[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උපසම්පදා විනය කර්‍මය කළුතරදී

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උපසම්පදා විනය කර්‍මය කළුතරදී

වසර නවයකට වැඩි කාලයක් ප්‍රමාද ව තිබූ මෙම කටයුත්ත ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක, අග්ගමහාපණ්ඩිත, කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ පාර්‍ශ්වීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහභාගීත්වයෙන් කළුතර බෝධි සමීප කාලනදී උදකුක්ඛේප සීමා මාලකයේ දී පැවැත්විණි.

මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ පාර්‍ශව දෙවිස්සෙහි ම සහභාගීත්වයෙන් පැවැත්වෙන උපසම්පදා විනය කර්‍මය කළුතර බෝධි සමීප කාලනදී උදකුක්ඛේප සීමා මාලකයේ දී මේ මස 09 වැනි දා සිට 22 වැනි දා තෙක් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය මත සිදුකිරීමට නියමිත ය. එම විනය කර්‍මයේ සමාරම්භය සනිටුහන් කරමින් පසුගිය 09 වැනි දා ප.ව. 2.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් රාජ්‍ය මහෝත්සවය පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ශාසන ඉතිහාසය තුළ අමරපුර නිකායට හිමිවන්නේ අතිශය ගෞරවණීය ස්ථානයකි.

විනයානුකූල භික්ෂු පරපුරක් ඇති කිරීමේ අරමුණින් වර්‍ෂ 1799 දී බෝධිසත්ත්ව ගුණෝපේත වැලිතර මහකරාවේ ඤාණවිමලතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ ජීවිත ආශාව හැරපියා බුරුම දේශයට වැඩම කොට මහාධම්මරාජාධිරාජගුරු ඤාණාභිවංස ධම්ම සේනාපති සංඝරාජයාණන් වහන්සේ වෙතින් ස්වර්ණගුහා නම් සීමාමාලකයේ දී මහාවිහාර පරම්පරාගත සුපරිසුද්ධෝපසම්පදාව ලබා ගත්හ. සඟරජතුමන් සමීපයෙහි ම සංඝකර්ම හා විනය කර්ම පිළිබඳ පරිචයක් ලබා ගත්හ. ඉන් අනතුරුව ඤාණවිමලතිස්ස ස්වාමීන් වහන්සේ 1802 දී ලක්දිවට වැඩම කොට එම වර්‍ෂයේ මැයි මස 15 වැැනි දා එනම් වෙසක් පුන් පොහෝදා බලපිටිය මාදුනදී උදකුක්ඛේප සීමාවේ දී බුරුමයෙන් වැඩම කළ අග්ගසාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ උපාධ්‍යාය කොටගෙන ප්‍රථම උපසම්පදා විනයකර්‍මය සිදුකර ලක්දිව අමරපුර සමාගම ස්ථාපිත කළේ ය.

මහමුහුද තරණය කර ගොස් උපසම්පදාව ලබා ගෙන ඒමේ වැඩපිළිවෙළ එතෙකින් නතර වූයේ නොවේ. බෝගහපිටියේ ධම්මජෝති, අත්තුඩාවේ ධම්මරක්ඛිත, කතලුවේ ගුණරතන, කපුගම ධම්මක්ඛන්ධ යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද බුරුම දේශයට වැඩම කර සුපිරිසිදු උපසම්පදාව ලබා ලක්දිවට වැඩම කර මුළුමහත් ශ්‍රී ලංකාද්වීපය පුරාම අමරපුර සමාගම ව්‍යාප්ත කළේ ය . එවක මුහුදුබඩ ප්‍රදේශ විශේෂයෙන් මිෂනාරීකරණය වෙමින් පැවතුණි. එම තත්ත්වය යම් පමණකින් හෝ වැළකී ගියේ අමරපුර නිකායික භික්ෂූන්ගේ සමාජ නායකත්වය නිසා ය. එසේ නොවන්නට මීගමුවේ සිට හම්බන්තොට තෙක් වූ ප්‍රදේශවල ඉරණම හාත්පසින් ම වෙනස් වන්නට ඉඩ තිබුණි. ආදි පුරුෂෝත්තමයන් වහන්සේ පස්නමගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරු ශාඛා ප්‍රශාඛා වශයෙන් පාර්ශ්ව විසිදෙකක් තෙක් අමරපුර සමාගම ව්‍යාප්තත්වයට පත් කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා සතරදිග්භාගයෙහි ම විහාරස්ථාන, පිරිවෙන් පාසල් ඇති කරමින් අප්‍රමාණ ලෝක ශාසනික සේවාවක් වර්තමානය තෙක් ම සිදු කරනු ලබයි.

