|
පොසොන් අමාවක පෝ දා
2026-07-14
මිනිසත්කම
දීර්ඝ සසර ගමනේ අනේකවිධ දුක් දොම්නස් විඳිමින් ආ මඟ අපි ඉතා දුර්ලභව ලද හැකි
මනුෂ්‍යාත්මයක් ලැබ සිටිමු. මෙලොව එළිය දුටු දා සිට මොහොතින් මොහොත ගෙවී, දින සති
මාස ගෙවී, අවුරුදු ගෙවී අපේ ආයුෂය ද ගෙවී අවසන් වෙයි. කෙනෙක් අල්ප ආයුෂ වෙති.
කෙනෙක් දීර්ඝායුෂ විඳිති. එහෙත් උපතත් සමඟ ම අපි මරණය උරුම කරගෙන සිටිමු. එය කොයි
මොහොතක කෙසේ සිදුවේ දැයි කිව නොහැකි ය. එහෙත් ඒ අවබෝධය ඇත්තෝ නම් අවම ය. මිනිසුන්
ලෙස ඉපිද කරන කියන බොහෝ දෙයින් එය වටහා ගැන්ම අසීරු නොවේ. ලෝභයෙන්, ද්වේෂයෙන්,
මෝහයෙන් රෝගාතුර වූ ඇතැම් කෙනෙකුගේ චර්යාව යක්ෂයකුට සමාන ය. තවත් සමහරෙක්
තිරශ්චීනයකුට සමාන ය. ඒ අනුවණයෝ ය. මිනිස්කමේ අගය නොදන්නෝ ය. ඔවුහු මේ ජීවිතය ද
වනසාගෙන පරලොව ද දුගතියට වැටෙති. සසර පුරාම අපමණ දුක් අනුභව කරති.
බුදුරජාණන් වහහන්සේ දේශනා කොට වදාළේ මනුෂ්‍යයකු ව උපන් කෙනෙක් නැවත මිනිස් ලොව
ඉපදීම ඉතාම කලාතුරකින් සිදුවන බව ය. බොහෝ දෙනෙක් මහ ගෙදරට යන්නා සේ මරණින් මතු සතර
අපායට වැටෙන බව ය. මේ අතරින් තිරිසන් ගත සත්වයින් විඳින අප්‍රමාණ දුක් අපි අනේක වර
දකිමු. එහෙත් තමන්ටත් සසර ගමනේ මෙවැනි තත්ත්වයකට පත්වෙන්නට සිදු වූයේ නම් යන බිය
ඇති කර ගන්නට සමත් වන්නෝ අල්ප ය. මිනිසා බොහෝ පාපකාරී ක්‍රියාවන්ට යොමු වන්නේ සසර
බිය නොදැකීම නිසා ය.
එහෙත් බෞද්ධයකු සුගතිය මිස දුගතිය උරුම කර ගන්නා කෙනකු නොවේ. ධර්මානුධර්ම මඟට
පිවිසෙන හෙතෙම කවර හේතුවක් නිසා හෝ දුගතිය, දුක් විපාක උරුම කරදෙන පාපයට නොඇලේ.
මිනිසකු ලෙස මනුෂ්‍ය ධර්ම පමණක් ම ජීවිතයට එක් කර ගනී.
සම්බුදු මඟ යන ඒ නැණැති පුද්ගලයා නිවැරැදි දෙය වැරැදි ලෙස දකින, වැරැදි දෙය
නිවැරැදි ලෙස දකින මිථ්‍යා දෘෂ්ඨි ඇත්තෙක් නොවේ.
වරද, වරද සේ දකින, නිවැරැදි දෙය නිවැරැදි ලෙස දකින සම්මාදිට්ඨි ඇත්තෙකි. ඒ නිවැරැදි
දැකීම ඔහු සුගතියට ගෙන යයි.
සතර අපායෙන් මිදී නැවත මිනිසත් බව ලබන්නට නම් පවින් වැළකී පිරිය යුතු පින් ක්‍රියා
දහයක් සම්බුද්ධ දේශනාවේ සඳහන් ය. ඒ දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම, ධර්ම දේශනා
කිරීම, ධර්මය ශ්‍රවණය කිරීම, පින්දීම, පින් අනුමෝදන් වීම, වැඩිහිටියන්ට ගරු බුහුමන්
දැක්වීම, සුදුස්සන්ට වතාවත් කිරීම හා නිතර සදහම් ශ්‍රවණය කොට සංඛත ධර්ම දැක
නිවැරැදි දැක්මක් ඇති පුද්ගලයකු වීම යන දස පුණ්‍ය ක්‍රියා ය.
ඒ පින් ක්‍රියාවන්හි නිරත වන පුද්ගලයාට ජීවිතය උසස් තැනකට නංවාලිය හැකි කුසලයන්
දහයක් හඳුන්වා දී තිබේ. පාසල් යන වියේ පටන් බෞද්ධ දරුවාට මේ දස කුසල් කට පාඩම් ය.
උත්සාහ කළ යුතු ජීවිතය පුරාම ඒ ගුණධර්ම ජීවිතයට ප්‍රායෝගික කර ගැනීමට ය. සරලව
කියනවා නම් තමන් ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීම ය. එය කෙනකුට පහසු නොවිය හැකි ය. එහෙත්
වීර්යය වැඩීමෙන් පුහුණුූ කර ගත හැකිය.
පරපණ නැසීමෙන් වැළකීම හා පණ ඇති සතුන් වෙත මෙත් කරුණා ගුණ ඇතිකර ගැනීම, අනුන්ගේ දෙය
සොර සිතින් නොගැනීම හා තමන් සතු දේ දෙන්නට හුරු දෑත් ඇතිව සිටීම, කාමයෙහි වරදවා
හැසිරීමෙන් වැළකීම හා කාමාදී සිතිවිලිවලින් බැහැරවීමට සිත පුරුදු කර ගැනීම, බොරු
කීමෙන් වැළකීම හා සත්‍ය කතා කිරීම, කේළමෙන් වැළකීම හා කේළම නිසා බිඳුණු පුද්ගලයන්
සමගි කරවීම, පරුෂ වචන නොකීම හා යහපත් වචන කතා කිරීම, හිස් වදන් නොදෙඩීම හා අර්ථවත්
වචන භාවිතය, නැවත ඉපදීමේ දැඩි ලෝභයෙන් කටයුතු නොකිරීම, ද්වේෂය තරහව උපදවා නොගැනීම
හා මෛත්‍රිය පුරුදු කිරීම, වැරැදි දැක්මෙන් වැළකීම හා සම්මා දිට්ඨියෙන් යුතු
පුද්ගලයකු වීම යන මේ දස කුසල් තුළ හික්මීමට, පුරුදු පුහුණු කිරීමට යම් කෙනකු දක්ෂ
වෙනවා නම් මේ ජීවිතය සේ ම පරලොව ද සුගතිගාමී වනු ඇත. මේ ජීවිතයේ අප මුහුණ දෙන
ප්‍රශ්න, ගැටලු, විසඳාගත හැකි අපූර්වතම ශක්තියක් මේ ගුණධර්ම තුළ අන්තර්ගත ය.
බෞද්ධකම යනු ඒ ගූණදහම් තුළ හික්මීම ය. |