[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සිත සොයන සතුට කොතැනද?...

සිත සොයන සතුට කොතැනද?...

ඇතැම් අය සිතනවා, කියනවා, නිතර ම මුමුණනවා ‘අනේ මගේ සිතට සතුටක් නැහැනේ. මම කොතරම් ආශාවෙන් දෙයක් කළත්, අවසානයේ දී ඒ කිසිදු දෙයක සතුටක් නැහැ. මම ආශ්‍රය කරන අය නිසා මගේ සිතේ සතුට නැති වෙනවා’ නේ කියා.

ඒ වගේ ම ඇතැම් පිරිස් බලාපොරොත්තු වෙනවා අනාගතයේ මෙහෙම තැනකට ජීවිතය උසස් කර ගන්නවා, මේ මේ අරමුණු ඉටුකර ගන්නවා ආදී ලෙස. ඉලක්ක, බලාපොරොත්තු, වගේම පොරොන්දු වැනි බොහෝ දේ තබාගෙන අපි වැඩ කරනවා. එහෙත් ඒ හැම දේ ම ඒ ආකාරයෙන් ම වෙන්නේ නැහැ. බලාපොරොත්තු අහස උසට තිබුණත් ඒවා ඉටු නොවූ විට අපගේ සිතේ සතුට නැති වෙනවා. සිත කණස්සල්ලට පත්වෙනවා. මේ ලෝකයේ මොනවට ජීවත් වෙනවාද කියලා අපට සිතෙනවා.

මේ මනුස්ස ලෝකයේ ඉපදුණ අප කුඩා කාලයේ සිට ම සොයන්නේ සිතේ සතුටයි. පුංචි දරුවා සෙල්ලම් බඩු නිසා සතුටු වෙනවා . එතැන් පටන් ඔහුගේ වයස අනුව සිතේ සතුට වෙනස් වෙනවා. වැඩිහිටි වූ පසු ඒ පුද්ගලයා සියලු දේ කරන්නේ සිතේ සතුට රඳවා ගන්නයි. අධ්‍යාපන කටයුතු කරන්නේත්, රැකියා කරන්නේත්, විවාහ වෙන්නේත්, දරුවන් හදන්නේත්, ගේ දොර හදාගන්නේත් මේ හැම දෙයකින් ම සොයන්නේ සිතේ සතුටයි. සිත සතුටින් තබා ගන්න දිවා රෑ නො බලා වෙහෙසෙනවා. කැප වෙනවා. ඒත් සතුට, සැහැල්ලුව, සැනසීම අප බලාපොරොත්තු වූ ලෙස ලැබුණා ද කියලා මොහොතක් නතර වී සිතා බලමු.

සමාජය සමඟ ගනුදෙනු කිරීමේ දී ඇතැම්විට අපට සිතෙනවා, අසවලා නිසයි මගේ සිතේ සතුට, සැනසුම නැත්තේ කියලා. එසේ සිතමින් බාහිර කෙනකුට හෝ පිරිසක් දෙසට ඇඟිල්ල දිගු කරනවා. ඔවුන් මත තමාගේ ජීවිතය තබනවා. එය අපි අපට කර ගන්නා විශාල අනුවණකමක්

මේ ලෝකයේ කෝටි ගණන් මිනිසුන් විවිධ රටවල, විවිධ ජාතීන්ට අයත් ව, විවිධ ආගම් අදහමින්, විවිධ ගෝත්‍ර අදහස් ඇති ව ජීවත් වෙනවා. ඒ සියලු ම දෙනා, විවිධ අයුරින් ජීවත් වුණත් ඒ හැමට ම ඇස් දෙකක්, කන් දෙකක්, දිවක්, කයක් සමඟ මනසක් පිහිටා තිබෙනවා. ඒ සියලු ම දෙනා මිනිස් ලොව ජීවත්වන අය. ඒ කෝටි ගණන් මිනිසුන් අතරින් අප ඇසුරු කරන්නේ ඉතා ම සුළු පිරිසක්. ඒ සුළු පිරිස සමඟ හෝ සතුටින් ඉන්න අපට බැරි නම් මොනතරම් සතුටට කැමැති වුණත් එය රඳා පවත්වන්නට නොහැකි ය.

