වෙසක් අව අටවක මැයි 21 වනදා බදාදා
දිවි මඟ සරු කරන පින්කම්
ශ්‍රී බුද්ධ වර්ෂ 2558 සම්බුදු තෙමඟුල ඉමහත් ශ්‍රද්ධාවෙන්,
ගෞරවයෙන් ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් හි නිරත වෙමින් සිහිපත්
කරන්නට යෙදුණි.
සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිළිබඳ ගෞරවයෙන් සෑම නිවසක පහන්
දැල්වූයේත්, විදුලි බුබුළුවලින් ආලෝකවත් කළේත්, වෙසක් පහන්
කූඩුවෙන්, වෙසක් සැරසිල්ලෙන් අලංකාර කළේත්, දාන, ශීල, භාවනාදී
පින්කමිහි නිරත වූයේත් දිවි ගමනෙහි ‘අනුස්මරණීය’ ඓතිහාසික
දිනයක් බුදුදහමට යොමු කරමිනි.
වෙසක් පුන් පොහොය දිනය ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින්
බුද්ධිමත් බෞද්ධ ජනතාව දිනය අර්ථවත්ව ම ගත කරන්නට යෙදුණි.
ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය වූ ආගමික දිනය එසේ අර්ථවත්ව
ගත කළ සියලු දෙනා වෙත ඇතිවනුයේ අප්‍රමාණ සැනසිල්ලකි.
හැම දෙනාටම හැකි පමණින් දානා දී පින්කම් හි නිරත වෙමින් භව
ගමනෙහි පරිත්‍යාගය පුරුදු කිරීමට ද පෙළඹිණි.
වසරේ අන් කවරදාකටත් වඩා වෙසක්, පොසොන්, ඇසළ ආදී ඓතිහාසික පුන්
පොහෝ දිනයන් හිදී බෞද්ධයා තම ජීවිතය ආගමික වත් පිළිවෙත් හි
යොමු කරවා ලබන අපමණ සැනසිල්ල වෙනත් කවර ආකාරයකින් හෝ ලබා ගත
හැකි ද?
තම තමන්ගේ ජීවිතවලින් වන අතපසුවීම් පිළිබඳව මෙනෙහිකර පසු
තැවෙනවාට වඩා අතපසුවීම්වලින් වැළකී ජීවිතය සම්බුදු දහමට යොමු
කර ගත කිරීමට අදිටන් කර ගත යුතුව ඇත.
ජීවිතයට යහපත් දේ පුරුදු පුහුණු කර ගැනීම පහසු නොවනු ඇත. ඒ
නිතැතින්ම අයහපතට යොමුවීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි.
ජීවිත කාලය තුළ තමා සතු පින් පොත යහපත් කුසල සිතිවිලි මගින්
පුරවා ගැනීමට යම් අයකු උත්සාහ කරන්නේ නම් එය ඉටු කර ගැනීමට
අපහසු නොවන්නේ උත්සාහය සහ අධිෂ්ඨානය පවත්වා ගැනීමෙනි.
අද වෙසක් අව අටවක පොහොය දවසයි. තවත් දින කීපයකින් පොසොන් පුර
පසළොස්වක පොහොය උදාවෙයි.
ඒ අසිරිමත් දිනය දා හැකිතාක් තෙරුවන් වෙතට තම ජීවිතය යොමු
කිරීමට උනන්දු විය යුතුය.
දින, සති, මාස ගණන් මුළුල්ලෙහි වටිනා පින්කම් පිළිබඳ
නිරන්තරයෙන් යොමු වන බෞද්ධ ජනතාව එබඳු පින්කම් මහා පින්කම් බවට
පත් කරගනු ලබන්නේ කෙසේ දැයි කල්පනා කර බැලීම කාලෝචිත ය.
පින්කම් අතර කඨින පින්කම වටිනාම පින්කමකි. කඨින පින්කම වටිනා
පින්කමක් බවට පත්වනුයේ අටමහ කුසල් අතර පළමු පින්කම මෙන්ම ඒ
සඳහා මාස කීපයක් පුරා සූදානම් වී, ඇප කැප වී සිදු කරන පින්කමක්
ද වන බැවිනි.
පින්කමක් සිදු කිරීමට පෙර ඒ පිළිබඳව සිතමින් ඊට සූදානම් වීම
“පුර්ව චේතනා” නම් පින් සිතිවිලි පහළවන අවස්ථාව යි. පින්කමක්
කරන්නට පෙර ඒ පිළිබඳ සිතන මොහොතක් පාසා පින් සිතිවිලි උදා වේ.
පින්කම සිදු කරන අවස්ථාව මුඤ්චන චේතනා හදවතෙහි පහළ කරවන
අවස්ථාවයි. ඕනෑම පින්කමක් සිදු කිරීමේ දී ඊට සූදානම් වී ම
අත්‍යවශ්‍යය. එසේ සූදානම්වීමෙන් අනතුරුව පින්කම සිදු කරන මොහොත
උදාවෙයි. ඒ මොහොතේ දී ද හදවතින් ම සතුටු වෙමින් එම පින්කමෙහි
නිරත විය යුතු ය.
ලෝභ, ද්වේශ, මෝහ ආදී අකුසල චේතනා හදවත්වල පහළ වීමෙන් හැම සිතක්
ම පින් සිතිවිලිවලට යොමු නොකරයි.
එම ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූලයන් දුරු කර ගනිමින් කුසල
මූලයන් සිත් තුළ පහළ කර ගනිමින් පින් දහම්වල නිරත විය යුතුවේ.
එවිට අපරි චේතනා හෙවත් පින්කම අවසන් කර කාලයක් ගත වුණද, තමන්
මෙබඳු පින්කමක නිරතවුවකු යැයි නිරන්තරයෙන් සතුටු විය හැකි ය. ඒ
සෑම මොහොතකම පාහේ තමා නො දැනුවත්ව වුවද සිත පහන් කරවීමෙන්
පිනෙන් සතුටු විය හැකිය.
සතුටු විය හැකි පින් දහම්වල නිරතවිමෙන්, ජීවත කාලය පුරා පමණක්
නොව සසර ගමන පුරා සතුටු සිතින් දිවි ගමන ගෙවිය හැකිය. |