[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගිහි ගෙදරට දහම් වැටක්: ධර්මය ශ්‍රවණය කිරීමෙන් ඤාණ කෝෂය පුළුල් වේ

ධර්මය ශ්‍රවණය කිරීමෙන් ඤාණ කෝෂය පුළුල් වේ

" ධර්මය ශ්‍රවණය කිරීම සඳහා කන් යොමු කිරීමට පළමුව සිහියට ගත යුත්තේ මේ ශ්‍රවණය මඟින් ඤාණ කෝෂය පුළුල් කරගැනීමට අර්ථවත් එළඹුමක් ලබා ගත්නෙමි'යි යනුවෙනි. බණ ඇසීම අවසන් වූ පසු එකී අරමුණ ඉටු වී තිබිය යුතු ය. ධර්මය ශ්‍රවණය කිරීමේ ඉහත සඳහන් කාරණා පහම ඉෂ්ට කරගැනීමට නොහැකි වුව ද, ඉන් එක කරුණක් හෝ ඉෂ්ට විය යුතු ය. එසේ නොවන්නේ නම්, එම පුද්ගලයා ධර්මය ඇසු ආකාරය පිළිබඳව ගැටලුවක් පැන නගිනු ඇත."

ජීවිතයේ ඔබ ඇසූ මිහිරිම කරුණ කුමක්ද? යන වග ඔබගේ මතකයට කැඳවා ගැනීමට ඇතැම් විට ඔබට හැකිවිය හැකි ය. කිසිදු මහන්සියකින් තොරව ඔබගේ මතකයට නැඟෙන්නේ ජීවිතයේ ලැබූ වඩා සුන්දර දෙය නොව, අමිහිරි අසුන්දර දෙය ම නොවේද? සිතෙහි ස්වභාවය එය ම වේ.

යහපත් දෙය මතකයේ තැන්පත් කර ගැනීමට සිත මනාප නැත. එසේ කරනවා නම්, එය කළ යුතු වන්නේ ඉතා ආයාසයකින් නොවේද? අයහපත් දෙය ඉතා ඉක්මනින් මතකයේ තැන්පත්ව සිතෙහි කිඳා බැස සිටී. එය සිතේ ස්වභාවයයි. හිත එහෙමමයි.

සාර්ථක පුද්ගලයකු ලෙස සමාජගත වන්නා, යහපත් වූ අර්ථවත් කරුණු මතකයේ තබා ගැනීමට සිතට බල කරයි. එයම කළ යුතු බවට සිතට හුරු කරන ඔහුගේ සිත ඒ අනුව කටයුතු කිරීමට පෙළෙඹෙනු ඇත. එවැනි සිත් ඇති යහපත් මිනිසුන් සමාජයේ දැකිය හැකි ය. ධර්මය පිළිපදින පුද්ගලයා තමන් අවකංව ම අර්ථවත් වූ යහපත් වැඩක් සමාජය වෙනුවෙන් කළ යුතු බවට සිතයි.

ධර්මය ශ්‍රවණය කිරීමෙන් අනුසස් පහක් ලැබෙන බව අංගුත්තර නිකායේ ධම්ම සවණ සූත්‍රය තුළ සඳහන්ව ඇත. එනම්, නොඇසූ දෙය අසයි. ඇසූ දෙය පිරිසුදු කරගනී. සැකදුරු කරයි. දෘෂ්ටිය සෘජු කරයි. සිත පහදී.

ධර්ම ශ්‍රවණය කිරීමෙන් පුද්ගලයාට ලබාගත හැකි ලාබ ප්‍රයෝජන පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණාවලට අනුව අධිෂ්ඨානයකින් යුතුව ධර්මය ශ්‍රවණය කිරීම වඩාත් වැදගත් ය. ධර්මය ශ්‍රවණය කිරීම යනු මනසට ලබා දෙන්නා වූ පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර වේලකි.

