[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාතලේ ඉදි වූ ස්වෙදගොන් අනුරූ සෑය

මාතලේ ඉදි වූ ස්වෙදගොන් අනුරූ සෑය

මාතලේ ඉදි වූ ස්වෙදගොන් චෛත්‍යය බුරුම ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට රුකුලකි. බුරුමය එහෙමත් නැත්නම් මියන්මාරය නමින් හැඳීන්වෙන බෞද්ධ රාජ්‍යය හා අපේ රට අතීතයේ සිට සබඳතා රැසකින් සමන්විත රාජ්‍යයකි.

ථෙරවාදී බෞද්ධයන් 84 % කටත් අධිකව වෙසෙන මියන්මාරය අතීතයේ සිටම ලංකාව හා සමීප සබඳකම් පවත්වා ඇති අතර අද දක්වා ම පවතින අපේ රටේ අමරපුර නිකායත් රාමඤ්ඤ නිකායත්, අපට උරුම වූයේ මියන්මාරයෙනි. මියන්මාර බෞද්ධයින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව සලකනු ලබන්නේ එරට යැන්ගුන් නගරයේ පිහිටි ස්වෙදගොන් මහා ස්තූපයයි. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් බුදුරජාණන් වහන්සේගෙන් ලබා ගත් කේශ ධාතුන් වහන්සේ නිධන් කර ස්වේදගොන් ස්තූපය කළ බවට පවතින විශ්වාසය නිසාය.

බුරුම ජාතිකයින් එයට දක්වනු ලබන්නේ බුදුරජාණන් වහන්සේට දක්වනු ලබන සැලකිල්ලක් ලෙසිනි. අප රටේ වැසියන්ද මේ මියන්මාර ස්තූපය ගැන අසා ඇතත්, සේයාරූ දැක ඇතත් එය පියවි ඇසින් දකින්නට පින් කර ඇත්තේ ස්වල්ප පිරිසක් පමණි. මේ තත්ත්වය සැලකිල්ලට ගත් ලෝක බෞද්ධ තරුණ සංඝ සභාවේ මහ ලේකම් මුගුණුවෙල අනුරුද්ධ නාහිමියෝ එහි අනුරුවක් මෙරට ස්ථාපිත කළ යුතු යැයි කල්පනා කළහ. උන් වහන්සේ ඒ සම්බන්ධව මියන්මාරයේ බෞද්ධ නා හිමිවරුන්ට හා මියන්මාර් බෞද්ධ වැසියන්ට දැන්වූහ. ඒ සියලු භික්ෂූන් වහන්සේ හා ගිහි පිරිස් ඒ සදහා එක හෙළා ම සතුටු සිතින් කැමැති වූහ. ඒ අනුව අලංකාර කඳු වළල්ලකින් වට වූ නකල්ස් කඳු වැටියේ මධ්‍යයට වන්නට ඒ චෛත්‍යය ඉදි කරන්නට අනුරුද්ධ හිමියෝ කල්පනා කළහ.


ස්වෙදගොන් චෛත්‍යයේ අනුරුව විවෘත කිරීමට මල්වතු,අස්ගිරි අනු නා හිමිවරුන් ඇතුළු මියන්මාරයේ මහා සද්ධම්ම ජෝතික ධජ පන්ඩවොන්ත සියදෝ නාහිමියන් වැඩමවූ අවස්ථාව

අනුරුද්ධ නාහිමියන්ගේ උපදේශකත්වයෙන් සිදු කෙරෙන ස්වෙදගොන් චෛත්‍යයේ අනුරුව අනුරුධ අරණේ ඉදිවුණු බුරුම සම්ප්‍රදායයේ ප්‍රථම චෛත්‍යය ඉදි කිරීමට මියැන්මාරයේ යොන්ගොව් හි අවුන්ෂාබු ටාව්යා විහාරයේ මහා සද්ධම්ම ජෝතික ධජ පන්ඩවොන්ත සියදෝ හිමියන්ගේ දායකත්වය හිමිවිය. එම චෛත්‍යය ඉදිකිරීම සඳහා බුරුම ශිල්පීන් හයදෙනකු මෙරටට පැමිනුණි. මාතලේ උකුවෙල බලකඩුව පන්සල්තැන්න ප්‍රදේශයේ අනුරුධ අරණේ එහි ඉදි කිරීම් ආරම්භ වූයේ ඒ අනුව ය. වසර දෙකකට ආසන්න කාලයකට පමණ පසුව එහි ඉදි කිරීම් සිදු කර අවසන් වූ අතර පසුගිය සතියේ මව්පිය ගුණ සෑය විවෘත කෙරිණි. බුරුම කලා ශිල්ප රැසක් ම චෛත්‍යයේ ස්ථාපිත කිරීමට බුරුම ශිල්පීන් විසින් කටයුතු කර තිබේ. චෛත්‍යයේ පේසාවළලු හයක් පමණ ස්ථාපිත ය.

