UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රට ගිය මුදියන්සේගේ රට ගිය වලව්ව දීපදුත්තමාරාමයයි

ඔබ දැන් පැමිණ සිටින්නේ තායිලන්තයේ විහාරස්ථානයකට යැයි සිතුනොත් මම පුදුම නොවෙමි. තායි සම්ප්‍රදායානුකූලව නිර්මාණයවුණු මෙම ස්තූපය දකින විට ඔබට එවන් සිතිවිල්ලක් පහළ වීම සාධාරණය.

ලාංකික ස්තූප කලා සම්ප්‍රදාය වෙනත් ඉසව්වක රැගෙන ගිය මෙම තායි ආකෘතියේ චෛත්‍යය නිසා ද එසේම තවත් අසිරිමත් සිද්ධීන් සමුදායකට මෙන්ම අඳුරු පසුබිම් වාතාවරණයක දී නො සැලෙමින් මුහුණ පෑ නිසා ද මෙය විශේෂිත වූ ස්ථානයක් වශයෙන් ද දැන කියා ගැනීමට හැකියාව ලැබෙයි.

අවිවේකී කොළඹ අගනගරයේ එක් ඉසව්වක උස්වූ ගොඩැල්ලක් මත සෑදුණා වූ දීපදුත්තමාරාම පුරාණ රජමහා විහාරය පිහිටා ඇත්තේ උතුරු කොළඹ, කොටහේනේ සංකීර්ණ පරිසරයක් මධ්‍යයේ ය. කොටහේනේ ‘රට ගිය වලව්ව‘ නමින් වූ මහ මන්දිරය ගොඩනැඟෙන්නේ ඕලන්ද යුගයේ දී මීට වසර 230කටත් එපිටදී ය.

මෙය ප්‍රභූ බෞද්ධ පරපුරකට සෙවණ සිසිලස සැලසූ පසන් මන්දිරයක් වශයෙන් ප්‍රකට විය. සවියෙල් තාබ්‍රෙව් උභය කුලතුංග විජයසිරිවර්ධන මහමුදලිතුමා මෙන්ම එතුමාගේ පියතුමා බෞද්ධාගමට ගෞරවණීයවද යනෙන නෑ හිත මිතුරන්ට ළබැඳියාවෙන් ද කටයුතු කළහ. සාවියෙල් තාබ්‍රෙව් මුදලිතුමා හැඳින්වූයේ ‘රට ගිය මුදියන්සේ’ නමිනි.

මේ යුගයේ දී මුදලිතුමාගේ පියා තම වලව්ව තුළ කුඩා බුදු මැදුරක් තැනුවේ ය. වලව් පරපුර මෙන්ම ‘රට ගිය වලව්ව‘ ද ප්‍රභූ උෂ්ණයෙන් මහන්තත්ත්වයට පත්නොවුණු නිසාම එය කාගෙ කාගෙත් හිතට සුවදායක පරිසරයක් නිර්මාණය කළේ ය. එවන් ස්ථානයක බුදු මැදුරක් ඔහු තැනුවේ මතු බලාපොරොත්තු කීපයක් මුදුන්පත් කර ගැනීමේ අපේක්‍ෂාවෙනි. එයට බලපෑ හේතු කීපයක් ඕලන්ද යුගය විසින් නිර්මාණය කර තිබුණි. ඕලන්ද බලපෑම සෘජුව කොළඹට දැනෙන්නට වූ අතර මේ වන විට කොළඹ භූමිය තුළ බෞද්ධ ජනතාවගේ ආගමික අවශ්‍යතාවයන් වෙනුවෙන් විහාරස්ථානයක් ඉදි වී තිබුණේ ද නැත. ලන්දේසි පාලන බලය විසින් එයට අවස්ථාවක්ද සලසා නො දෙන ලදී.