අපගේ නිවසේ සිටින්නේ ඉතා ම කුඩා පිරිසක්. ඒ අය සමඟ එක දිගට සතුටින් සිටි කලක් ඔබට මතක ද? පවුලේ සතුට අපට නො දැනීම අතුරුදන් වෙලා කියලා සිතෙනවා. ඒ ඇයි? සතුටින් ඉන්න බැරි ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. ඒවා ජීවිතයේ දුර්වලතා ලෙසත් හඳුන්වන්න පුළුවන්.

පළමු වැන්න නම්, අනෙකාගේ අගුණ නිතර දැකීමයි. ඔහු කෙ තරම් ගුණවතෙක් වුවත් ඔහු තුළ තිබෙන කුඩා අගුණය, අඩුපාඩුව නිතර සිහිවෙනවා. ඒ තුළ සිත බැස ගන්නවා. ඔහුගේ ගුණ දකින්නට, එය සිහි කරන්නට සිත කැමැති වෙන්නේ ම නැහැ.

ඒ වගේම සිතේ සතුට නැති කරන දෙවැනි කාරණය වන්නේ තමාට ඕනෑ ආකාරයට තමා ඇසුරු කරන අය ඉන්න ඕනෑ. කතාබහ කරන්න ඕනෑ. සිතන්න ඕනෑ. ගමන් බිමන් යන්න ඕනෑ ආදී වශයෙන් තමා කැමැති, තමා ආශා කරන සෑම දෙයක් ම අනෙක් පුද්ගලයාගෙන් බලාපොරොත්තු වීමයි. එවිටත් සිතේ සතුට නැති වෙනවා. අපට එකිනෙකාගේ වෙනස්කම් කෙරෙහි උපේක්ෂාවෙන් බලන්න පුළුවන් නම් එය විශාල පහසුවක් වගේ ම සිතේ සතුට ඇතිකර ගන්න හේතුවක් වෙනවා.

ඒ කාලයේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේ විවේකී ව කාලය ගත කිරීමට භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ගෙන, නගරයෙන් දුරස් ව කුඩා කුටි දෙකක් ඇති විහාරයක වාසයට ගියා.

මේ දෙනම වහන්සේ පිණ්ඩපාතය කරගෙන විහාරයට ඇවිත් දානය වළදා දහම් කතාවක නියැළී භාවනායෝගී ව කාලය ගත කළා. දිනක් දානය වෙලාවේ දී කිසිවෙක්ගේ රැකවරණයක් නොමැති පුද්ගලයෙක් විහාරයට ආවා. දාන වේලාව නිසා මහරහතන් වහන්සේ මේ පුද්ගලයාට ආහාර දුන්නා. කුස පුරවාගත් මොහු “මෙතැන සිටියොත් මට මහන්සි නොවීම කෑමට යමක් ලැබේවි” යැයි සිතා සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙත ගොස්, “පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට කරදරයක් නැත්නම් මම මේ විහාරයේ නැවතිලා ඔබ වහන්සේට ඇප උපස්ථාන කරගෙන ඉන්න ද?” කියා අසා සිටියා.

“හොඳයි උපාසක, ඔබට කැමැති කාලයක් මෙහි රැඳී සිටින්න” කියා තෙරුන් වහන්සේ වදාළා.

සති දෙක තුනක් ගතවුණා. මොහුට සිතෙනවා. “මේ දෙනම වහන්සේ අතර පුදුම සමඟියක් තිබෙන්නේ. තවත් කෙනකුට මෙහෙම කරුණාවක්, දයාවක් දක්වන්න මිනිසුන්ට පුළුවන් ද? මෙහි කුමන හෝ රහසක් තිබෙනවා. මම ඒ ගැන පරීක්ෂා කරන්න ඕනෑ කියන අනුකම්පා විරහිත සිතිවිල්ලක් මොහුගේ සිතේ ඇති වුණා. දිනක් මේ පුද්ගලයා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කුටිය ළඟට ආවා. දොරට තට්ටු කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ එළියට වැඩියා.