බුරුමයේ අතීතයේ සිට පවත්වාගෙන එන විශේෂ ආරක්ෂකයින් බුරුම මුරායුද ගෙන චෛත්‍යය වටේම මුර කරමින් සිටී. චෛත්‍යය ඉදිරිපිටින් ඇති කුටියේ සැකසූ මලසුන් ගෙවල් ද චෛත්‍යයේ මෙන් අලංකාර කැටයමින් යුක්තය. ඒවායේ වහළ ඉහළට යන්නට සිහින්වන ආකාරයේ කැටයම්වලින් යුක්ත ය. බුරුම - ලංකා මව්පිය ගුණ සෑය (බුරුම ලංකා අන්ෂබු සෑය) නමින් නම් කළ මේ ස්තූපය අනුරුද්ධ නා හිමියන්ගේ 55 වන ජන්ම දිනය යෙදුණු පසුගිය 14 වැනිදා ජනතාවගේ වන්දනාමානයට පත් කරන ලදී. ඒ සඳහා විදෙස් රටවලින් පමණක් සිය ගණනක් භික්ෂූන් වහන්සේ සහ නියෝජිතයෝ පැමිණ සිටියහ. ඒ සඳහා මියන්මාරය, ඉන්දුනීසියාව, ඕස්ට්‍රෙලියාව, බංග්ලාදේශය ඇතුළු රටවල රැසක නියෝජිතයන් පැමිණ සිටියහ.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති නන්දිමිත්‍ර ඒකනායක, උතුරුමැද මහ ඇමැති සරත් ඒකනායක මහතා ද එම උත්සවයේ විශේෂ ආරාධිතයින් ලෙස සහභාගි වූහ. විවෘත කිරීමේ උත්සවයට සියලුම නිකායික අනු නාහිමියන් වහන්සේ වැඩම කර සිටියහ. සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නා හිමි. සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි අනු නා හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාතලේ ශ්‍රී ධම්මකුසල නා හිමි මෙන්ම මැලේසියාවේ ප්‍රධාන සංඝනායක බූටාවත්තේ ශ්‍රී සරණංකර හිමියෝද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අනුනායක යහලගමුවේ ධම්මිස්සර නාහිමියෝද එම අවස්ථාවට වැඩම කර සිටියහ. එසේම ලෝක එක්සත් බෞද්ධ සංඝ සභාවේ උප සභාපති හා ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ඕස්ට්‍රේලියා සභාපති ඔල්ඩර් ගුරු වජිර ලොන් සෙන් හිමියෝද, ලෝක බෞද්ධ පෙරමුණේ සභාපති පෝර්න්චාල් පාලවධම්මෝ හිමියෝද ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ සභාපතිනි ෂින් කුවාන් තායිවාන් මෙහෙණියද එම අවස්ථාවට සහභාගි වූ හ.

ලෝක බෞද්ධ සංඝ සභාවේ මහ ලේකම් ධුරය දරමින් මුගුණුවෙල අනුරුද්ධ හිමියන් බුරුම සම්ප්‍රදායයේ චෛත්‍යයක් විශේෂයෙන්ම ස්වෙදගොන් චෛත්‍යයේ අනුරුවක් අපට උරුම වූයේ උන් වහන්සේගේ අප්‍රතිහගත ධෛර්යය නිසා ම ය.

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් 12 වන දා සිකුරාදා අපර භාග 01.23 ට ලබයි.  13 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 12 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 19 වන දා සිකුරාදා.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]