එවන් වකවානුවක පැවැතුණු පසුබිමේ ස්වභාවය සමඟ උපක්‍රමශීලී ගනුදෙනුවක නියැලුණු මහ මුදලිතුමා කුඩා සිදුරකින් හෝ පහන් සිලක ආලෝකය දකින්නට පෙළඹුණේ තම මහා මන්දිරය තුළ කුඩා බුදු මැදුරක් තනා ගැනීමට උත්සුක වීමෙනි. තැනූ බුදු මැදුරේ පුද පූජා වන්දනාමාන වෙනුවෙන් පවුලේ සාමාජිකයෝ ද වලව්වට නිබඳව පැමිණෙන සමීපතමයෝද මුලදී සම්බන්ධ වූහ. ඒ අතර ආගමික කටයුතු තවත් පුළුල් වෙමින් මුදලිතුමා සමඟ මිත්‍ර වූ සීනිගම ධම්මක්ඛන්ධ නම් වූ භික්‍ෂූන් වහන්සේ බුදු මැදුරට වැඩම වූ අතර එතන වස් විසීමක්ද සංවිධානය විය.

කාලය සෙමින් ගෙවී යද්දී ක්‍රමයෙන් විහාරස්ථානයට අවශ්‍ය අංගයන් ද මේ වලව් භූමිය තුළ ස්ථාපිත කිරීම ඇරඹුණු අතර 1789 වසරේ දී දඹදිව ජය ශ්‍රී මහා බෝධී අංකුරයක් වැඩමවා රෝපණය කළේ විහාරයක පසුබිම සැකසීමේ අඩුව පිරිමැසීමට ය.

1815 න් ඇරඹුණේ බ්‍රිතාන්‍ය යුගයය. එම පසුබිම තුළ මිෂනාරී බලය විසින් බෞද්ධාගමේ පරිහානිය වෙනුවෙන් වක්‍ර මෙන්ම සෘජු උපක්‍රම රාශියක් ක්‍රියාවට නැංවෙමින් පැවතුණි. එයට එරෙහිව නැඟී සිටි භික්‍ෂූන් වහන්සේලා අතර එක් අභීත හිමිනමක් වූයේ වාදීභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද නා හිමිපාණන් වහන්සේ ය.

චතුර කතිකත්වයෙන් සිහ නද පාමින් මිෂනාරී මිසදුටු හඬ පුස් වෙඩිල්ලක් බවට පත්කළ ගුණානන්ද හිමියන්ගේ තේජාන්විත නාමය ඉතිහාසයේ උණුසුම් පිටු අතර වැජඹෙන්නේ වීරත්වයට පත් වෙමිනි.

1865 න් වරාගොඩින් ඇරඹී 1873 දී පානදුරයේ දී අවසන් වන පංච මහා වාදයේ බෞද්ධ පක්‍ෂයේ චතුර මුඛරි අභීත හඬ පෞර්ෂය වාදීභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ ය. එම හඬ අඬහැරයක් වී උන්වහන්සේ ලෝක ප්‍රසිද්ධියට පත්වූහ.

‘රටගිය වලව්ව‘ තුළ එදා කුඩා බුදු මැදුරකින් ආරම්භ කළ බෞද්ධ පරිසරය ව්‍යාප්ත වන විට කොටහේන ‘රටගිය වලව්ව‘ මෙරට බෞද්ධ පුනරුදය වෙනුවෙන් සැදී පැහැදී සිටියේ ය. මේ වන විට වෙසක් පොහොය දින නිවාඩුව බෞද්ධයන්ට අහිමි වී පැවතුණි. මෙවන් උණුසුම් පරිසරයක 1844 වසරේ දී දීපදුත්තමාරාමයේ භාරකාරත්වය මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ට පැවරීම දිපදුත්තමාරාමයේ අභිමානය සඳහා ඔටුනු පැළඳවීමක් වැනි විය.

1883 මාර්තු 25 ගුණානන්ද හිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් බොරැල්ලේ මහ පන්සලේ සිට දිපදුත්තමාරාමය වෙත පෙරහරක් ගමන් අරඹන්නේ බෞද්ධ විරෝධී ව්‍යාකූල පසුබිම මධ්‍යයේ ය. ම¼ගදී පෙරහරට මැර ප්‍රහාරයක් එල්ල වන අතර එහි බරපතළකම කොතරම්දැයි කියතොත් අරගලයේදී පෙරහරේ ගමන් කළ නිරායුධ අහිංසක මිනිසෙක් මරණයට පත් වෙයි.

