[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ධර්මානුකූල ජීවිතය විනයානුකූල ය

ධර්මානුකූල ජීවිතය විනයානුකූල ය

යථාපි පුප්ඵ රාසිම් හා - කයිරා මාලා ගුණේ බහු
ඒවං ජාතේන මච්ඡේන - කත්තබ්බං කුසලං බහුං

දක්ෂ මල්කරුවකු හොඳ ම මල්වලින් ලස්සන මල් මාලාවක් ගොතනවා සේ යහපත් ධර්මතාවලින් තමන්ගේ ජීවිතය නමැති මල් මාලාව සකස් කරන මෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ‍.

සම්බුදු තෙමඟුල සිහිකරමින් වෙසක් පුන් පොහොය සැමරීමේ දී උන් වහන්සේ අපට දේශනා කර ඇති වටිනා ආචාර ධර්ම සිහි කිරීම, ගිලිහී ගිය සදාචාර සම්පන්න ජීවිතය නිර්මාණය කර ගැනීමට අවැසි පරිසරය සකස් කරයි. නූතනයේ බොහෝ පිරිසක් යහපත් දේ නරක විදිහටත්, නරක දෑ යහපත් විදියටත් දකිමින් ජීවත් වන ආකාරය දකින විට දැනෙන්නේ සහකම්පනයකි.

මේ ගහකොළ අපට අයිති ඒවා බව බොහෝ අය සිතති. එය මුළාවකි. මේ ගහකොළ අපට පමණක් අයිති දෙයක් නොවේ. මිනිසා පරිසරයේ එක් කොටසක් පමණි. බුදුරජාණන් වහන්සේ උත්පත්තියේ දී ද, බුද්ධත්වයේ දී ද, පරිනිර්වාණයේ දී ද මේ බව ඔප්පු කළ සේක. මිනිසා යනු සොබාදහමේ විශිෂ්ට නිර්මාණයකි. ඔහු පරිසරයේ රිද්ම රටා හඳුනාගැනීමට සමත් වන්නෙකි. එහෙත් ඔහුට පරිසරයට අභියෝග කළ නොහැකි ය.

භාවමය හා බුද්ධිමය යනුවෙන් දෙඅංශයක් මිනිසා සතු ය. කරුණාව, මෛත්‍රීය, සෙනෙහස ආදී කාරණා භාවමය ලක්ෂණ සමඟ බැඳී ඇති අතර, ප්‍රඥාව දැල්වීම බුද්ධිමය තලයට අයිති ය. බුදුන් වහන්සේ නිරන්තරයෙන් ම ධර්මය දේශනා කළේ ප්‍රඥාවන්තයන්ට ය.

පඤ්ඤාවන්තස්සායං ධම්මෝ

නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස

මිනිසා බුද්ධියෙන් මෙන් ම සාරධර්මවලින් ද සන්නද්ධ වූවෙකි. අනෙක් සතුන්ට ආත්මයක් තිබුණ ද ආධ්‍යාත්මයක් නැත. ඒ නිසා ම මිනිසා ජිව විද්‍යාත්මක වශයෙන් මරණයට පත්වුව ද සංස්කෘතිකමය වශයෙන් විනාශයට පත් නොවේ. ඒ ආධ්‍යාත්මය හේතු කොට ගෙන ය. ආධ්‍යාත්මික සංවර්ධනය සම්බන්ධයෙන් කරුණු දැක්වූ අතිවිශිෂ්ටතම ශාස්තෘවරයාණන් වහන්සේ නම් බුදුරජාණන් වහන්සේ ම ය. බෞද්ධයාගේ අවසාන පරමාර්ථය නිවන ය. එම අරමුණට යාමට නම් මෙලොව ජීවිතය යහපත් කර ගත යුතු ම ය. ඒ සඳහා ජනප්‍රිය බුදුදහමෙන් මිදී ප්‍රායෝගික බුදු දහම ස්පර්ශ කළ යුතු ම ය. බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වා දී ඇත්තේ තමන් මුල්කොට සිතන ධර්ම ක්‍රමයකි. එනම් අත්තූපනායික ධම්ම පරියාය යි. අපි ජීවිතයට ප්‍රිය වෙමු. මරණයට අකැමැති වෙමු. දඬුුවමට බිය වෙමු. සැපට කැමති වෙමු. දුක පිළිකුල් කරමු. එසේ නම් අප වැනි ම සජීවි සියලු මනුෂ්‍යයෝ වගේ ම සතා සිවුපාවෝ ද එසේ වේ යැයි සිතීමට බෞද්ධයන්ට පමණක් නොව සියලු මිනිස් වර්ගයාට ම හැකියාව තිබිය යුතු ය.

ගිහි ඔබ කාමභෝගි ජීවිත ගත කරයි. ඉඳුරන් පිනවීමෙහි නිරත වෙයි.

බුදුරජාණන් වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කොට නැත. එහෙත් අභ්‍යන්තර ශික්ෂණයකින් යුක්ත ධර්මානුකූල ජීවිතයක් ගත කළ යුතු ය. සෑම ධර්මානුකූල ජීවිතයක් ම විනයානුකූල වේ. ශික්ෂණය, විනයානුකූලභාවය, හැදියාව, ශීලය පැවිදි අයට පමණක් නොව ගිහියන්ට ද අත්‍යවශ්‍ය වේ.

වෙසක් පුර පසළොස්වක

මැයි 30 සෙනසුරාදා පූ.භා. 12.00න් පුර පසළොස්වක ලබා 31 ඉරිදා අ.භා. 02.17න් ගෙවේ.
30 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මැයි 30 

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]