[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසර දුකෙන් එතෙර වන මග

සසර දුකෙන් එතෙර වන මග

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබිබින්දතී දුක්ඛෙ
එසමග්ගො විසුද්ධියා

සුපින්වත්නි,

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි එක්දහස් පන්සියයක් භික්ෂූන්වහන්සේ නිමිති කරගෙන මෙම ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාළ සේක.

සැවැත් නුවර එක්දහස් පන්සියයක් භික්ෂූන් වහන්සේ පන්සියය බැගින් වෙන් වෙන් වශයෙන් තුන් කොටසක් ව කමටහන්ගෙන භාවනා කිරීමට ප්‍රයත්න දැරූහ. එහෙත් කිසිවෙකුට මාර්ගඵල ලබා ගැනීමට නොහැකිවූයෙන් යළි කමටහන් ගැනීමට දෙව්රම් වෙහෙර බුදුරජාණන් වහන්සේ වෙත වැඩම වූ හ. තමන්ගේ පරමාර්ථයන් ඉෂ්ට සිද්ධ කරගැනීමට නොහැකිවූ බවත්, නැවත කමටහන් ඉගෙනයාම සඳහා පැමිණි බවත් භික්ෂුහු බුදුරදුන්ට සැලකර සිටියහ.

අප බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන්ගේ අතීත භවයන් බලා වදාරා පෙර කස්සප බුදුරදුන් සමයෙහි අනිච්ච, දුක්ඛ, අනත්ත යන තිලකුණු භාවනා වඩා පුරුදු ඇතියන් බව දැන එම අරමුණුවලට ම මනස යොමු කිරීම සඳහා එම පැවිදිපිරිස කොටස් තුනකට වෙන්කොට වෙන වෙන ම ගාථා ධර්ම දේශනා කළ සේක.

සබ්බේ සංඛාරා අනිච්චාති
සබ්බේ සංඛාර දුක්ඛාති
සබ්බේ සංඛාරා අනත්තාති

යනුවෙන් මේ ගාථා තුනේම කෙටි අදහස සියලු සකර දම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් බලන්නා දුකෙහි කළ කිරේ. එය නිවන් මාර්ගයයි.

‘යදනිච්චං තංදුක්ඛං’ යමක් විපරිනාම වේද එය අරමුණු වශයෙන් සමථ හා විදර්ශනා භාවනා වඩන්නේ නැති පුද්ගලයාට දුක්වේදනා ඉතා තදින් ඇති වන්නේ ය. දුක, සැප වේදනා දෙක ම අපේ පංචේන්ද්‍රියයන් මුල් කරගෙන ඇති වී මනසින් ප්‍රකාශයට පත්වෙන නමුත් දුක්වේදනාව මනසට රුචි නොවන තෙරපෙනනයක් වන බැවින් එය මහා දුකකි.

නාම රූප ලෝකයට අයත් පරමාණුවේ පටන් අති විශාල අහස, පොළොව, ඉර හඳ දක්වා රූප ලෝකය ද ඉතා සියුම් චිත්ත ක්ෂණයේ පටන් ගෝත්‍රභූ ඤාණය දක්වා නාම ලෝකය ද, උත්පාද, ඨිති, භංග වශයෙන් මොහොතකට කෝටිගණන් ඇතිව නැතිව යන බැවින් දුක්වේදනාවක් වන්නේ ය.

සංස්කාරවල ස්වභාවය, වෙනස් වෙමින් එක්වීමයි. මේ නිසා ප්‍රථමයෙන් ඇතිවෙන හේතුවේ ඵලය මොහොතකින් යළි හේතුවක් බවට පත්වෙන නිසා හේතුඵල නියාම ධර්මයෙන් සමස්ත විශ්වයම පවතින්නේ ය. රූපං අනිච්චං, වේදනා අනිච්චා, සඤ්ඤා අනිච්චා, සංඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චං

සත්වයා තමාගේ රූපය, වේදනාව, සඤ්ඤාව සංඛාර, විඤ්ඤාණය යන පංච උපාදානස්ඛන්ධයන් නිත්‍ය වශයෙන් සිතමින් ක්‍රියා කරන බැවින් මනෝ භාවයන් එයට බැඳී පවතින්නේ ය. එය ආත්ම සඤ්ඤාවට හේතුවක් වන්නේ ය.

පංච උපාදානස්ඛන්ධයන්ගේ උදය ව්‍යය හෙවත් ඇතිව නැතිවීම පරිග්‍රහණය කොට සන්තතිය වශයෙන් පවත්නා හැඟීම අනර්ථකාරී සංකල්පයක් වශයෙන් බැහැර කළවිට අනිත්‍ය ස්වභාවය යථා පරිදි වැටහෙන්නේ ය.

ඇස, කන, නාසය, දිව ශරීරය, මනස යන ඉන්ද්‍රියයන් මෙන් ම, ගෝචරවන රූප, ශබ්ද ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන බාහිර ධර්මයන් එකකටවත් ආත්මයක් නැති බව අප බුදුරජාණන් වහන්සේ අනන්ත ලක්ඛණ සූත්‍රයෙන් වෙන් වෙන් වශයෙන් පෙන්වා දුන් සේක.

සත්වයාගේ ජීවිතයට අයත් කිසිවක් ආත්ම වශයෙන් ගතයුතු නැතිබව කරුණු හතරක් අනුව අප බුදුරජාණන් වහන්සේ දැන වදාළ සේක.

01. තමාට වසඟ නොවන බැවින්

02. ස්වාමික බවක් නැති බැවින්.

03. ශූන්‍යාර්ථයන් ගන්නා බැවින් හා

04. ආත්ම ප්‍රතිකේෂ්පාර්ථයෙන්

යන කරුණු අනුව ආත්ම සංකල්පයක් මිස ගතයුතු හරයක් නැති බවත් සර්වඥතාඤාණයෙන් දැන වදාළ සේක.

නෙතං මම නෙසො හමස්මි නමෙසො අත්තාති

සියලු රූප මගේ නොවේ ය, මෙතෙම මම නොවෙමි.

මෙය මාගේ ආත්මය නොවේය යන විදර්ශනා ඤාණයෙන් තත්වූ පරිදි දත යුත්තේ ම ය. එය සංසාර දුකින් මිඳීමේ ඒකායන මාර්ගය වන්නේ ය.

මෙම ධර්ම දේශනාව කියවීමෙන්, ධාරණය කිරීමෙන්, පිළිපැදීමෙන් දෙව් මිනිස් සැප සම්පත් කෙළවර නිවන් සම්පත් ලබා ගැනීමට උත්සාහවන්න.

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් 12 වන දා සිකුරාදා අපර භාග 01.23 ට ලබයි.  13 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 12 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 19 වන දා සිකුරාදා.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk