උසස් ම දානය
“දෙන්නට දුෂ්කර දෑ දීම” දානයන් අතුරින් ඉතා ම උසස් දානය බව බුද්ධ දේශනාවෙහි සඳහන්
වේ.
බුද්ධ දේශනාවෙහි එන යම් වදනක ධර්මානුකූල අර්ථයට වඩා එහි සාමාන්‍ය ව්‍යවහාරයෙහි
යෙදෙන අර්ථය අනුව අරුත් විග්‍රහ කර ගැනීමට යොමුවන මෙකල, ඉහත පාඨයෙහි අර්ථය ද, සැබෑ
ධර්මානුකූල අර්ථය ද වරදවා වටහාගෙන, ඒ අනුව කටයුතු කරන සෙයක් දක්නා ලැබේ.
සාමාන්‍ය ව්‍යවහාරය අනුව “දෙන්නට දුෂ්කර දෑ” යනු මිල අධික වූ හෝ ලබන්නට එතරම් සුලබ
නොවන දෑ හෝ ය. මිල අධික බැවින් වැඩි මුදලක් වියදම් කිරීමට සිදුවන නිසාත්, සුලබ නොවන
බැවින් බොහෝ වෙහෙස මහන්සි වී සොයා ගැනීමට සිදුවන නිසාත්, එවැනි ද්‍රව්‍ය සපයා
ගැනීමේ හැකියාව පවතින්නේ සමාජයේ යම් පිරිසකට පමණි.
මෙකල ඇතැමෙක් “දුෂ්කර දෑ දීම” යනුවෙන් සිදු කරනුයේ ද, ඉහත කී ආකාරයේ ක්‍රියාවන් ය.
සමාජයෙහි අතළොස්සකට පමණක් මිල දී ගන්නට හැකිවන මිල අධික භාණ්ඩ, ආහාරපාන ආදියත්,
ඵලදැරීම එතරම් සුලබ නොවන සහ ආනයනික එළවළු, පලතුරු, රසකැවිලි ආදියත් පූජාවන් සඳහා
තබා තිබෙනු දැකිය හැකි ය.
බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී ද රන්, රිදී, මාණික්‍ය ආදී දුර්ලභ සහ මිල අධික
දෑ පූජා කිරීම සිදු වුව ද, එකල සිදු වූයේ පළමුව ප්‍රතිග්‍රාහක පක්ෂයෙහි ගුණය
වටහාගෙන, එම වටහා ගැනීම හරහා ගොඩනැඟෙන ශ්‍රද්ධාවෙහි මෙහෙයැවීම තුළින් වටිනා
ද්‍රව්‍ය පූජා කිරීමට පෙළඹීම යි. එලෙස පූජෝපහාර පැවැත්වූ අය බුදුරජාණන් වහන්සේගේ
ශ්‍රී මුඛයෙන් ම බණ අසා ඇති ගම්භිර භාවය පිළිබඳ ව පැහුණු අය වෙති.
නමුත්, වර්තමානයෙහි තත්ත්වය මෙයට වඩා වෙනස් ය. උසස් පූජාර්භ උතුමන්ගේ නාමයෙන් බොහෝ
වටිනා දෑ පූජා කළ හොත් පින මහත් කර ගත හැකිය’ යි සිතා බොහෝ මිල අධික දෑ පූජාවන්
සඳහා තැබීම මෙකල පන්නය යි. එතරම්වත් අවබෝධයක් නොමැති තවත් පිරිසක් අනෙකාට දෙවැනි
වීමට ඇති නොකැමැත්ත නිසා අනෙකාගේ පින්කම් අන්ධානුකරණය කරනු දැකිය හැකි ය. එසේ ම,
ඇතැමෙක්, තමාගේ සමාජ තත්ත්වය, ඇති හැකි බව, තරාතිරම, පිරිස් බලය ආදිය පතළ කරනු
පිණිස සමාජයේ කිසිවකුටත් කළ නොහෙනා ආකාරයේ පින්කම් කරති.
මෙවැනි ක්‍රියාවන්හි නිරත වන්නන්ගේ සිතෙහි ක්‍රියාත්මක වන්නේ “ඉලක්කය සපුරා ගැනීමේ
අවශ්‍යතාවය” මිස සිදු කරන පූජාව පිළිබඳ ශ්‍රද්ධාව හෝ ගෞරවය හෝ නොවේ. එතුළින් ම,
ඔවුන්ගේ සිත මුළාවීමත්, මුළාවූ සිතින් යුතු ව ක්‍රියාකර බොහෝ අකුසල් රැස්කර
ගැනීමත්, නිවනෙහිත්, කුසලයෙහිත් ප්‍රමාදවීමත් සිදු වේ.
“දීමට දුෂ්කර දෙය” යන්න නිවැරදි ව විග්‍රහ කළ යුත්තේ සාමාන්‍ය ව්‍යවහාරය පරිදි නොව
ධර්ම ව්‍යවහාරය පරිදි ය. ධර්ම ව්‍යවහාරය පාදක වී ඇත්තේ “නිවන” පාදකවීමෙනි. එනම්,
තණ්හාව දුරුවන දිශානතියක් ඔස්සේ ය. එනයින් “දීමට දුෂ්කර වීම” යන්න නිවැරැදිව අරුත්
ගැන්විය යුත්තේ “අනෙකා සතු නොකිරීමේ වුවමනාව“ යනුවෙනි.
