
ප්‍රබුද්ධ චින්තනය
අවදි කරවන
දින තිහක ඇරඹුම
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
භාරතීය ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට අනුව අහසේ සඳ ගමන් කරන මාර්ගය කොටස් විසි හතකට බෙදා ඇත.
ඒවා නක්ෂත්‍ර හෙවත් නැකත් ලෙස හැඳීන්වේ.
එයින් එකක් පාලියෙන් විසාඛා ලෙසත්, හෙළ බසින් විසා නැකත ලෙසත් නම් කෙරේ. විහිද යන
ආලෝකය හෝ පුඟල් වන ප්‍රභාව හෝ යන අරුත් එහි ඇත. බෞද්ධ සම්ප්‍රදාය තුළ මෙම විසා නැකත
අතිශය වැදගත් වන්නේ බුදුන් වහන්සේගේ ජීවිතය හා බැඳුණු වැදගත් සිදුවීම් තුනක් නිසා
ය. එනම් අප කවුරුත් දන්නා බුදු උපත, බුදුබව හා පිරිනිවන යි. වෙසක් යන වචනය සෑදෙනුයේ
ඉහත කී විසා යන නැකත මුල්කොට ගෙන හෙයින් වෙසක් යන පදය තුළ දැන ගත යුතු බොහෝ දේ ඇත.
බෞද්ධ සන්දර්භය තුළ සිට විමසන විට වෙසක් යන්නෙන් සංකේතවත් වන දාර්ශනික අරුතක් ඇත.
එනම් විසා නැකත තුළ නැතහොත් වෙසක් සඳ කිරණත් සමඟ අපට ළඟා කර ගත හැකි වැදගත් දේ
පවතී.
අවිද්‍යාවේ අඳුර බිඳීම, මිනිස් සිත ප්‍රභාවත් කිරීම, ප්‍රඥාලෝකය ලබා ගැනීම
හා නිවීම හෝ සැනසිල්ල හෝ වෙත ගමන් කිරීම යන ගැඹුරු ආධ්‍යාත්මික අර්ථ රැසක් විසා
නැකතින් ගම්‍ය වේ. එහෙයින් වෙසක් යනු තවත් හුදු දවසක් හෝ සඳක් හෝ අහසේ නැකතක් පමණක්
නොව මිනිස් සිතේ නිවීම වෙත ළඟාවීමට දොරටුවක් විවෘත කළ බුද්ධාලෝකයේ ද සංකේතයකි. සෑම
වසරක ම උදාවන වෙසක් දිනය මිනිස් ප්‍රජාව විසින් හඳුනාගත යුත්තේ එය තම ආධ්‍යාත්මය
පිබිදවීමට පහළ වූ දිනයක් ලෙසිනි.
අප වෙසක් දිනය සමරනුයේ බොහෝ විට වෙසක් පහන් දැල්වීම, තොරණ ඉදිකිරීම, දන්සල්, වෙසක්
කලාප, සැදැහැ ගීත ගායනා ආදිය සිදු කිරීමෙනි. බුදුරදුන් කෙරෙහි හදවතෙහි පිරි
භක්තියෙන් එලෙස ආමිස පූජාවෙන් බුදුන් පිදීමෙහි කිසි වරදක් නැත. එහෙත් බුදුන් වහන්සේ
තමා පුදන්නේ නම් ප්‍රතිපත්තියෙන් ම පිදීම වැදගත් බව බුදු මුවින් ම වදාළහ. එනිසා
හරවත් අරුතින් එකී බුදුන් පිදීම සිදු කරනුයේ කෙසේ දැයි වටහා ගැනීම සුදුසු ය. වරක්
බුදුන් වහන්සේ හසරැලි නඟමින් අවිචාරවත් ලෙස හැසිරුණු විශාඛාව සමඟ සිටි පිරිසකට මෙසේ
වදාළහ. ලෝකය එකොළොස් ගින්නකින් දැවෙමින්, තිබියදී අඳුරෙන් වැසී සිටින තෙපි කුමක්
නිසා සිනාසෙවු ද? ආලෝකයක් නොසොයන්නේ කුමක් නිසා ද?” යනුවෙනි.
වෙසක් පුන් පොහෝ දිනය හා සබැඳෙන ආලෝකය ඉහත කී පරිදි අවිද්‍යාවේ අඳුර බිඳීම, මිනිස්
සිත ප්‍රභාවත් කිරීම, ප්‍රඥාලෝකය ලබා ගැනීම හා සිතේ නිවීම සඳහා යොදා ගන්නේ කෙසේ
දැයි සිතිය යුතු ය. ආලෝකය ලබා ගැනීමට අඳුර පළවා හැරිය යුතු ය. වෙසක් සඳ කිරණින් අප
වසා සිටි අඳුර බිඳිනුයේ කෙසේ ද? ඒ සඳහා අප තුළ පවතින සීලයේ අඳුර, සමාධියේ අඳුර,
ප්‍රඥාවේ අඳුර නැසිය යුතු ය.
අනුන්ට හිංසා කිරීම, වෛර කිරීම, අසත්පුරුෂකම් කිරීම හා සබැඳී අඳුරු චේතනා පාලනය
කිරීමෙන් සීලයේ ආලෝකය අපට ලබා ගත හැකි ය. එසේම තම සිහිය පවතින ආකාරය නිබඳ මෙනෙහි
කිරීමෙන් එම අවිචාරවත් සිත වසා සිටි අඳුර නැසිය හැකි ය. එසේම එමඟින් සමාධියේ ආලෝකය
උදාකර ගත හැකි ය. තව ද අප වෙසෙන ලෝකය සෑදී ඇත්තේ කැඩෙන, බිඳෙන, නැසී යන, කිසිදා සදා
නොපවතින මූල ද්‍රව්‍යයන්ගෙනි. එහෙත් වික්ෂිප්ත මනස වැළඳගත් අඳුර නිසා ඒවායේ අනිත්‍ය
බව, දුක්ඛ බව හා අනාත්ම බව අපට දැකගත නොහැකි ය. මනස සමාධිගත කොට එකී සංස්කාරයන්ගේ
සැබෑ ගතිය වටහා ගැනීමෙන් ඇතිවන ප්‍රඥාවේ එළියෙන් අපගේ ජීවිත ප්‍රභාවත් කළ හැකි ය.
වෙසක් සඳෙන් මෙන් ම වෙසක් කූඩු, තොරණ, තෙල් පහන් වැට, විදුලි පහනින් ආලෝකවත් කෙරෙන
අප වටා ලෝකයෙන් සතුටු වීමට වඩා අප ඇතුළත පවතින ලෝකය ආලෝකවත් කිරීම ම අප විසින් කළ
යුතු වන්නේ ය. එය බුදු වදන ඉටු කිරීමකි. අවිද්‍යාවේ අඳුර මුළුමනින් ම දුරු කිරීමෙන්
විද්‍යාවේ ආලෝකය උපදී. අප වසාගත් මායාව අප විසින් ම තේරුම් ගත යුතු ය. විශේෂයෙන්
මෙකල ස්මාර්ට් ෆෝන්, සමාජ මාධ්‍ය, කෘත්‍රිම බුද්ධිය, වීඩියෝ ගේම් හා ඩිජිටල් වේදිකා
ආදිය නිසා අපගේ මනස හා සතිය මනාව නොපිහිටයි. අසතියෙන් ම එම කෘත්‍රිම උපාංගවලට අප
හැසිරවීමට ඉඩ හරියි. එනිසා ම ස්වාධීන බුද්ධිය වෙනුවට කෘත්‍රිම බුද්ධිය අපව
හසුරුවයි. මෙය ඉතා වැරැදි මාවතකි. මෙය අවිද්‍යාවකි. එය ම අන්ධකාරයකි. නිදසුනක් ලෙස
එකී තාක්ෂණික මෙවලම්වලට අප සිතන පතන ආකාරයේ නිර්මාණාත්මක යමක් සැණෙකින් සකසා දිය
හැකි ය. එහෙත් අපගේ කුසගින්න නිවිය හැකි ද? දුක වේදනාව නැති කළ හැකි ද? එසේ නොහැකි
නම්, එහි ඇති යථාර්ථය කුමක් ද? යථාර්ථය අතහැර අයථාර්ථය වැළඳගත් කළ බුදුන් වහන්සේ
වදාළ සදාතනික ආලෝකය සත්ත්වයාට අහිමි ව යනු ඇත.
