
නිරාමිස ප්‍රීතිය
ආචාර්ය
බොරලැස්ගමුවේ පේමරතන හිමි
බොජ්ඣංග යනු බෝධි + අංග යන පද දෙක එක් වී සෑදුණු වචනයකි.
බෝධි යන වචනය සමූහාර්ථ පදයකි. නමුත් බොජ්ඣංග යනුවෙන් යොදා ඇති මෙම මාතෘකාවට උචිත
තේරුම් ලෙස, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහය, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන
පුද්ගලයා යනුවෙන් ගත හැකි ය.
නිවන ප්‍රත්‍යක්ෂ කිරීමට බාධා පමුණුවන ස්වභාවයන් දුරු කිරීමට බෙහෙවින් උපකාර වන්නේ
බොජ්ඣංග ධර්මයෝ ය.
බොජ්ඣංග ධර්ම හෙවත් නිවන් මඟට යොමු කරවන ධර්ම නමැති රත්න හත භාවිත කරන පුද්ගලයා
ලෝකෝත්තර මාර්ගයෙහි දිළින්දකු නොවන බව ‘සත්තන්නං ඛෝ භික්ඛවේ බොජ්ඣංග රතනානං
භාවිතත්තා බහුලීකතත්තා අද්දළිද්දෝති වුච්චති’ යනුවෙන් බුදු හිමියන් දේශනා කර ඇත.
බුදු දහමෙහි ඉගැන්වෙන ලෞකික ධර්ම මාර්ගයෙහි රූපාවචර, අරූපාවචර ධ්‍යාන ලැබීමට හා
ලෝකෝත්තර මාර්ග ඵල ධර්මාවබෝධයට බොජ්ඣංග ආර්ය ධර්ම වැඩීම සිදු කළ යුතු වේ.
බොජ්ඣංග ධර්ම හත අතරින් පීති සම්බොජ්ඣංගය යනු බොජ්ඣංග ධර්ම මාර්ග වඩමින් නිර්වාණයට
පිවිසීමේ ක්‍රියාවලියෙහි යෙදී සිටින ආර්ය යෝගාවචරයාගේ සිත පිනවන්නා වූ ප්‍රීතිය යි.
සරල ලෙස ගතහොත් ප්‍රීතිය යනු සතුටයි. සොම්නසයි. එය පරම ධනයක් ලෙස ද ධර්මයේ විග්‍රහ
වේ. ‘සන්තුට්ඨි පරමං ධනං’ යනුවෙන් එය දක්වා ඇත.
ප්‍රීතිය සත්ත්වයන්ට මහත් වූ මිහිරක් ලබා දෙයි. එය මනෝභාවයකි. ‘සුඛ කාමානි භූතානි’
යනුවෙන් එය ධර්මයේ විග්‍රහ වේ. ඒ නිසා ම ප්‍රීතිය ලැබූ තැනැත්තා නැවත නැවතත්
ප්‍රීතිය ලැබීමට කැමති වෙයි. එය ම සමහර විටෙක පෘථග්ජනයා කරදරයක වැටීමට ද හේතු වෙයි.
ඒ අනුව ප්‍රීතිය, ආර්ය ප්‍රීතිය සහ අනාර්ය ප්‍රීතිය ලෙස ද වර්ග කළ හැකි ය.
රූපාදි අරමුණුවල ගැටී ලෝභ, ද්වේෂාදි කෙලෙස් අවුස්සාගෙන කටයුතු කිරීම අනාර්ය
ප්‍රීතිය යි. එය සසර දීර්ඝ වීමට, නිවනින් ඈත් වීමට හේතු වේ. චූල ගෝපාලක සූත්‍රයට
අනුව පුද්ගලයකු සතුටු විය යුත්තේ නිවන අරමුණු කොට ගෙන ය. ඒ බව දක්වා ඇත්තේ ‘බහුලා
ඛේමං පත්තේන භික්ඛවේ’ යනුවෙනි.
අයෝනිසො මනසිකාරයෙන් යුතු ව ප්‍රීතිය පරිහරණය කළොත් පුද්ගලයා පරිහානියට ද පත් විය
හැකි ය.