ලක්දිව ප්‍රථම සිංහල බෞද්ධ පාසල වර්‍ෂ 1869 දී “ජිනලබ්ධ විශෝධක” නමින් ඇති කළ දොඩන්දූවේ පියරතනතිස්ස මහානාහිමි, පංචමහාවාදය සිදුකළ වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමි, ප්‍රථම ගුවන් විදුලි ධර්‍මදේශනාව සිදුකළ පැලෑනේ වජිරඤාණ මහනාහිමි, ප්‍රථම රාජකීය පණ්ඩිතෝපධාරී විදුරුපොල පියතිස්ස මහනාහිමි, නාගදීපය ගොඩනැඟූ රන්දොඹේ සෝමසිරි නාහිමි, සේරුවිල මංගල මහාසෑය ලොවට හෙළිකළ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහානාහිමි, ගිරිහඩුසෑ පින් බිම එළිකළ ගන්දර ආනන්ද නාහිමි, මෙරට සැදැහැ වඩන බෝධිපූජා ක්‍රමය ඇති කළ පානදුරේ අරියධම්ම හිමි ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ යතිවරුන් ද, ලක්දිව ධර්‍ම ශාස්ත්‍රෝන්නතිය වෙනුවෙන් අමිල මෙහෙයක් සිදුකළ මහාචාර්‍ය පොල්වත්තේ බුද්ධදත්ත, රේරුකානේ චන්දවිමල, බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය, මඩිහේ පඤ්ඤාසීහ, කොස්ගොඩ ධම්මවංස, හීනටියන ධම්මාලෝක යන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද අමරපුර නාමය ලෝක ප්‍රකට කළහ.

වසර දෙසිය විසිපහක අතීතය තුළ මෙන් ම වර්තමානයෙහි ද අමරපුර නිකායික ස්වාමීන් වහන්සේ දෙස, බස, රැස වෙනුවෙන් ඉටු කරන සේවය අතිමහත් ය. ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුතු ගුණගරුක භික්ෂූන් වහන්සේ පිරිසක් නිර්මාණය කර ගැනීමෙහි අරමුණින් බලපිටිය ප්‍රාචීන භික්ෂු විද්‍යාලය ආරම්භ කර දැනට කරගෙන යන වැඩපිළිවෙළ ද අගය කළ යුතු ය.

නිකාය භේදයකින් තොරව පැවිදි භික්ෂූන් වහන්සේ සියනමක් එහි ධර්මශාස්ත්‍රොද්ග්‍රහණය ලබයි. ශී‍්‍ර ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහාලේඛකාධිකාරී, රාජකීය පණ්ඩිත දර්‍ශනපති, බලපිටියේ සිරිසීවලි නාහිමිපාණන් වහන්සේගේ නායකත්වයෙන් යුතු ව, බුදුපුත් මාපිය සෙවණ, අමරපුර යති සුරක්ෂා, ධම්මවිචය, අමරපුර චිරරාත්‍රඥ, සම්භාවනා ආදී වැඩසටහන් රාශියක් මේ වන විට ක්‍රියාත්මක ව පවතී. පන්සලෙන් ගමට යන සංකල්පය යටතේ පසුගිය සමයේ සිදුවූ ස්වභාවික ආපදා අවස්ථාවල දී විපතට පත් මහජනතාව වෙනුවෙන් සහන සැලසීමට ද අප සංඝ සභාව කටයුතු කළ බව මෙහිදී සිහිපත් කළ යුතු ය.

“විනයො නාම සාසනස්ස ආයු” යන බුදුවදන අනුව විනය ශාසනයාගේ ආයුෂයයි. ඒ බව මැනවින් සිහිතබා ගත් ශ්‍රී ලංකා අමරපුර මහානිකායික සඟ පිරිස “සුඛා සංඝස්ස සාමග්ගී” යන බුදුවදන අර්ථවත් කරමින් වර්‍ෂ 1956 දී කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේ දී මුළුදුන් සංඝ සභාවේ දී සමස්ත අමරපුර සංඝ සභාව ලෙස ආරම්භ කළ එකමුතුව වර්‍ෂ 1966 දී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව ලෙස පුනර්ජීවය ලැබුවේ ය. සමගිදමේ තිර බව සනිටුහන් කරමින් 1990 දෙසැම්බර් මස 21, 22 දෙදින තුළ මහරගම වජිරඤාණ ධර්‍මායතනස්ථ උපෝසථාගාරයේ දී අමරපුර නිකායික පාර්‍ශවීය ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් ප්‍රථම උපසම්පදා විනය කර්‍මය සිදුකරන ලදී.

ඉන්පසු ද 2005, 2011, 2017 යන වර්‍ෂවලදී ද මෙම උපසම්පදා විනයකර්‍මය සිදුකර ඇත. 2022 වසරේ දී ද උපසම්පදා විනයකර්‍මය පැවැත්වීමට නියමිත ව තිබුණ ද රටේ ඇතිවී තිබූ වසංගත තත්ත්වය හා ආර්ථික ගැටලුව මැද එය කල් දමන්නට සිදුවිය. ඒ අනුව, වසර නවයකට වැඩි කාලයක් ප්‍රමාද ව තිබූ මෙම කටයුත්ත ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක, අග්ගමහාපණ්ඩිත, කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ පාර්‍ශ්වීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහභාගීත්වයෙන් කළුතර බෝධි සමීප කාලනදී උදකුක්ඛේප සීමා මාලකයේ දී පැවැත්විණි. මෙම විනයකර්‍මය සාර්ථක කර ගැනීම සඳහා අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාව, ශ්‍රී ලංකා රජය, කළුතර බෝධිභාරකාර මණ්ඩලය දක්වන සහාය මෙහි දී අගය කළ යුතු ම ය.

පොසොන් අමාවක

ජූලි 13 සඳුදා අ.භා. 06.52න් අමාවක ලබා 14 අඟහරුවාදා අ.භා. 03.17න් ගෙවේ.
14 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]