[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නෙලුවේ සුමනවංස නාහිමි ආගමික ශාස්ත්‍රීය මෙහෙවර

නෙලුවේ සුමනවංස නාහිමි ආගමික ශාස්ත්‍රීය මෙහෙවර

මනුෂ්‍යයකු ලෙස උපත ලබන හැම කෙනෙක් ම ළදරුවකු, ළමයකු, තරුණයකු, මැදිවයසේ අයකු, මහල්ලකු ලෙස ජීවිතයේ විවිධ අවස්ථාවලට පැමිණේ. ‘මන්දා බිඩ්ඪා ච වණ්ණා ච - බලා පඤ්ඤා ච හායනා, පබ්බාරා පවඤ්කා ච - මෝමූහ සයනා දස’ නමින් මිනිස් ජීවිතයක අවධි දහයක් පවතින අතර, නිලය, බලය, කාය ශක්තිය ආදි කිසිදු බලපෑමකින් මේ දස දසකය නවතාලිය නො හැකි ය. අභියෝග කිරීමට ද නො හැකි ය. එය ලෝක ස්වභාවය මෙන් ම පටිච්චසමුප්පාද ධර්මය ද වේ.

යමක් ඇති වූයේ නම් ක්‍රමයෙන් එය නැතිවී යයි. හෝමාගම-පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යායයන් වහන්සේ තනතුරේ වසර හතර හමාරකට අධික සේවා කාලයක් (2020-2025) සහිත ව විශ්වවිද්‍යාලයීය සේවා කාලය වසර තිස් දෙකක් සම්පූර්ණ කළ මහාචාර්ය නෙලුවේ සුමනවංස නාහිමියෝ පසුගිය ජුලි 03 වැනි දින විශ්වවිද්‍යාලයීය සේවයෙන් විශ්‍රාම ගියහ. ඒ නිමිති කොට විශ්වවිද්‍යාලයීය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයේ මූලිකත්වයෙන් හා පූර්ණ සංවිධානත්වයෙන් ‘සේවාර්චනෝපහාර’ නමින් උපහාර උත්සවයක් පසුගිය 02 වැනි දින පවත්වන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වර්තමාන මහෝපාධ්‍යායයන් වහන්සේ විනේතෘ මහාචාර්ය හෝමාගම ධම්මානන්ද නාහිමි, බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බැරගම සද්ධානන්ද හිමි, භාෂා අධ්‍යයන පීඨයේ පීඨාධිපති, මහාචාර්ය ගෝනදෙණියේ පඤ්ඤාරතන හිමි, පශ්චාද්් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති, මහාචාර්ය මොරගොල්ලාගම උපරතන හිමි, විශ්වවිද්‍යාලයීය තත්ත්වාරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වාව්වේ ධම්මරක්ඛිත හිමි, ආචාර්ය සංගමයේ සභාපති, මහාචාර්ය අලුත්ගම විමලරතන හිමි ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයත්, ලේඛකාධිකාරී මංජුල තල්ගහගොඩ, මූල්‍යාධිකාරී සුමේධ ගුණවර්ධන ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් සහභාගි වූහ. එම උත්සවය නිමිති කොට මෙම ලිපිය සම්පාදනය වේ.

පර්යේෂණ සහකාරවරයකු ලෙස 1994 දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සේවයට එකතු වන මහාචාර්ය නෙලුවේ සුමනවංස නාහිමියෝ ක්‍රමයෙන් කථිකාචාර්යවරයකු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු, මහාචාර්යවරයකු ලෙස වෘත්තීය ජීවිතයේ ඉහළම තනතුරටත්, අංශාධිපතිවරයකු, පීඨාධිපතිවරයකු හා ගෞරවාර්හ මහෝපාධ්‍යායයන් වහන්සේ ලෙස විශ්වවිද්‍යාල පරිපාලන සේවයේ ඉහළම තනතුරටත් පත්වන්නට තරම් භාග්‍ය සම්පන්න වූහ. කිසිදු අවස්ථාවක තනතුරු අපේක්ෂාවෙන් කටයුතු නොකළ උන්වහන්සේ ධර්මයෙන් හා විනයෙන් පෝෂණය වෙමින් කටයුතු කළහ. නිහතමානී වූහ. සිනහමුසු ව හැම අභියෝගයකට ම ඉවසීමෙන් මුහුණ දුන්හ. තනතුරු මත පදනම් ව කටයුතු නොකළ අතර, ධර්මයට අනුව පොදු යහපත පිණිස තීන්දු තීරණ ගත්හ. උත්සාහයෙන්, සිහිනුවණින්, කාය-වාක් සංවරයෙන් කටයුතු කළ බැවින් විරුද්ධවාදීන් හමු නොවුණහ. ආදර්ශ සම්පන්න වෙමින් අවස්ථාවෝචිත ව මිතභාණී වූහ. මෙවැනි උතුම් ගුණ දරන උන්වහන්සේට කිසිදු තරගයකින් තොරව ඒකමතික ව තනතුරු හිමි වුණහ. විශ්‍රාම දිවියට එළැඹෙන කථානායකයාණන් වහන්සේට ඒ පිළිබඳ ඇත්තේ නිහතමානී සතුටකි.

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව ග්‍රාමයේ දී 1961.01.20 වැනි දින උපත ලැබූ

කථානායකයාණන් වහන්සේගේ මවුපියන් වූයේ බී. එල්. ඩී. නන්දසේන මහතා හා සිරියාවතී විජේනායක මෑණියන් ය. ගාල්ල දිස්ත්‍රික්කයේ ඇඹළගෙදර කනිෂ්ඨ විද්‍යාලයෙන් පහ ශ්‍රේණිය දක්වා මූලික අධ්‍යාපනය හදාරා 1972දී පැවිද්දට පැමිණේ. වසර හතරක පමණ කාලයක් විහාරස්ථානයේ වත්පිළිවෙත්වල යෙදෙමින් එහි පුහුණුවත්, බණ දහම් පිළිබඳ මූලික දැනුමත් ලබා ගන්නා කථානායකයාණන් වහන්සේ දෙදියවෙල දේවසුමන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1976.01.06 වැනි දින කළුතර දකුණ ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානයේ දී උතුම් පැවිදි දිවියට එළැඹෙති. නිසි වයස් සම්පූර්ණ කළ කථානායකයාණන් වහන්සේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අතිඋතුම් මහානායක පදවිය හෙබවූ ලබුගම ශ්‍රී ලංකානන්ද මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් කෝට්ටේ රාජමහා විහාරයේ බද්ධ සීමාමාලකයේ දී අධිසීල සංඛ්‍යාත උතුම් උපසම්පදාව 1984 දී ලබා ගනිති. මූලික පිරිවෙන් අධ්‍යාපනය විහාරස්ථානයේ පිරිවෙනින් සම්පූර්ණ කරන කථානායකයාණන් වහන්සේ ප්‍රාචීන හා ප්‍රතිචීන උසස් අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් ව 1984 දී විද්‍යෝදය අවසාන පරීක්ෂණයෙන් සමත් වන අතර, එහි දී හික්කඩුවේ ශ්‍රී සුමංගල පාලි ත්‍යාගය, ශ්‍රී සුමංගල අනුස්මරණ ත්‍යාගය, ස්‍යාමරාජ ත්‍යාගය, රූපසිංහ ශිෂ්‍යත්වය, නීල් හේවාවිතාරණ සංස්කෘත ත්‍යාගය, සුජාතා හේවාවිතාරණ සිංහල ත්‍යාගය, ශ්‍රී ජිනරතන බෝධිරතන ශිෂ්‍යත්වය ඇතුළු ශිෂ්‍යත්ව හා ත්‍යාග දහසයක් ලබා ගැනීමට තරම් දක්ෂ වූහ. අව්‍යාජ ව හා අනලස් ව අධ්‍යයන කටයුතුවල යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම ත්‍යාග සහ ශිෂ්‍යත්ව හිමි වන අතර, ශ්‍රීමත් ජේ. ආර්. ජයවර්ධන ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිතුමා වෙතින් ඒවා ලබා ගැනීමට ද භාග්‍යමත් වූහ.

තව ද ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ප්‍රාචීන අවසාන විභාගයට 1984 දී පෙනී සිට ඉහළින් ම සමත් වෙමින් යූ. ඩී. මාපා ත්‍යාගය සහිත ව රාජකීය පණ්ඩිත උපාධිය ලබා ගැනීමට ද හැකි විය. පිරිවෙන් අධ්‍යාපනය ලබන අවධියේ ම ත්‍රිපිටකය පිළිබඳ පුළුල් දැනුමක් ලබා ගැනීමේ දැඩි කැමැත්තෙන් පසු වූ කථානායකයාණන් වහන්සේ ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාවේ විභාගවලට ඉදිරිපත් ව 1983 දී ත්‍රිපිටකාචාර්ය උපාධිය ද හිමිකර ගනිති.