සැබැවින් ම බුදු දහම අඳුර දුරැලීම සඳහා ය. ආලෝකය උදාකිරීම සඳහා ය. සිද්ධාර්ථ සත්‍ය
ගවේෂකයාණෝ බුදුබවට පත් මොහොතෙහි පළ කළේ ආලෝකෝ උදපාදි (ආලෝකය පහළවිය) යනුවෙනි. එනිසා
වෙසක් දිනය සත්‍ය දකින නුවණේ දීප්තිය වැඩි දියුණු කිරීම සඳහා ඉලක්කගත කළ යුතු නොවේ
ද? එනිසා ම සැබෑ වෙසක් ආලෝකය ලබා ගැනීමක් වන්නේ සිතේ කරුණාව, ජීවිතයේ සදාචාරය,
චින්තනයේ ප්‍රඥාව, සමාජයේ මනුෂ්‍යත්වය හා සතිමත්බවින් කටයුතු කිරීම මඟිනි.
වර්තමානයේ අප ජීවත්වන්නේ සංක්‍රාන්තික අවධියක ය. ලෝකයේ සිදුවන තාක්ෂණික විප්ලව
හේතුවෙන් ස්වභාවිකත්වය මිනිසාගෙන් ගිලිහෙයි. ස්වභාවික උපත්, ශාරීරික වෙනස්කම්,
ලෙඩවීම්, මරණ, එක්වීම්, වෙන්වීම්, ලැබීම්, සංවේදීතා වෙනුවට අස්වභාවික උපත්, කායික
වර්ධන, ලෙඩවීම්, මරණ, එක්වීම් හා වෙන්වීම් යනාදියට මිනිසා ශීඝ්‍රයෙන් භාජනය වෙමින්
පවතී. මේ නිසා මිනිස් ප්‍රජාවකට දුලබ ව හිමි වන මහඟු දහමක උරුමකරුවන් වන අප මේ
පිළිබඳ සවිඤ්ඤාණික විය යුතු ය. වෙසෙසින් ම මතු පරපුර අවිදු අඳුරින් මුදා යහපතෙහි
පිහිටුවිය යුතු ය.
තවත් විධියකින් කිවහොත් වෙසක් පුන් පොහෝ දිනය යනු මිනිසාගේ අභ්‍යන්තර ආලෝකය අවදි
කරවන ධර්ම ම ය ජාගරණයකි. එනම් මිනිසා අවිද්‍යාව, අසත්‍ය සහ අසාර ජීවන රටාවන්ගෙන්
අවදිවී, ධර්මය අනුව ජීවිතය නැවත දකින්නට ඇතිවන අභ්‍යන්තර පිබිදීමකි. මෙය අමතක
නොකරන්න. ජාගරණය යනු නින්දෙන් ඇහැරීමයි. බුදු දහම අනුව සැබෑ නින්ද වන්නේ ලෝභයට
වහල්වීම, ක්‍රෝධයෙන් ජීවත්වීම, මෝහයෙන් අන්ධවීම හා ජීවිතයේ සත්‍ය නොදැන සිටීමයි.
බුද්ධ යනු ප්‍රබුද්ධ නැතහොත් අවදි වූ තැනැත්තා ය. ධර්ම ම ය ජාගරණයෙන් හෙවත්
නින්දෙන් අවදිවීමෙන් සිදුවන්නේ ජීවිතයේ අනියත බව වැටහෙන හා ආශාව සහ සතුටෙහි එකම මඟ
නොවන බව වැටහෙන විට ය. තම සිත තමා විසින් ම නිරීක්ෂණය කිරීමට පුරුදු වන කල්හි ය.
එසේම කරුණාව හා මෛත්‍රිය මිනිස්කමේ හදවත බව අවබෝධ වන විට සහ මම යනු අස්ථිර,
මිථ්‍යාමය සංස්කාරයන්ගේ එකතුවක් බව අවබෝධ වූ කල්හි ය. එබැවින් වෙසක් යනු හුදු
සංස්කෘතික උත්සවයකට වඩා මිනිසා තුළ මනුෂ්‍යත්වය, සදාචාරය, උතුම් ගුණ ධර්ම සහ
ප්‍රබුද්ධ චින්තනය යළි අවදි කරවන දින තිහක ඇරඹුමක් ලෙස වටහා ගැනීම සුදුසු ය. |