ධම්ම සවණ සූත්‍රයට අනුව එහි අර්ථාන්විත කොටස මනසට ඇතුළත් කර නොගන්නේ නම්, බණ ඇසීමෙන් ඵලක් නැත. තම ජීවිත කාලය පුරාම ධර්මය ශ්‍රවණය කළ ද එහි ප්‍රයෝජනයක් නැත. බණ ඇසීම යනු තම මනසෙහි ඤාණයේ දියුණුවක් ඇතිකර ගැනීම ය. පුද්ගලයා ඤාණයේ ඇති කරගත් දියුණුව තම ජීවිත ක්‍රියාදාමය අර්ථවත් කර ගැනීම පිණිස යෙදවීමෙන් ඔහු එහි යහපත් ප්‍රතිඵල නෙළාගනී.මානසික දුෂ්චරිත සුචරිත කරගැනීමක් හෝ කායික දුෂ්චරිතයක් වළකා ගැනීමක් විය හැකි ය. එය ඔහු ලබන අධ්‍යාත්මික ලාභයක් හෝ භෞතික ලාභයක් විය හැකි ය. පුද්ගලයාට හෝ සමාජයට අවැඩක් නොවන්නේ නම්, ධර්මය ශ්‍රවණය කිරීම සඳහා තෘෂ්ණාව ඇතිකරගැනීම අවැඩක් වන්නේ නැත. ඇතැමුන් දැනුම ලබාගැනීම සඳහා තණ්හා වෙති. එම ලබාගන්නා වූ දැනුම තෘෂ්ණාවෙන් තොරව නැවත ද සෙසු පුද්ගලයාට බෙදා දීම අර්ථාන්විත ක්‍රියාවකි. තමා ලැබූ ලාභ නිසා ම සෙසු පුද්ගලයාට ද එසේ වේවා යැයි යන යහපත් හැඟීමෙන් කියා දිය යුතු ය. කියා දෙන දහම පිළිගන්නා හෝ පිළිනොගන්නා මිනිසුන් සමාජයේ දැක උරණ නොවිය යුතු ය. තම කාර්යය පමණක් කළ යුතු ය. මන් ද සෙසු පුද්ගලයාට අර්ථය හිත සුව පිණිස කියා දීම සෑම පුද්ගලයෙකුගේ ම යුතුකම වන නිසා ය.

ධර්මය ශ්‍රවණය කිරීම සඳහා කන් යොමු කිරීමට පළමුව සිහියට ගත යුත්තේ මේ ශ්‍රවණය මඟින් ඤාණ කෝෂය පුළුල් කරගැනීමට අර්ථවත් එළඹුමක් ලබා ගත්නෙමියි යනුයි. බණ ඇසීම අවසන් වූ පසු එකී අරමුණ ඉටු වී තිබිය යුතු ය. ධර්මය ශ්‍රවණය කිරීමේ ඉහත සඳහන් කාරණා පහම ඉෂ්ට කරගැනීමට නොහැකි වුව ද, ඉන් එක කරුණක් හෝ ඉෂ්ට විය යුතු ය. එසේ නොවන්නේ නම්, එම පුද්ගලයා ධර්මය ඇසු ආකාරය පිළිබඳව ගැටලුවක් පැන නගිනු ඇත. සිතෙහි යම් වෙනත් අදහසක් තබාගෙන බණ ඇසූ බව ඉන් ඇඟවෙයි. එබඳු ආකාරයෙන් ධර්මය ශ්‍රවණය කරන බොහෝ පිරිස් සිටිති. එබඳු පුද්ගලයන් තම ඤාණ කෝෂයට කිසිවක් උරා නොගනී. එවැනි පුද්ගලයන් බණ ඇසීමෙන් ඵලක් නැත. ධර්මය පිළිපැදීමට හොඳින් ශ්‍රවණය කළ යුතු ය. එසේ නොවන්නේ නම්, ඔබ අසන බණෙන් ඵලක් නැත. එසේ බණ අසනවාට වඩා ගෙදරට වී සිටීම අර්ථවත් ය.

බුදුරජාණන් වහන්සේ ගංගා නම් ගඟ අසබඩ වැඩ සිටින අවස්ථාවක ගංගාවේ සැඩ පහරට හසුව පහළට ගලා යන දරකඩක් දැක ස්වාමීන් වහන්සේලා අමතමින් මෙසේ වදාළ සේක.