අපට උරුම මාතෘ භූමිය පරපුටුවන්ගේ ග්‍රහණයට නතුවීම නිසා බෞද්ධාගමිකයන්ට මෙන්ම අපගේ ජාතික ආගමික සංස්කෘතිකාංගයන්ට එල්ල වුණේ ගල් මුගුරුය. කඩු, තුවක්කුය.

මෙසේ බෞද්ධයාටද, බෞද්ධාගමටද ආරක්‍ෂාවක් නොමැති තැන මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි වස්කඩුවේ ශ්‍රී සුභූති මහා නා හිමි හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි එක් වී බෞද්ධ ආරක්‍ෂක කමිටුවක් පත්කර ගැනීමට යුහුසුළු වෙති. එයට සර්හෙන්රි ඕල්කට්තුමා ඇතුළු ජනහිත කාමී පිරිසක්ද එකතු වූහ. මේ සියල්ලේම ප්‍රතිඵලයක් ලෙස බෞද්ධයන්ගේ උරුමයන්ට වන අසාධාරණයන්ට එරෙහිව සන්දේශයක් සැකසුණි.

ඒ බෞද්ධ ආරක්‍ෂක කමිටුවේ සන්දේශයට යහපත් ප්‍රතිචාර ලැබෙමින් මහ රැජිනගේ නියෝගය මත ලොන්ඩන් ආණ්ඩුකාරවරයා විසින් 1885 අපේ‍්‍රල් 28 වැනි දින විශේෂ ගැසට් නිවේදනයක් මඟින් වෙසක් පොහොය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට නම් කරන ලදී.

එසේම බෞද්ධ උරුමයේ සදානුස්මරණීය සංකේතයක් වූ බෞද්ධ කොඩිය නිර්මාණය කළ කමිටුවේ සාමාජිකයකු වශයෙන් ද මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි නාමයට ලැබෙන්නේ සනාතන වටිනාකමකි. බෞද්ධ කොඩිය එදා නිර්මාණය වීමෙන් පසුව 1885 අප්‍රේල් 28 වැනි දිනදී ප්‍රථම වරට ගුවන සිසාරා ලෙළදුන් ප්‍රධාන ස්ථාන පහක් නම් කළ හැකි වෙයි. හුණුපිටිය ගංගාරාමය, කැලණි රජමහා විහාරය, මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන පරම විඥානාර්ථ සංගම් මූලස්ථානය සහ දිපදුත්තමාරාමය එම විශේෂිත ස්ථානයන් ය.

මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් සහ වස්කඩුවේ ශ්‍රී සුභූති මා හිමියන් සමඟ පෙරදී ඇති කරගත් සම්බන්ධතාවය නිසා තායිලන්තයේ පි‍්‍රස්ඩාන්ග් චුම්සායි රජකුමරු 1896 වසරේ දී ලංකාවට පැමිණ වස්කඩුවේ මහා නාහිමියන් යටතේ ජිනවරවංශ නමින් උතුම් පැවිදි බිමට ඇතුළත් වූ සේක. මෙම පින්වත් සන්සිද්ධිය ඉතිහාසයට එකතු වන්නේ තායිලන්ත රජකුමරෙකු ලක්බිමේදී පැවිද්ද ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වන නිසා ය.

එවකට ගුරු භික්‍ෂූන් වහන්සේ යටතේ පැවැති දිපදුත්තමාරාමය ‘ජිනවරවංශ’ නොහොත් ‘ කුමාර හාමුදුරුවන්ගේ භාරකාරත්වයට පත් කරති.’