එය ම අපායගාමී වීමට ද හේතුවක් විය හැකි ය. ඒ නිසා ප්‍රීතිය යනු කවරේදැයි බුද්ධිමත්
ප්‍රජාව වශයෙන් අප නිවැරැදි ව අවබෝධ කර ගත යුතු ය. ඒ අනුව ප්‍රීතිය යනු කවරේදැයි
කොටස් දෙකක් යටතේ අවබෝධ කර ගත හැකි ය.
සාමිස ප්‍රීතිය සහ නිරාමිස ප්‍රීතිය
සාමිස ප්‍රීතිය යනු භවභෝග සම්පතින් ආඪ්‍ය ව ධන ධාන්‍යයෙන් පිරිපුන්, යසසින් සපිරුණු
ජීවිතය යි.
එසේ ම පැවිදි පිරිස් වුව ද චීවර, සේනාසන ආදියෙන් පිරිපුන් ජීවිත ගත කිරීමට යොමුවීම
සාමිස ප්‍රීතිය යි.
මෙය නිවන අරමුණු කරගත්තක් නොවේ. බුදු දහමට අනුව ‘අඤ්ඤාහි ලාභුපනිසා අඤ්ඤා නිබ්බාණ
ගාමිණි’ යන ලාභ උපයන සාමිස ප්‍රීතියට වඩා නිර්වාණයට හේතු වන නිරාමිස ප්‍රීතිය අගය
කොට ඇත. නිරාමිස ප්‍රීතිය යනු බුද්ධාදි ආර්යයන් වහන්සේ සතු ගුණ පිළිබඳ ආවර්ජනාවෙන්
සිත තුළ ඇති වන ප්‍රීතිය යි. සසර අසරණ නොවීමට අවශ්‍ය, ධර්ම ඥානය ලැබීමට අවශ්‍ය
කරුණු සම්පාදනය වේ නම්, එය ද නිරාමිස ප්‍රීතියකි.
මෙසේ නිරාමිස ප්‍රීතියට හෙවත් ප්‍රීති සම්බොජ්ඣංගයට හේතු කරුණු එකළොසක් අටුවාවෙහි
දක්වා ඇත- ‘ඒකාදස ධම්මා පීතිසම්බොජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති’ යනුවෙන් විග්‍රහ කර
ඇත. ඒ කරුණු පහත දැක්වේ.
බුද්ධානුස්සති - බුදුගුණ නැවත නැවත මෙනෙහි කිරීම. ධර්මයට අනුව බුදුගුණ වර්ණනා කිරීම
ඉතා අපහසු ය. ඒ බුදුගුණ අනන්ත බැවිනි. කල්පයක තරම් කාලයක් බුදුගුණ ගැයුව ද කල්පය
අවසන් වන නමුත් බුදුගුණ ගයා අවසන් කළ නොහැකි බව ධර්මයේ දැක්වේ. මේ බුදුගුණ සියල්ල
කැටි කොට නව අරහාදි බුදුගුණ දක්වා ඇත. මේ ගුණ අර්ථ වශයෙන් දැන ඥාන සම්ප්‍රයුක්ත ව
සිහිපත් කිරීම හෝ තමන්ට වැටහෙන ලෙස ඒ ඒ ගුණ සරල ව තේරුම් ගෙන සිහිපත් කිරීම හෝ
ප්‍රීති සම්බොජ්ඣංගය උපදවා ගැනීමට හේතු වෙයි.
ධම්මානුස්සති - දහම් ගුණ නැවත නැවත මෙනෙහි කිරීම
සංඝානුස්සති - සංඝයාගේ ගුණ නැවත නැවත මෙනෙහි කිරීම
සීලානුස්සති - තමන් විසින් පුරුදු කරනු ලබන, පුරනු ලබන සීල මොන තරම් පවිත්‍ර ද
යනුවෙන් සිතා සතුටු වීම.