මිනිසා, තමා සතු ව පවතින ජීවි අජීවි වස්තූන් කෙරෙහි දක්වන ඇල්මෙහි ප්‍රමාණය
අවස්ථානුකූල ව අඩු වැඩි වේ. එක ම වස්තුව කෙරෙහි දක්වන ඇල්ම එක් අවස්ථාවකදී වැඩි වී
පැවතී, තවත් අවස්ථාවක දී අඩු වී තිබීමට පුළුවන.
කුසගින්න අධික අවස්ථාවක තමන්ගේ අනුභවය පිණිස ඇති ආහාරවේල කෙරෙහි ඇති ඇලීම බෙහෙවින්
අධික ය. එනම්, අනෙකාට, තම ආහාරවේල තබා ඉන් පිඬක් හෝ දීමෙහි වුවමනාවක් කොහෙත් ම නැත.
නමුත්, ආහාරපානයෙන් හොඳින් සන්තර්පණය වී ඇති අවස්ථාවක තවදුරටත් ආහාරපානයෙහි
වුවමනාවක් නොමැති හෙයින් ඒවා පිළිබඳ ඇති ඇලීම බෙහෙවින් අවම ය.
යම් වස්තුවකින් වැඩිපුර ප්‍රමාණයක් ඇතිවිට ද එම වස්තුන් සඳහා ඇති ඇලීම අවම ය.
ඇතැම්හු බොහෝ දෑ ඒකරාශි කොට, ඒවා නඩත්තු කිරීමෙන් සහ භාවිත කිරීමෙන් මානසික ව
වෙහෙසට පත් ව, එම වගකීම්වලින් නිදහස්වීමේ උපායක් වශයෙන් තමා සතු අතිරික්තය හෙවත්
තමාට නුවුවමනා ප්‍රමාණය තව කෙනකුට පරිත්‍යාග කිරීමට පෙළඹිය හැකි ය. තමා සන්තකයේ
නිවාස කිහිපයක් ඇති අයකුට ඉන් එක් නිවෙසක් පරිත්‍යාග කිරීම, එක ම නිවෙසක් ඇති අයකුට
එය පරිත්‍යාග කිරීමට වඩා පහසු වනු ඇත.
තමා සතු වස්තුවකින් අපේක්ෂිත උපයෝගීතාව නොලැබෙන විටෙකදී ඒ සඳහා ඇති ඇලීම තුනීව යයි.
ඉඩම් කැබැල්ලක් වුව ද, නුසුදුසු භූවිෂමතාවයකින් යුතු, විටෙක විකුණා දමන්නට මහන්සි
වනවාට වඩා “පරිත්‍යාග කිරීම” නාමයෙන් කවරකුට හෝ පවරා එම කරදරයෙන් නිදහස් වීම
පහසුවක් වනු ඇත.
ඉහත ආකාරයේ කිසිවක් “දුෂ්කර දානයන්” නොවන්නේ එම දාන වස්තු සම්බන්ධ ව දීමට පෙර සිට ම
තම සිතෙහි පැවති ඇලීම හෙවත් “අනෙකා සතු නොකිරීමේ වුවමනාව“ අවම හෙයිනි. තමාටත් එතරම්
වටිනාකමක් නොමැති යමක් අනෙකාට දෙන්නට සිතීම එතරම් දුෂ්කර කාර්යයක් නොවන නමුත්, ඒවා
මුදල් කිරීමෙන් ලැබිය හැකි සුළු ලාභයටත් ලෝභකම් නොකර ඉන් ප්‍රයෝජන ලැබිය හැකි අයකු
සොයා පරිත්‍යාග කිරීමට යොමුවීම පැසසිය යුතු ය.
නිවන්, පිණිස පාරමිතා පූරණය කිරීමට බලාපොරොත්තු වන අයකු විසින් පුහුණූු කළ යුතු
වන්නේ “දෙන්නට දුෂ්කර දෑ දීම” ය. කාම වස්තූන් කෙරෙහි පවතින තෘෂ්ණාව දුරු වන්නේ තමා
වැඩියෙන් ඇලුම් කරන දෑ දීම තුළිනි. එවැනි දානයක් පාරමිතාවක් වනවා සේ ම, එතුළින්
ගොඩනැඟෙන කුසල ශක්තිය ද බලවත් ය.
කොතරම් ආශ්චර්යජනක වුව ද, මෙවැනි ආකාර දානයක් දීම ඉතා අසීරු බව අත්දැකීමෙන් තමාට ම
දත හැකි ය. දීමෙහි ඇති අසීරු බව වැටහෙනුයේ දෙන්නට දුෂ්කර දෑ දෙන දා ට ය. දෙන්නට
දුෂ්කර දෑ දීමට සිත සකසා ගැනීම බෙහෙවින් අසීරු වන නමුත්, අවබෝධය සහ ප්‍රත්‍යවේක්ෂණය
සමඟ එවැනි දානයකින් ලද හැකි මානසික නිදහස පිළිබඳ ව තමාට ම වටහා ගත හැකි ය.
ටී. සේනානායක |