දිීපදුත්තමාරාමයට රත්නයක් බඳු තායි නිර්මාණ කලාවෙන් අලංකාර වූ ‘රත්න චෛත්‍ය’ විහාර භූමියේ ඉදිකිරීම ආරම්භ කරන්නේ 1908 වසරේදී කුමාර හාමුදුරුවන්ගේ අනුග්‍රහය යටතේ ය. මේ නිසාම කොටහේනේ දිපදුත්තමාරාමය ලාංකේය විහාර වංශකතාවේ නවමු ආකෘතියකින් හෙබි අපූරු සුන්දර සුවිශේෂී ලකුණු එකතු කළ පින්බිමක් බවට පත්වෙයි.

එතැන් පටන් තායි රජපෙළපත සමඟ සමීපව සම්බන්ධ වන දිපදුත්තමාරාමය. තායි ශ්‍රී ලංකා සබඳතාවය. එකට යා කරන සවිමත් පාලමක් බවට පත්වෙයි. ඒ නිසාම ඔවුන් මෙය හඳුන්වන්නේ තායි රාජ පෙළ පතෙහි ශ්‍රී ලංකා ආරාමය වශයෙනි.

මෙහි ඇති විහාරමන්දිරය යුග කීපයක සුවිශේෂී ලක්‍ෂණ ප්‍රදර්ශනය කරයි. එහි පෙනුම ශෝභනය, තේජාන්විතය. ආකෘතියේ බටහිර ලක්‍ෂණද අඩංගු වී තිබේ. විහාරයේ එක් කැටයමක මුදුනේ බ්‍රිතාන්‍ය කිරීටයද ඊට යටින් දා ගැබක අනුරුවද දකින්නට ලැබේ.

පූජනීය චෛත්‍ය බ්‍රිතාන්‍ය කිරීටයට යට වන්නේ එදා පැවැති පර දේශක්කාර බලය අපගේ ආගමික ස්වාධීනත්වයට වඩා උඩින් පැවැති නිසාය. ඒ යුගයේ විහාරස්ථානවල පවා බටහිර ලක්‍ෂණ පෙන්නුම් කිරීමෙන් හැඟී යන්නේ උපක්‍රමශීලීව උන්ගේ සිත් සතුටු කරමින් හෝ තම කාර්ය සපුරා ගැනීමට බෞද්ධයාට උපායශීලී වීමට සිදු වූ නිසා යැයි සිතෙයි.

එක් උස් වූ දැව කැටයමක යට කොටසේ වර්ෂය සඳහන්ව ඇත්තේ ක්‍රි.ව. 1785 වශයෙනි. උඩ කොටසේ නිර්මිත වර්ෂය ක්‍රි.ව. 1872 වශයෙන්ද සඳහන්ව ඇත. ඕලන්ද ඉංගී‍්‍රසි යුග නියෝජනය මෙයින් හඳුනාගත හැකිවෙයි.

1977 වසර වන විට මෙම ආකර්ෂණීය විහාර මන්දිරය සම්පූර්ණයෙන්ම වාගේ විනාශ වී ගොස් තිබිණ. නැවත විහාර මන්දිරය පිළිසකර කෙරෙන්නේ මෙහි විහාරාධිපතිත්වයට පත්වන වස්කඩුවේ මහින්දවංශ මහා නා හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යට පින්සිදු වන්නට ය. ලාංකේය ඉතිහාසයේ තවත් එක් යුගයක පිටු පෙරළීමේ දී බෞද්ධයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් කළ විමුක්ති අරගල හමුවේ නොසැලී සෙවණ සිසිලස මෙන්ම උණුසුමද සැපැයූ දිපදුත්තමාරාමය නම් ප්‍රදීපාගාරයෙන් විහිදු ආලෝක එළියෙන් තේජාන්විත වීමේ නොසැලෙන සුළු අධිෂ්ඨානය ජයග්‍රාහී කතාව අපට කියවිය හැකි වෙයි.

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 21වැනි දා බදාදා පූර්ව භාග 07.37 ට ලබයි.
22වැනි දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.29වැනිදා දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 21වැනි දා බදාදා ය.

මීළඟ පෝය
මැයි 28වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk