවත් අත්හැරීම පුහුණු කිරීමෙන් ය. බුදුරදුන් ගැන පැහැදී උන්වහන්සේ වෙත පැමිණි කෙනෙකුට පළමුව අනුශාසනා කරන්නේ දානය ප්‍රගුණ කිරීම ට ය. බුදුරජාණන් වහන්සේ දානයෙන් පටන්ගෙන ක්‍රමයෙන් විමුක්තිය කරා යන අනුපූර්ව ප්‍රතිපදාව ඔවුන්ට පැහැදිලි කරති. බාහිර පිළිවෙතකින් ආරම්භ කරන විමුක්ති ප්‍රතිපදාව අවසන් වන්නේ සම්පූර්ණයෙන් ම අධ්‍යාත්මික පාරිශුද්ධත්වය ඇතිකර ගැනීමෙන් ය. ඉහත සූත්‍ර පාඨය අනුව බුදුරදුන් අනුශාසනා කරන්නේ සිත ලෝභයෙන් කිලිටි වීමට ඉඩ නොතබන ලෙසයි. දානයෙහි නිසි අගය හා වටිනාකම වටහාගත් තැනැත්තා ලෝභයෙන් තමාගේ සිත කිලිටි වීමට ඉඩ නොදෙ යි. ඒ වෙනුවට ලෝභය ක්‍රමයෙන් බැහැර කෙරෙන පිළිවෙතට අවතීරණය වේ. පුද්ගලයා කායික වාචසික, හා මානසික වශයෙන් දුසිරිතට යොමුවන්නේ ඔහුගේ මනසේ පවතින ලෝභ දෝස මෝහ යන අකුසල සහගත මනෝභාවයන්ගේ පෙළඹවීමෙන් ය. අකුසල සහගත මනෝභාවයන් වෙනුවට අලෝභ අදෝස අමෝහ යන කුසල මූලික මනෝභාවයන් වර්ධනය කිරීම ක්‍රමයෙන් සිදු කළ යුත්තකි. පුහුදුන් සිත නිසර්ගයෙන්ම අකුසල සහගත මනෝභාවයන් කෙරෙහි නැමී තිබේ. එහි බලපෑම කවදා ආරම්භ වූයේදැයි කිව නොහැකි ය. මුල අග නොපෙනෙන අනාදිමත් සංසාරය තුළ පුද්ගල චර්යාව කෙරෙහි එහි බලපෑම දිගුකලක් තිස්සේ සිදුව තිබේ. ලෝභය දෙලොව අභිවෘද්ධිය වළක්වන, මරණින් පසුව දුගතියක ඉපදීමට හේතුවන අකුසල ධර්මය කි.

ඒ හෙයින් එය ජයගත යුත්තේ පරිත්‍යාගයෙනි. තමන් සතු දෑ අන් අය හා බෙදා ගැනීමෙනි, එය පරාජය කළ යුත්තේ. දානය හෙවත් පරිත්‍යාගය සත්පුරුෂයන්ගේ ද නැණවතුන්ගේ ද ප්‍රසාදය හා ගෞරවය හිමිකරගත් චාරිත්‍රයකි. බෞද්ධ ආගමික පිළිවෙත් අතර දානය පළමු ව අනුගමනය කළ යුතු චාරිත්‍රය යි. පුද්ගල සන්තානගත ආත්මාර්ථකාමී හැගීම් පාලනය වන්නේ දානයෙන් ය. දානය සසර සැප පිණිස හේතුවේ. දානය උසස් ලෙස සිදුකරන්නා සසර උසස් සැපතකට හිමිකම් කියයි. චුල්ල කම්මවිභංග සූත්‍රයේ එන කර්මය පිළිබඳ විග්‍රහය අනුව කෙනෙකුගේ සමෘද්ධිමත් ජීවිතය පෙර භවයක හෝ වර්තමාන භවයෙහි අනුගමනය කරන ලද දානයේ ප්‍රතිඵලයකි. කිසියම් තැනැත්තෙකු වර්තමාන භවයෙහි දානය ප්‍රගුණ කිරීම නිසා ඒ හේතුවෙන් මරණින් පසු සුගති සංඛ්‍යාත දෙව් ලොව උපදී. යම් හෙයකින් එසේ දෙව් ලොව නො ඉපදී නැවතත් මනුෂ්‍ය ලෝකයේ උපත ලබන්නේ නම් පෙර භවයේ පුරුදු කරන ලද දානයේ ප්‍රතිඵලයක් වශයෙන් විශාල ධන සම්පත් සහිත සමෘද්ධිමත් ජීවිතයක් ගතකිරීමට හැකි වෙයි. එහෙත් යම් කෙනෙක් දානය ප්‍රගුණ නොකරයි නම් එහි ප්‍රතිඵලයක් ලෙස දුගතියේ උපදියි. යම් හෙයකින් එසේ නොවී මනුෂ්‍ය ලෝකයේ උපදින්නේ නම් අල්ප භෝග සම්පත් සහිත ජීවිතයක් හිමිවෙයි. චුල්ලකම්ම විභංග සූත්‍රය අනුව මිනිස් සමාජයේ දුප්පත් පොහොසත් යනුවෙන් විවිධත්වයක් ඇතිවීමට බලපාන එක් හේතුවක් වන්නේ දානය හෙවත් පරිත්‍යාගය පුහුණු කිරීම හා නොකිරීමයි. මෙම සූත්‍රයෙහි බුදුරදුන් යොදන වචනය අප්පභෝග හා මහාභෝග යන්නයි. අප්පභෝග යන්නෙන් අන්ත දිළිඳු බවක් අදහස් නොවේ. එයින් අදහස් කෙරෙන්නේ අල්ප භෝග සම්පත් සහිත යන්නයි. නැතහොත් මහා ධනවතෙක් නොවේය යන්න යි. එවැනි අල්ප භෝග සම්පත් සහිත කෙනෙකුට තම අවශ්‍යතා පහසුවෙන් ඉටුකරගත නොහැකිය. මසුරු සිතෙහි පෙළඹවීම නිසා දන් නොදෙන තැනැත්තා එයට අනුරූපී විපාක වශයෙන් ආහාර පාන වස්ත්‍රාදිය මූලික කරගත් පංචකාම සම්පත් දුක සේ ලැබෙන දිළිඳු තැනක උපදින බව සංයුත්ත නිකායේ මච්ඡරී සූත්‍රයෙහි ද සඳහන් වේ.

දානය ප්‍රගුණ නොකිරීම අල්පභෝග සම්පත් සහිත ජීවිතයක් ගත කිරීමට හේතුවුවද කර්මය නියතියක් ලෙස බුදුසමයෙන් පිළිගෙන නොමැතිබව සිහිපත් කළ යුතු ය. උත්සාහවන්ත නුවණැති මිනිසෙකුට කර්මයේ (ආනන්තරිය නොවන) බලය වෙනස් කළ හැකි ය. පුද්ගල වීර්ය හා උත්සාහය අනුව දිළිඳු බවෙන් මිදිය හැකි ය. එහෙත් සසර දානය පුරුදු නොකළ තැනැත්තාට ආහාර පාන සොයා සපයා ගැනීම උදෙසා අපමණ දුක් ගැහැට විඳීමට සිදුවේ. දානය හෙවත් බෙදා ගැනීම ජීවිතයේ කොටසක් වූ විට බුදුරදුන් දැක් වූ පරිදි අවසන් බත් පිඬ වුවද බෙදාගැනීමට කෙනෙකු සිටී නම් එම තැනැත්තා සමඟ එයද බෙදා ගනී.

දානය ගැන කියූ පමණින් බොහෝ දෙනෙකු විශේෂයෙන් ම කල්පනා කරන්නේ භික්ෂූන් උදෙසා පිරිනමන දානය පිළිබඳව යි. භික්ෂූන් උදෙසා පිරිනමන දානය එහි එක් අංශයක් පමණි. එයින් මෙපිට සිදුකෙරෙන සෑම පරිත්‍යාගයක් ම දානයක් ලෙස සැලකිය හැකි ය. එය දෙයාකාරයකින් ක්‍රියාවට නැංවිය හැකි ය. කර්මඵල අදහාගෙන යමක් පූජා කිරීමේ රිසියෙන් කෙරෙන පරිත්‍යාගය පූජා බුද්ධියෙන් කළ එකක් ලෙස ද, කර්මඵල අදහා ගැනීමකින් තොරව අනුග්‍රහයක් වශයෙන් සිදුකෙරෙන පරිත්‍යාගය අනුග්‍රහ බුද්ධියෙන් කළ එකක් ලෙසද හැඳීන් වේ. ඒ අනුව කෙනෙකුට තමා සතු භෞතික දෙයක් මෙම දෙ අංශයේම පිහිටා පරිත්‍යාග කළ හැකිය. කවර ආකාරයකින් පරිත්‍යාග කළ ද දානය හෝ පරිත්‍යාගය උතුම් ක්‍රියාවකි. එහි ප්‍රතිඵලය ද උසස්ය. දානයෙන් හා පරිත්‍යාගයෙන් එක් අතකින් තම චිත්ත සන්තානයේ පවතින ලෝභය හා මසුරු සිතිවිලි ඉවත් වන අතර සමාජීය වශයෙන් යහපත් අන්තර් සම්බන්ධතා සහිත සමාජ ජීවිතයක ට ද හිමිකම් කිව හැකිවේ. යමක් පරිත්‍යාග කරන, අන් අය හා බෙදා ගැනීමට කැමැති තැනැත්තාට බොහෝ හිතමිතුරන් ඇතිවේ. මිතුරන් ඇතිකර ගැනීමට අවශ්‍ය නම් දන් දිය යුතුයැයි (දදං මිත්තානි ගන්ථති) බුදුරජාණන් වහන්සේ ආළවකට දේශනා කළහ.

කෙනෙකුගේ සිතෙහි යහගුණ නමැති බීජ රෝපණය වන පරිසරය සැකසෙන්නේ දානයෙනි. පරිත්‍යාගයට, බෙදාගැනීමට සිතක්, අදහසක්, හැඟීමක්, නැති අයෙකුගෙන් වෙනත් යහගුණයක් ගැන බලාපොරොත්තු තැබිය නොහැකි ය. බෙදාගැනීම ජීවිතයේ කොටසක් බවට පත් වූ තැනැත්තාට හැම අතින්ම සතුටින් ගත කළ හැකි ය. යහපත් සාමකාමී පවුල් ජීවිතයක් අපේක්ෂා කරන්නෙකු තමා සතු දෑ තම මව්පියන් දූ දරුවන්, සහෝදර සහෝදරියන් මෙන්ම පවුලේ ඤාතීන් සමග බෙදා ගතයුතු වේ. එයින් පරිබාහිරව අසල්වැසියන් සිය මිතුරු මිතුරියන් සමගත් බෙදාගැනීම පුරුද්දක් කරගත් විට ඔවුන්ගෙන් ද නොමඳ සහායක් ලැබිය හැකි ය. අප සතු භෞතික දෑ විවිධ අවස්ථාවල විවිධ අයුරින් බෙදා ගැනීමට අදහසක් වේ නම් එය අපගේ අධ්‍යාත්මික මෙන්ම ලෞකික ජීවිතයත් සුන්දර එකක් බවට පත්කිරීමට හේතු වේ. එබැවින් අවම වශයෙන් තමාටඅනුභව කිරීමට බෙදාගත් බත් පතින් සුළු හෝ යමක් අන් අය හා බෙදා ගැනීමට පුරුදු පුහුණු විය යුතු ය. ඒ අනුව තමා සතු දෑ අන් අය හා බෙදාගෙන විවිධ දෑ ඔවුනොවුන්ට පරිත්‍යාග කරමින් දානය හා පරිත්‍යාගය ප්‍රගුණ කරන ප්‍රීතිමත් අර්ථවත් කාලයක් බවට එළඹෙන සිංහල අවුරුදු සමය පත්කර ගැනීමට අප කවුරුත් උත්සුක විය යුතුවේ.

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් 12 වන දා සිකුරාදා අපර භාග 01.23 ට ලබයි.  13 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 12 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 19 වන දා සිකුරාදා.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk