[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඓතිහාසික උරුමයක මහිමය දීඝවාපිය

ඓතිහාසික උරුමයක මහිමය දීඝවාපිය

සො‍ළොස්මස්ථානවලින් එකක් වන දීඝවාපිය අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුවට ආසන්නව දීඝවාපි ග්‍රාමසේවා වසමේ සමන්තරය සහ අක්කරෙයිපත්තුව අතර පිහිටා තිබේ.

අම්පාර නගරයෙන් අක්කරෙයිපත්තු දක්වා දිවෙන මාර්ගයේ කිලෝ මීටර් 6ක් පමණ ගිය විට හමුවන වරිපතන්චේන හන්දියෙන් හැරී කිලෝ මීටර් 12ක් පමණ ගිය විට මෙම ස්ථානයට ළඟා විය හැකි ය.

මෙරට ඉදිව ඇති දාගැබ් අතරින් විශාලත්වයෙන් හතර වැනි ස්ථානය හිමි වන්නේ දීඝවාපි දාගැබටයි. අතීතයේ දී රුහුණු ජනපදයට අයත් ව තිබූ දීඝවාපිය දිග් වූ වැව, දිගා වැව, දීඝවාපිය ලෙස ජන ව්‍යවහාරයේ පැවතුණි.

මහා වංශයට අනුව දිගාවැව, දීඝවාපි මණ්ඩල, දීඝවාපිරට්ට, දිගාමඩුළු, දිගාවෑ, දිගැවැ මඩල ලෙස ද, සද්ධර්මරත්නාවලියට අනුව දිගාමඩුල්ල ලෙස ද මෙම ප්‍රදේශය ව්‍යවහාර වේ.

මහා වංශයට අනුව ක්‍රිස්තු පූර්ව 137 – 119 අතර කාලයේ දී සද්ධාතිස්ස කුමාරයා විසින් දීඝවාපි චෛත්‍ය සහ විහාරය කරවා ඇත. ජනප්‍රවාදයේ පැවත එන්නේ බුදු රජාණන් වහන්සේගේ නිය ධාතු වහන්සේ නිදන් කර දීඝවාපි දැගැබ සාදා ඇති බවයි. මෙම දාගැබ් භූමියෙන් හමුවී ඇති කුඩා ධාතු කරඬුවලට අනුව දීඝවාපි දාගැබ ද මුල් කාලයේ ඡත්‍රාවලිය සහිත ව නිමැවූවක් බවත්, ඒ අතර කලාත්මක වාහල්කඩ තිබූ බවත් තහවුරු වී තිබේ. ගරාවැටුණු බටහිර වාහල්කඩ සුන්බුන් අතර තිබී රන් කරඬු තුනක් සහ රන්පත් ඉරු සන්නයක් හමු වී ඇත. මෙම චෛත්‍යයට නැඟෙනහිරින් හමුවී ඇති බෙහෙත් ඔරුව එය පැරැණි වෙදහලකට සම්බන්ධ බවට සාක්ෂි සපයයි. විසිරී තිබූ ගල්කණු ද, පොකුණු ද ඇතැම් ස්ථානවල සෙල්ලිපි සහිත ගල්කණු ද අවශේෂ නටබුන් ලෙස සඳහන් කළ හැකි ය.

දීඝවාපිය පිළිබඳ ප්‍රථමයෙන් ම ඓතිහාසික තොරතුරු අනාවරණය වන්නේ බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනය පිළිබඳ තොරතුරුවලිනි. බුදුන් වහන්සේ තෙවැනි වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ කැලණිය, සමන්තකූටය සහ දිවාගුහාව යන ස්ථානවල නැවතී දිඝා වැවට වැඩම කළ බව දීප වංශයේ සඳහන් වේ. මහා වංශයේ එය සඳහන් වන්නේ ” සර්වඥ තෙම එතන්හි ධර්ම දේශනා කොට අහසට නැඟී සමන්කුළු මතුයෙහි පා සටහන් දැක්වූ සේක. සංඝයා සහිත වූ සේක් ඒ පර්වත පාදයෙහි සැපසේ දිවා විහරණය කොට දිඝා වැවට වැඩි සේක. ලෝකස්වාමි තෙම සංඝයා සමඟ වූ සේක් එහි චෛත්‍ය ස්ථානයෙහි වැඩ හිඳ ස්ථානය ගෞරවයට පැමිණීම පිණිස සමාධියට සම වත් සේක” යනුවෙනි.

සද්ධර්මාලංකාරයේ සඳහන් වන්නේ “සර්වඥයන් වහන්සේ භගවා ලෙන සිට රුහුණු ජනපදයට වැඩ දීඝනඛ චෛත්‍ය පිහිට වන්නා වූ ස්ථානයේ සපිරිවරින් සමාපත්තියට සමවැද මොහොතක් කල් වැඩහුන් සේක.” යනුවෙනි.

තව ද පණ්ඩුවාසුදේව රජුගේ බිසව වූ භද්දකච්චායනාගේ සොයුරන් අට දෙනෙක් ඉන්දියාවෙන් මෙහි පැමිණි බව ද, ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිය නම්වලින් ජනාවාස පිහිටුවා ගන්නා ලද බව ද මහා වංශයේ සඳහන් වේ. මෙම සොයුරන් අතරින් දීඝායු නම් කුමරා ඇති කළ ජනාවාසය දීඝායුගාම නම් වූ අතර, මෙය දීඝවාපිය බවට විශ්වාස කෙරේ.

මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ දී දීඝවාපි ප්‍රදේශය මානාභරණ රජු සහ සුගලා බිසවගේ බල ප්‍රදේශයක් ලෙස පැවති බව ද මහා වංශයේ සඳහන් වේ. දීඝවාපියෙහි ඇති වූ කැරලි මර්දනයට “එකල් හි මහ බලැති සියලු ඇමැතියෝ ද, ප්‍රධානීහු ද දිගා වෑ මඩුලු රට ගන්නට නික්මුණේ. “ යනුවෙන් මහා වංශයේ සඳහන් වේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු 18 වැනි සියවසේ “නඛ” චේතිය නම් ස්ථානයට පැමිණි බව මහා වංශයේ සඳහන් වන අතර, එය දීඝවාපිය ලෙස තහවුරු වී ඇත.

දීඝවාපි දාගැබේ වාහල්කඩ තිබූ කරඬුවක තිබී හමු වූ කණිට්ඨතිස්ස රාජ්‍ය සමයට අයත් රන්සන්නසට අනුව මෙම දාගැබේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසේ කණිට්ඨතිස්ස රාජ්‍ය සමය දක්වා දිවයයි. දීඝවාපි දාගැබ වරින් වර පිළිසකර කිරීම්වලට ලක් වූ බව ද පුරාවිද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි වී තිබේ.

මීට අමතරව ප්‍රතිමා ගෘහ, වාහල්කඩ, මල් ආසන, ක්වන්ධ බුද්ධ ප්‍රතිමා, නටබුන් ගොඩනැඟිලි, සිරිපතුල් ගල්, සඳකඩ පහණ, කොරවක්ගල්, පාදෝවන, ඡත්‍රගල්, පියගැටපෙළ, පැරණි පොකුණු, රෝහල් සංකීර්ණය, දාගැබ් ගොඩැලි, ප්‍රාකාර බැමි, කටාරම් ලෙන් රාශියක් ද මෙහි දැකගත හැකි ය.

පොසොන් අමාවක

ජූලි 13 සඳුදා අ.භා. 06.52න් අමාවක ලබා 14 අඟහරුවාදා අ.භා. 03.17න් ගෙවේ.
14 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]