 කායික මානසික පීඩා අවම කරන සතිය
බිබිලේ ධම්මසිරි හිමි
ජීවත් වීමේ ද අප ඉරියව් හතරක් පවත්වයි. මෙම ඉරියව් මනා සිහියෙන් පවත්වන්නේ නම් අපි
වර්තමානය තුළ සජීවී ව ජීවත් වන්නෙමු. ඔබ ඇවිදින විට ඇවිදින බව වැටහෙන්නේ කෙසේ දැයි
අවධානයෙන් සිටින්න. ඉඳගන්නා විට, නිදාගන්නා විට හිටගෙන ඉන්නා විට, ඔබට ඒ බව
දැනෙන්නේ කෙසේ දැයි සිහිය පවත්වන්න. එවිට ඔබගේ සිත මැරුණ හෝ ගෙවී ගිය අතීතය වෙත හෝ
නොපැමිණි අනාගතය වෙත හෝ නොපිහිටා තමන් සමඟ සිත රැඳී සිටීමට පටන් ගනීවි.
උදේ මුහුණ කට සේදීමට සූදානම් වන අවස්ථාව සිහියට ගන්න. දත් මැදීමට ගන්නා බුරුසුවේ
හැඩය හා පාට ඔබ හඳුනාගෙන එය අතට ගන්නා විට එහි කිසියම් බරක් හා තද ගතියක් දැනෙනවා
දැයි බලන්න. දන්තාලේපය දකින ඔබ එය අතට ගත් බව වැටහෙන්නේ කෙසේ දැයි අත්දකින්න.
දන්තාලේප ස්වල්පයක් බුරුසුව මතට වැටෙන අයුරු ඔබ දකී. දත් මදින විට නහයට සුවඳ, දිවට
රසය දැනේ දැයි බලන්න. දත් බුරුසුව දත්වල ගැටෙන විට එහි හඬ ඔබට ඇසේවි. විදුරුමස්වල
කෙඳී වදින විට ඔබට දැනෙන්නේ කුමක් දැයි නිරීක්‍ෂණය කරන්න.
ජල කරාමය අතින් අල්ලා කරකවන ඔබ දිගින් දිගට ම සතිමත් වීමේ දී මෙතෙක් නොදැනුණ දේ
දැනෙන්න පටන් ගත්විට ඔබට යම්කිසි සතුටක් දැනේවි.
ඔබගේ සිත ඔබත් සමඟ ඉන්නා හැම මොහොතක ම කුසල් රැස් වේ. එවිට ඔබට දැවිලි, තැවිලි,
ආතතිය, චිත්ත පීඩා, කායික පීඩා, විවිධ අසහන, ශෝක කිරීම්, නුරුස්සන බව, ඊර්ෂ්‍යාව
වැනි නරක සිතුවිලි බැහැර වීමට පටන් ගනීවි. එවිට ඔබට මෙතෙක් නොලැබුණ විවේකයක්,
නිවීමක්, සැනසීමක්, සතුටක් දැනෙන්නට පටන් ගනී. එවිට ඔබේ කායික හා මානසික පීඩාව අවම
වේ.
බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අනුපුබ්බ ක්‍රියා, අනුපුබ්බ පටිපදා ආදි වශයෙන්
අනුපූර්ව ප්‍රතිපදාවකට අනුව මෙම පුහුණුවීම් කළ යුතු යි. සරල ව ගැඹුරකට යන මෙම
ප්‍රතිපදාව ඉතාම විචිත්‍ර ය. ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් වනු ඇත. දරුවන්ට
සතිමත් ව බත් කන හැටි, ඇහුම්කම් දෙන හැටි, පොත් කියවන හැටි, වැඩිහිටියන්ට ගරු කරන
හැටි, වන්දනා කරන හැටි, හොඳ වචන කතා කරන හැටි කියලා දෙන්න. එවිට ඔවුන්ගේ පුංචි සිත
එක අරමුණක ඒකාග්‍ර වනු ඇත. එහි ආනිසංස වශයෙන් ඔවුන් ගුණ ගරුක අය බවට පත් වේවි.
බෝ නොවන රෝග උත්සන්න වීමට ප්‍රධාන වශයෙන් අසතිමත් වීම බලපා ඇත.
වැඩ කරන කාර්යාලය තුළ වැඩ ගොඩ ගැසී ඇති බවත්, එනිසා විවේකයක් නැති බවත් බොහෝ දෙනා
පවසති. මෙය බාහිර ප්‍රශ්නයක් ලෙස ඔබ හිතුවාට එය එසේ නොවේ. සති සම්පජඤ්ඤය හෙවත්
සිහිනුවණින් වැඩ කිරීමට දක්‍ෂ වන්නේ නම් එම වැඩ සමූහය සතුටින් නිම කිරීමට ඔබ දක්‍ෂ
වන්නේ ය. තරහව, කලබල ගතිය නොඉවසීම, අතීතය හා අනාගතය ගැන සිතමින් එම වැඩවල යෙදීම
වදයක් වන්නේ ය. ඔබ සතිය පුරුදු කරන්නේ නම් විවේකයක් ද ඒ තුළ ගොනු වන්නේ ය. මෙය
තර්කයට ගෙන බැලීම තුළින් එහි යථාර්ථය හසු නොවේ. සතිය වඩන විට ඔබට ඔබගේ දුර්වලකම
හසුවේ. එවිට ඔබ තුළ යම් වැඩ කොටසකට ඇති වන අකැමැත්ත තුළ සතුට හසුවනු ඇත. උදාහරණයක්
ලෙස අකැමැති පුද්ගලයකු සිටීම ඔබට විශාල වදයකි. ඔබ එවිට සතිමත් ව නුවණින් යුතු ව
කල්පනා කර බලන්න. එම පුද්ගලයාගේ හොඳ එක ගුණයක් හෝ ගැන සිතා ඔහු තුළ තිබුණ අයහපත්
ගුණ අනූනවය ගැන නොසිතන්නට ඔබ දක්‍ෂ නම් පැවැති අවුල එතකින් අවසන් වන්නේ ය. එය
තර්කයට නොගෙන සතිමත් විය යුතු කරුණකි.
සියලු ධර්මයන්ට සතිය ප්‍රධාන ය. සතිය පුරුදු පුහුණු කරන බෞද්ධ ශ්‍රාවකයාට නිවන
දක්වා ම ගමන් කළ හැකි මාර්ගයක් බුදු දහමෙන් හඳුන්වා දී තිබේ. “සතර සති පට්ඨානය” ලෙස
නම් කර ඇති එක ම මාර්ගය වැඩීමට ඔබට හැකියාව ඇත. ඒ සඳහා අදාළ කල්‍යාණ මිත්‍රයා ඔබට
හමු වී ඇත. පරියංක භාවනාව, සක්මන් භාවනාව හා එදිනෙදා භාවනාව ලෙස පහසුව සඳහා කොටස්
තුනකට වෙන් කර ඇති මෙම ප්‍රතිපදාව තුළ ඔබගේ මනස ප්‍රගුණ කරන්න. එදිනෙදා ඉතා සාර්ථක
ව කළ හැකි මෙම වටිනා ප්‍රතිපදාව අත්නොහැර දරු මල්ලන් සමඟ ඉතා සතුටින් එය වඩන්න.
සතිය නමැති ප්‍රබල ත ම කුසලය වැඩෙන විට ඔබගේ පැරණි සියලු අකුසල් දුර්වල වන බව
බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. |