‘ඇයි උපාසක’

‘ස්වාමීනි, මම මේ දේ ඔබ වහන්සේට කියන්නේ කොහොමද කියලා කල්පනා කරමින් සිටියේ. ඔබ වහන්සේ වගේ සුන්දර සිතක් තිබෙන උතුමකුට අවැඩක් වෙනවට තිබෙන අකැමැත්ත නිසයි මම කියන්නේ.

“උපාසක ඔබට කියන්නට තිබෙන දෙයක් තිබෙනවා නම් කියන්න”

“ස්වාමීනි, ඔබ වහන්සේ සමඟ අනෙක් කුටියේ සිටින ස්වාමීන් වහන්සේ මට කිව්වනේ ඔබ වහන්සේගේ අගුණ. ඔබ වහන්සේ හරි ආඩම්බරයිලු. සෑම දෙයක් ම දන්නව වාගේ සිතාගෙන ඉන්නවා කියලා. මම කිව්වා, අනේ මට නම් එහෙම පේන්නේ නැහැ කියලා. ස්වාමීනි, ඔබ වහන්සේට හිතවත්කමටයි මම මෙහෙම කිව්වේ කියලත් කිව්වා. මෙය අසා සිටි සාරිපුත්ත මහරහතන් වහන්සේ.

“හොඳයි උපාසක, මම ඒ ගැන බලන්නම්. ඔබ දැන් විවේක ගන්න” කියා වදාළා.

මේ පුද්ගලයා අනෙක් දවසේ අපගේ මුගලන් මහරහතන් වහන්සේ වෙත ගොස් ඒ ආකාරයෙන් ම සාරිපුත්ත මහ තෙරුන්ගේ අගුණ කියා සිටියා. මොග්ගල්ලානයන් වහන්සේ ඉවසීමෙන් අසා සිටියා.

පසුදින සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට වදාළා “ආයුෂ්මත, මේ උපාසක දැන් මෙහි සිටියා ඇති කියලයි මට සිතෙන්නේ. අප ඔහුව පිටත්කර හරිමු. මුගලන් මහරහතන් වහන්සේත් එය අනුමත කොට වදාළා.

එහෙනම්, අපට තේරෙනවා සුන්දර, සිත් ඇති, සතුටු සිත් ඇති, අනෙකාට අනුකම්පා සිත් ඇති පිරිසක් මැද වුවත් අපගේ සිත අසුන්දර නම්, අනුකම්පා විරහිත නම්, අපට සතුටින් ඉන්න බැහැ කියලා. තමාගෙන් පරිබාහිර ව සුන්දර සතුටක් සෙවීම අපට වෙහෙසක් ගෙන දෙනවා. අප නිතර ම සතුට සෙවිය යුත්තේ තමා තුළින් ම යි.

එනිසා සිත සතුටින් තබා ගන්නට ලද දෙයින් සතුටු වීමට සිත පුරුදු කර ගන්න ඕනෑ. සාර්ථක ජීවිත ගත කරන මිනිසුන් දකිද්දී මුළු හදවතින් ම සතුටු වෙන පුරුද්දක් ඇතිකර ගන්නත් ඕනෑ. එසේ සතුටු වෙන සිතක් තිබෙන කෙනා ගොඩාක් දියුණුයි. එසේ දියුණු සිතක් ඇතිකර ගැනීම අපගේ සසර ගමනට පහසුවක් වෙනවා.

පොසොන් අමාවක

ජූලි 13 සඳුදා අ.භා. 06.52න් අමාවක ලබා 14 අඟහරුවාදා අ.භා. 03.17න් ගෙවේ.
14 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]