චාගානුස්සති - තමාගේ ධනය ත්‍යාග හෙවත් දන් දීමේ ගුණය සිතා සතුටු වීම. දානයේ විපාක,
දානයේ ආනිසංස සහ එහි ඇති සුන්දරත්වය ගැන සිතමින් සතුටු වීම
දේවතානුස්සති - දිව්‍ය තලවල ඇති සැපත පිළිබඳවත්, දේවත්වයට පැමිණීමට තමා පූරණය කළ
ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා ආදි ගුණ ධර්ම පිළිබඳවත් නැවත නැවත මෙනෙහි
කරමින් සතුටු වීම
උපසමානුස්සති - තමාගේ සන්සුන් කෙලෙසුන් පිළිබඳ නැවත නැවත සිහිපත් කිරීමෙන් සතුටට
පත්වීම. එනම් රාග ද්වේෂාදි කෙලෙසුන් තුනී වී ඇති අයුරු පිළිබඳ මෙනෙහි කිරීමෙන්
සතුටට පත් වීම.
ලුඛපුග්ගලපරිවජ්ජනතා - රළු පුද්ගලයන් ආශ්‍රය නොකිරීමෙන්, ඒ පිරිස් බැහැර කිරීමෙන්
සිතට ඇති වන ප්‍රීතිය.
සිනිද්ධපුග්ගලසේවනතා - මෘදු මොළොක් ගති ඇති පුද්ගලයන් ආශ්‍රය කිරීමෙන් ලැබෙන
ප්‍රීතිය.
පසාදනීයසුත්තන්තපච්චවෙක්ඛණතා - ප්‍රසාදයට හේතු වන, ධර්මයට සමීප වන සූත්‍ර ධර්ම
මෙනෙහි කරමින් සිත තුළ ඇති වන ප්‍රීතිය.
තදධිමුත්තතා - පීති සම්බොජ්ඣංගයෙහි ම නැමුණු සිත් ඇති ව කටයුතු කිරීම යන කරුණු පීති
සම්බොජ්ඣංගය ප්‍රගුණ කිරීමට හේතු වෙයි.
පොදුවේ ගත් කල ප්‍රීතිය සැම දෙනාට ම කැමැත්ත ඇති කරන ධර්මතාවකි. ඒ අතර සාමාන්‍ය
ජනයා ප්‍රීතියට හේතු වන කරුණු ලෙස දකින්නේ අඹු - දරු, නෑ - මිතුරු ආදින් හා ගරු-
නම්බු ආදි තනතුරු වේ. නමුත් නිර්වාණගාමී මාර්ගයට පිවිසුණු යෝගාවචරයා ඉහත කාමාදි
සම්පත් දකින්නේ නිස්සාර දේ ලෙසට ය. නින්දේ දී දකින සිහින ලෙසට ය. ගිනිඅඟුරු වැනි
භයානක දේ ලෙසට ය. පිළිකුල් සහගත ලෙසට ය.
මේ අනුව නිර්වාණ අධිගමයට පිවිසෙන යෝගාවචර පුද්ගලයා කාමයේ ආදීනවය, නිස්සාරත්වය,
බියකරු බව, පිළිකුල් බව හා අනිත්‍යතාව දැක සතුටු වේ. එය ප්‍රීති සම්බොජ්ඣංගයට හේතු
වෙයි. මේ නිරාමිස ප්‍රීතියයි. ඒ ආධ්‍යාත්මික ප්‍රීතියකි. ඒ පීතිය සුඛ සහ ඒකග්ගතා යන
ධර්ම මාර්ගයට ද හේතු වේ. සන්සි¼දීම මෙන් ම විදර්ශනා ඥානයට එය හේතු වෙයි. මෙලෙස
ප්‍රීතිය, බොජ්ඣංග ධර්මයක් ලෙස වර්ධනය කර ගැනීමෙන් එකොළොස් ආකාරයේ ප්‍රීතිය වර්ධනය
කර ගැනීමෙන්, නූපන් පීති සම්බොජ්ඣංග ඉපදීම ද, උපන් පීති සම්බොජ්ඣංගය වැඩීමට හැකියාව
ද ලැබෙන්නේ ය. |