[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නිර්වාණගාමී සිව්මඟ නුවණ

නිර්වාණගාමී සිව්මඟ නුවණ

සති යන පාලි භාෂාමය වචනයේ අරුත සිහිය යන්න යි.

එහි අරුත වැඩිදුරටත් විස්තර කරන ආචාර්යවරු ‘සරණං සති’, සිහි කිරීම සතිය යැයි කියති. අරමුණක් ඇති සැටියෙන් සිහිපත් කිරීම සති නමින් සැලකෙන බව ඒ අර්ථ විග්‍රහයන්ගෙන් වැඩිදුරටත් කියවෙයි. සති චෛතසිකය සතිපට්ඨානය, සතින්ද්‍රිය, සතිබල, සම්මාසති යන තැන්වල ද යෙදේ. බොජ්ඣංග ගැන විස්තර කිරීමේ දී යොදා ඇත්තේ සති සම්බොජ්ඣංග යනුවෙනි.

සතිය ආරක්ෂක සෙබළකුට, කලණ මිතුරකුට, භාණ්ඩාගාරිකවරයකුට සමාන කොට විස්තර කර තිබේ. දොරටුපාලයා අනවශ්‍ය කිසිවකුට ඇතුළු වන්නට ඉඩ නොදෙයි. කල්‍යාණ මිත්‍රයා ද තම හිතවතාට පාප මිත්‍රයන්ගේ ඇසුරට යෑමට ඉඩ නො දෙයි. භාණ්ඩාගාරිකවරයා ද තම වගකීම යටතේ ඇති රන්, මිණි, මුතු ආදී ඉතා වටිනා භාණ්ඩ විනාශ වන්නට ඉඩ නොදී සුරක්ෂිත ව රැක බලා ගනී. පොළොවේ රියන් අටක් යට සිට වූ ඉන්ද්‍රඛීලයක් නගරයේ දොරටුව ශක්තිමත් කරන්නේ යම් අයුරකින් ද, එමෙන් සතිය අරමුණ ස්ථිර ව පිහිටුව යි. ඇසූ කියූ දෑ සිතේ ස්ථිර ව පිහිටුවයි. එහෙයින් සම්මා සතිය සිත සමඟ පහළවන ශෝභන චෛතසිකයක් කොට සැලකෙයි. සුචරිත ධර්ම සපුරාලීමෙන් හා විදර්ශනා මාර්ගයෙන් නිපදවා ගත යුතු නිර්වාණය අවබෝධ කර ගැනීමට සතිය අගනා උපාය මාර්ගයෙකි.

තමන්ගේ කටයුතුවල දී, රැකීරක්ෂාවල දී, ගමන් බිමන්වල දී, කතා බහේ දී සිහියෙන් යුතු ව කළ යුතු ය. එසේ කිරීමෙන් කටයුතු සාර්ථක කර ගත හැකි ය. එහෙත් ඒවා සති සම්බොජ්ඣංගයට අයත් නොවේ. එසේ වනුයේ බොජ්ඣංග නාමයෙන් ගැනෙන්නේ විශේෂ තේරුමකින් නිසා ය. මේ වචනය සන්ධි විසන්ධි වශයෙන් වෙන් කර ගත් විට ‘බෝධි + අංග‘යි සිටී. එයට සං උපසර්ගය යොදා ගත් විට එයින් විශේෂ අර්ථයක් ද ලැබෙයි. මෙහි යෙදී ඇති බෝධි යන්නෙහි තේරුම කුමක්ද?

“බෝධි වුච්චති චතුසු මග්ගේසු ඤාණං, චතුමග්ග ඤාණං” සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ගවල දී ලැබෙන ඥානය බෝධිය යි. මග්ග යන්නෙහි අරුත ඒ බෝධිය ලබා ගැනීමට උපකාර වන මාර්ග යන්නයි. මෙහිලා සති සම්බොජ්ඣංගය නමින් සැලකෙන්නේ මනා සිහිය යි. යහපත් සිහිය යි. එනම් නිර්වාණගාමී සිව්මඟ නුවණ යි. එවිට මෙහි අර්ථය වනුයේ නිර්වාණාවබෝධය ලැබීමට හේතු වන ‘මනා සිහිය’ යන්න යි.

සාමාන්‍ය වශයෙන් සිතට පහළ වන ප්‍රමාද පාක්ෂයක් ඇත. එනම් සිත ප්‍රමාදයට හෙළන, අවුල් කරන කෙලෙස් සමූහය යි. එනම් අවිද්‍යාව, මිථ්‍යාදෘෂ්ටිය, පඤ්චනීවරණ ආදී කෙලෙස් සමූහය යි. කෙනකුගේ සිත පහත හෙළන, වැඩ නවත්වන, ගෙන යන වැඩ පිළිවෙළට බාධා කරන යම්කිසි සිතුවිලි ඇත්නම් ඒ සියලු ම සිතුවිලි ප්‍රමාද ගණයෙහි ලා සැලකේ. ඒ අයුරින් ප්‍රමාදයට හේතු වන කෙලෙස් රැසක් ඇත. මේ සති සම්බොජ්ඣංගය නිසා ඒ කෙලෙස් රැස ඉවත් වෙයි. බැහැර කිරීම සිදු වෙයි.

ඒ ඉවත් කිරීමත් සමඟ ම, බැහැර කිරීමත් සමඟ ම තවත් කාර්යයක් ඉටු වෙයි. එනම් පුද්ගලයාගේ අප්‍රමාද ගුණය වර්ධනය වීම යි. යම්කිසි භාජනයක අපජලය ඇතොත් එය ඉවත් කර අලුත් පිරිසිදු ජලය දමන්න, අර අපිරිසිදු ජලය ඉවත් වෙයි. අපිරිසිදු ජලය ඉවත් වෙනවා වගේ සිතට සම්බන්ධ වන මේ කෙලෙස් ද මේ සතිය නිසා ඉවත් වෙයි. වටිනා ගුණ රාශියක් සිත අභ්‍යන්තරයේ වැඩෙයි. සති සම්බොජ්ඣංගය වශයෙන් සිදුවන මේ කාර්යය මැනවින් තේරුම් ගත යුතු ය.

සති සම්බොජ්ඣංගය වචනයෙන් ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නැත. එම කාර්යයන් දෙක මුදුන් පැමිණෙන ආකාරයෙන් සතිය තමා තුළ වර්ධනය කර ගත යුතු ය. එනම් ප්‍රමාදයට හේතු වන කෙලෙස් විද්වංසනය කිරීම හා අප්‍රමාද ගණයෙහි ලා සැලකෙන ගුණධර්ම වර්ධනය කර ගැනීම යි. ඒ අයුරින් ක්‍රියාත්මක වන විට ප්‍රමාදයට හේතු වන කෙලෙස් ඉවත් වෙයි. අප්‍රමාදයට හේතුවන ගුණදහම් එහි අරක් ගනී. සිත පිරිසිදු වෙයි. මේ තත්ත්වය ක්‍රමයෙන් දියුණු වෙමින් ගොස් සතර මඟපල ලැබීමට එය මහෝපකාරී වෙයි.

සති සම්බොජ්ඣංගය ඉපදීමට හා වැඩීමට හේතු වන ධර්ම හතරක් ඇත. එනම්, සති සම්පජඤ්ඤය, මුට්ඨස්සති පුග්ගල පරිවජ්ජනතාව, උපට්ඨිත සති පුග්ගල සෙවනතාව හා තදධි මුත්තතාව යන්නයි.

සති සම්පජඤ්ඤය නමින් සැලකෙන්නේ සිහිය සමඟ ඇති වන මනා දැනීම යි. ඒ දැනීම සාත්ථක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ යනුවෙන් සිවු ආකාර වෙයි. සියලු කටයුතු මනා සිහියෙන් කළ යුත්තේ කෙසේද? ඒ මෙසේ කළ යුතු ය.

ඉදිරියට යාමේ දී ත්, ආපසු හැරී බැලීමේ දී ත් නුවණින් දැන කරයි.

ඉදිරිය බැලීමේ දී ත්, අනුදිසා බැලීමේ දී ත් නුවණින් දැන බලයි.

අත්පා හැකිලීමෙහි දී ද, දිගු කිරීමෙහි දී ද, නුවණින් දැන කරයි.

සඟල සිවුර හා පාත්‍ර දැරීම නුවණින් දැන කරයි.

අනුභව කිරීමේ දී ත්, පානය කිරීමේ දී ත්, නුවණින් දැන කරයි.

මළ මුත්‍රා පහ කිරීමේ දී නුවණින් දැන කරයි.

සිටීමේ දී, හිඳීමෙහි දී, නිඳීමෙහි දී, නිදිවැරීමෙහි දී, කතා කිරීමේ දී, කතා නොකිරීමේ දී නුවණින් දැන කරයි.

මන්දබුද්ධික, මුළා වූ සිහි නුවණ ඇති පුද්ගලයන් ඇසුරින් දුරු කරයි.

එළඹ සිටි සිහිය ඇති පුද්ගලයන් සමඟ ඇසුරු කරයි.

සතර ඉරියව් පැවැත්වීමෙහි දී සති සම්බොජ්ඣංගය උපදවා ගැනීමට, එයට නැමී පැවති චිත්ත වේගයෙන් යුතු බව තදධි මුත්තතාව යි.

මෙය උට්ඨාන වීර්යය නො වේ. ඒ සමඟ ම එකට යැවිය යුතු ඵලාපේක්ෂාවෙන් යොමුවිය යුතු කැමැත්ත ය. ඒ කැමැත්ත නොයෙක් ප්‍රභේද සහිත යි. මෙයින් කත්තුකම්‍යතා හා කුසලච්ඡන්දය අපේක්ෂිත ය. දාන, සීල, භාවනාදියෙහි යෙදීම පිණිස සිතෙහි හට ගැනෙන කැමැත්ත, බලාපොරොත්තුව කුසලච්ඡන්දය යි. මෙහි දැක්වෙන තදධිමුත්තතාව සත්ත බොජ්ඣංග පහළවීම පිණිස සපුරාගත යුතු අංගයකි. ඒ ඒ තැන්වල දී මේ නයින් කෙසේ නමුත්, සත්ත බොජ්ඣංග උපදවා ගැනීමට සතර ඉරියව්වෙහි ක්‍රියා කළ යුතු ය. කුසලච්ඡන්දය වීර්ය සමඟ ගමන් කරවිය යුතු ධර්මතාවක් බව මහාසිව නම් තෙරුන්ගේ අපදානයෙන් පැහැදිලි වෙයි.

මහාසිව තෙරුන් වහන්සේගේ අවවාදයෙහි පිහිටි තිස් නමක් පමණ ශිෂ්‍ය භික්ෂූහු රහත් වූහ. එහෙත් ආචාර්ය මහාසිව ස්ථවිරයන් වහන්සේ පුහුදුන් බිමෙහි ම සිටින බව දැනගත් ශිෂ්‍ය රහතන් වහන්සේ නමක් උන්වහන්සේ සංවේගයට පැමිණවූහ. එබැවින් කිහිප දිනකින් රහත් වී ශිෂ්‍ය රහතුන් වෙත එන්නෙමි’ යි හුදෙකලාව වනයට ගොස් භාවනා කරන්නට වූහ. උන්වහන්සේ විසින් දෙඇසින් කඳුළු වැගිර වූ වාර අනන්ත යි. මෙසේ වුවත් බලාපොරොත්තුව අතරමඟ නතර නොකොට ඵලය ලැබෙන තෙක් ම, මහත් වීර්යයෙන් බණ භාවනා කොට තිස් වසකට පසු රහත් භූමියට පත් වූ බව එම කතාවේ සඳහන් වේ.

වෙසක් පුර පසළොස්වක

මැයි 30 සෙනසුරාදා පූ.භා. 12.00න් පුර පසළොස්වක ලබා 31 ඉරිදා අ.භා. 02.17න් ගෙවේ.
30 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මැයි 30 

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]