මහණෙනි, ගංගා නදියෙහි සැඩ පහරින් ගසාගෙන යන අර දර කඩ දුටුවේද? යනුවෙන් විමසූහ. ‘එසේය ස්වාමීනි, භික්ෂූහු කීහ. මහණෙනි, ඔය පාවෙන දර කොටය, මෙගොඩට පාවී නොආවේ නම්, එගොඩටද නොයයි නම්, ගඟ මැද නොගිලෙයි නම්, මිනිසුන් ගත්තෙත් නැත්නම්,අමනුෂ්‍යයින් ගත්තෙත් නැත්නම්, සුළියකට අසු වුණේත් නැත්නම් ගඟ මැද දිරා ගියේත් නැත්නම් මහ මුහුදට ම යන්නේය. මන්ද ගංගා නදිය මහ මුහුදට ම ගලා බසින බැවිනි. මහණෙනි, ඔබ සැමද ඒ වගේය. ඉදින් මෙතෙරට නාවොත්, එතෙරට ගියේත් නැත්නම්, මිනිසුන් හෝ නොමිනිසුන් ගත්තෙත් නැත්නම්, සුළියකට අසු වුණේත් නැත්නම්, ඇතුළත කුණු වී ගියේත් නැත්නම් නිවනටම යන්නේය. මන්ද සම්මා දිට්ඨිය නිවනටම බර වූයේ ය. එහෙයිනි.

බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂු නමක් උන්වහන්සේගෙන් ප්‍රශ්න ගණනාවක් විමසා සිටියහ. එසේ විමසූ ප්‍රශ්න මෙහෙමයි. ස්වාමීනි, ඔබ වහන්සේ දෙසූ බණ පදය මට තරමක් අපැහැදිලි ය. එනිසා මා සිත ප්‍රශ්න රාශියකින් වෙළී තිබෙනවා. ඒවාට පිළිතුරු දුන මැනවි. මගේ ප්‍රශ්න මේවා ය. මෙතෙර කුමක්ද? එතෙර කුමක්ද, මැද ගිලා බැහීම කුමක්ද, ගොඩගැනීම කුමක්ද? මිනිසුන්ගේ ගැනීම කුමක්ද? අමනුස්සයන්ගේ ගැනීම කුමක්ද? සුළියට අසුවීම කුමක්ද? ඇතුළත කුණුවීම යනු කුමක්ද? යනුයි.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ධර්මය පැහැදිලි කරන ආකාරය අසාගෙන සිටි නන්ද නමැති ගව පාලකයාට ධර්ම ඉතා හොඳින් හිතට වැදුණේය. ඔහු බුදුරජාණන් වහන්සේ අමතා මෙසේ කීවේ ය. “ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මම මෙගොඩ නොඑමි. එගොඩ නොයමි. මැද නොගිලෙමි. ගොඩට නොගැසෙමි. මිනිසුන්ගේ ගැනීමත් නැත. අමනුෂ්‍යයන්ගේ ගැනීමන් නැත. සුළියකට හසු නොවෙමි. ඇතුළත කුණු නොවෙමි. මට ඔබ වහන්සේ සමීපයෙහි මහණ වෙමී යනුයි. නන්ද ගෝපාල බුදුසසුනෙහි පැවිදි විය. නොබෝ දිනකින්ම උපසම්පදාව ලබා රහතන් වහන්සේලා අතර එක් නමක් බවට පත්විය.

එවැනි ආකාරයට ඔබ අසන ධර්මය ජීවිතයේ සාර්ථකත්වය සඳහා යොදාගත යුතු ය. අසන්නන්වාලේ ඇසුවාට ඵලක් නැත. දෙලොව යහපත පිණිස හේතුවන ආකාරයට නිවැරැදි සිහියෙන් ධර්මය ශ්‍රවණය කිරීම සියලු දෙනාගේ ම වගකීම වේ.

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් 12 වන දා සිකුරාදා අපර භාග 01.23 ට ලබයි.  13 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 12 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 19 වන දා සිකුරාදා.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]