1984 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් ව සංස්කෘත විෂයයෙන් ප්‍රථම පංති සාමර්ථයක් සහිත ව ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය ලබා ගන්නා කථානායකයාණන් වහන්සේ 1989 දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් භාතිය ඩී. ඩයස් ධර්මශේඛර ත්‍යාගය සහිත ව ශාස්ත්‍රපති උපාධිය ද හිමි කර ගනිති.

1993 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාද් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවත්, 1997 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියත් ලබා, අනතුරුව 2005 දී ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද හිමි කර ගනිති. මෙලෙස අධ්‍යාපන ජීවිතයේ සියලු සුදුසුකම් නිසි කල ලබා ගැනීමට කටයුතු කොට තිබේ. 1987 දී රුසියාවට වැඩම කරන කථානායකයාණන් වහන්සේ ඉගෙනීමෙහි අගය වඩාත් හොඳීන් අවබෝධ කර ගනිමින් රුසියාවේ මොස්කව් නගරයේ පිහිටි චිරප්‍රසිද්ධ පුස්කින් ආයතනයෙන් රුසියන් භාෂාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් ද සාර්ථක ව නිමා කරති.

වසර ගණනාවක් පුරා ලබා ගන්නා ලද ප්‍රාචීන, ප්‍රතිචීන හා ත්‍රිපිටකය පිළිබඳ ඥාන සම්භාරය මතු පරපුර වෙනුවෙන් දායාද කිරීමටත්, ශාසනාභිවෘද්ධිය පිණිසත් යෙදවීමට අදහස් කරන කථානායකයාණන් වහන්සේ විද්‍යෝදය පිරිවෙනට කෘත ගුණ දක්වමින් එහි පරිවේණාචාර්යවරයකු ලෙස (1985-1989) පළමු සේවය සලසති. මේ අතර ගුරු හිමියන්ගේ ඉල්ලීම්වලට අවනත වෙමින් කළුතර දකුණ ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානයට වැඩම කොට පරිවේණාධිපති ලෙස ද (1990-1994) සේවය කොට තිබේ. 1994 දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සහකාරවරයකු ලෙස නව පත්වීම් ලැබුව ද ආගමික හා අධ්‍යාපනික කටයුතු නොපිරිහෙලා ඉටු කිරීමට වගබලා ගත් කථානායකයාණන් වහන්සේ විද්‍යෝදය පිරිවෙනෙහි ආරාධිත පරිවේණාචාර්යවරයකු, කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයනාංශයේ සංස්කෘත විෂය පිළිබඳ ආරාධිත කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කළහ. තව ද 1993 වර්ෂයේ විද්‍යෝදය පිරිවෙනෙහි අධ්‍යයන හා ශිෂ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස ඉමහත් සේවයක් සිදු කොට තිබේ. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය සේවා කාලය තුළ දී සිංහල අධ්‍යයනාංශයේත්, පාලි අධ්‍යයනාංශයේත්, ඉංග්‍රීසි අධ්‍යයනාංශයේත් වැඩ බලන අංශාධිපතිවරයකු ලෙස ද කටයුතු කොට ඇති අතර, පාලක සභා සාමාජිකයකු, විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයේ සභාපතිවරයකු හා ලේකම්වරයකු, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශකවරයකු, ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරිකවරයකු වශයෙන් ද තනතුරු හොබවමින් ශිෂ්‍ය ප්‍රජාවටත්, පරිපාලනයටත් අතිමහත් සේවයක් ඉටුකොට විශ්වවිද්‍යාලයීය සේවයෙන් ඉසුඹු ලැබූ මහාචාර්ය නෙලුවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේට තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නීරෝගී ප්‍රීතිමත් විශ්‍රාම දිවියක් වේවා‘යි ප්‍රාර්ථනා කරමු.

පොසොන් අමාවක

ජූලි 13 සඳුදා අ.භා. 06.52න් අමාවක ලබා 14 අඟහරුවාදා අ.භා. 03.17න් ගෙවේ.
14 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]