[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පන්සිල් ආරක්ෂා කිරීම ශ්‍රාවකයාගේ ගුණාංගය යි

පන්සිල් ආරක්ෂා කිරීම ශ්‍රාවකයාගේ ගුණාංගය යි

තිසරණ ගතවීමෙන් ආර්ය බෞද්ධයකු වූ සත්පුරුෂයා විසින් ඉටු කළ යුතු ප්‍රධාන යුතුකම පන්සිල් සමාදන් වීම ය. තමා විසින් ම කියා ගැනීමෙන් හෝ භික්ෂුන් වහන්සේනමක ලවා කියවා ගැනීමෙන් හෝ කරන්නේ පොරොන්දු වීමකි. මේ පොරොන්දු වීම හෙවත් සමාදන් වීම යම්තාක් දුරට කඩ නොකර ආරක්ෂා කර ගැනීමට හැකි වේ නම් එහි ශක්තිය ඉතා මහත් ය.

බුදුරජාණන් වහන්සේ පිහිටුවා වදාළ ආර්ය සමාජයෙහි උත්තම කොටස බුදු, පසේබුදු, මහරහත් හා සෝවාන් සකෘදාගාමී, අනාගාමී ආදි අෂ්ටාචාර්ය පුද්ගලයෝ ය. බුද්ධ කාලයේ සැවැත්නුවර සත් කෝටියක් මනුෂ්‍යයන් වාසය කළ බවත්, එයින් පන්කෝටියක් ආර්ය ශ්‍රාවකයන් වූ බවත් ධම්මපදට්ඨකතා ග්‍රන්ථයේ සඳහන් වේ. සෙසු මනුෂ්‍යයන් දෙකෝටිය අභ්‍ය දෘෂ්ටිකයන් විය හැකි ය. මඟපල ලද්දෝ ආර්යයන් වශයෙනුත්, සෙස්සෝ පෘථග්ජනයන් වශයෙනුත් සලකන ලදහ.

නන් අයුරින් දුකට පත් මිනිසුන් දුකින් මිදීමට මාර්ගය වශයෙන් දිවි පැවැත්මේ දී අනුගමනය කළ යුතු ප්‍රතිපදාව වශයෙන් දේශනා කළ ‘ආර්ය අෂ්ටාංගික මාර්ගය’ තමන් වහන්සේ විසින් පිහිටු වූ ආර්ය සමාජයෙහි සම්බුද්ධ ශාසනයෙහි බෞද්ධයා විසින් වැඩිය යුතු භාවනාවක් වශයෙන් පෙන්වා දී ඇත. එනම් එහි ආර්ය චින්තනය, ආර්ය භාෂණය හා ආර්ය ක්‍රියාකරණය සිත, කය, වචනය යන තුන් දොරින් සිදුවන සියලු ක්‍රියා ඊට ඇතුළත් වන බව පැහැදිලි කිරීමයි.

මිනිසා උපන් දා සිට තුන් දොරින් කුසල් අකුසල් සිදුකරමින් ජීවත්වන අතර, තමන්ගේ ජීවිත ගමන කුමන අන්තයක් කරා ගොස් කෙළවර වේ දැයි අනාර්යයකුට සිතිය නොහැකි ය. ඊට හේතුව ඔහුට සම්‍යක් දර්ශනය පහළ නොවී තිබීමයි. යම් මොහොතක ඔහුට සම්‍යක් දර්ශනය පහළ වූයේ නම් එය ආර්යය මාර්ගයේ උප්පත්තිය ලැබීමකි. එනම් සම්මා දිට්ඨිය පහළවීමයි. එතැන් පටන් ඔහු කරන කියන සියලු ක්‍රියා නිවැරදි ඒවා වන්නාහ. සිතන්නේත් නිවැරැදි ලෙස ය. කතා කරන්නේත් නිවැරැදි වචන ය. එය ස්වයංක්‍රියව සිදුවේ. ජල ප්‍රවාහයකට වැටුණු ද්‍රව්‍යයක් සමුද්‍රය කරාම ගසාගෙන ගොස් වැටෙන්නාක් මෙන් එම සෝවාන් පුද්ගලයා ද නිවන කරා යන්නේ ය. සතර අපාවල නූපදින්නේ ය. උපරිම වශයෙන් සසර ඉපදිය හැක්කේ සත් වරකි. මෙහි ස්වභාවය ‘සම්මත්ත නියාමය’ වශයෙන් වදාරන ලදි. සෝවාන් වීමෙන් ආර්ය තත්ත්වයට පත්වීම ඉපදීම ලෙස සලකා ‘අරියාය ජාතියා ජාතෝ’ හෙවත් ආර්ය ජාතියේ උපන් දා පටන් කියා අංගුලිමාල රහතන් වහන්සේ ගැබිනි මවකට සෙත් පිණිස සත්‍යක්‍රියා කළහ.

බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මේ තත්ත්වය ලබා ගැනීම සඳහා නියම කර වදාළ මාර්ගය අංග අටකින් යුත් ශික්ෂාවකි. මේ අටම ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවට ඇතුළත් ය. බුද්ධ ශාසනය යනු ද මෙයමයි. මෙය ‘ආර්ය’ යනුවෙන් වෙසෙසා ඇත. සමාජයක් හැටියට සලකන විට මේ පිළිවෙත අනුගමනය කිරීම බෞද්ධයාගේ පරම අපේක්ෂාව ය. බුදුරජාණන් වහන්සේ විසින් “සත් පුරුෂයාට යහපත් ක්‍රියාවක් කිරීම පහසු බවත්, පාපියාට යහපත් දෙයක් කිරීම දුෂ්කර බවත්, පාපියාට අයහපත් ක්‍රියාවක් කිරීම පහසු බවත්, ආර්යයාට පාපයක්, අයහපත් ක්‍රියාවක් කිරීම දුෂ්කර බවත්,

සුකරං සාධුනා සාධු - සාධු පාපෙන දුක්කරං
පාපං පාපෙන සුකරං - පාපමරියෙහි දුක්කරං”

යනුවෙන් වදාරා ඇත.

අරියධම්මෙ ඨිතොති
පංචසීල ධම්මෙ පතිට්ඨිතො

යන වචනය අනුව පංචශීලය ආරක්ෂා කිරීම ආර්ය ධර්මයෙහි පිහිටීම බව සැලකිය යුතු ය.

බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනය පිහිටුවා බෞද්ධයාගේ පරම අපේක්ෂාව වූ නිර්වාණය සාක්ෂාත් කිරීමේ මඟ මැදුම් පිළිවෙත බව සැකෙවින් වදාරා එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය බව පැහැදිලි කළ සේක. මේ අංග අටේ වින්‍යාසය හෙවත් ක්‍රමානුකූල පිහිටුවීම විද්‍යාත්මක ය. න්‍යායානුකූල ය. බීජයෙන් ඇතිවන ගසක්, අංකුරය, පත්‍රය, පැළය, ගසය, අතුපතරය, මලය යන මේවා පරිණත වී අන්තිමට ඵලයක් නිපදේ. එමෙන් ‘සම්මා දිට්ඨියෙන්’ ඇතිවන ක්‍රියා පද්ධතියක පරිණාමය වශයෙන් සමාධියෙන් නිර්වාණය සාක්ෂාත් වන්නේ ය.

තවද බුදු, පසේබුදු, මහරහත් ආදි ආර්යයන්ගේ ‘වංශය’ වශයෙන් ප්‍රතිපදාවක් භික්ෂුන්ට වදාරා ඇත. කරුණු සතරකින් යුත් ජීවන පිළිවෙත දැක්වෙන එය අංගුත්තර නිකායේ අරියවංස සූත්‍රයෙහි සඳහන් වේ. චීවර, පිණ්ඩපාත, සේනාසන ආදි සිව්පසයෙහි යථාලාභ, යථාබල, යථාසාරුප්ප වශයෙන් සන්තෝෂ ඇතිව ප්‍රයෝජන ගැනීම හා භාවනාවෙහි ඇල්ම ඇතිකර ගැනීමත් ය. අන්‍ය දෘෂ්ටිකයන් සැප වශයෙන් කියන දෙය ආර්යයන් දුක වශයෙන් කියන බවත්, අන්‍යයන් දුක වශයෙන් කියන දෙය ආර්යයන් සැප වශයෙන් දකින බවත් ය.

“යං පරෙ සුඛතො ආහු,
තදරියා ආහු දුක්ඛතො
යං පරෙ දුක්ඛතො ආහු -
තදරියා සුඛතො විදු”

යන ගාථාවෙන් දේශනා කර ඇත.

ඉල්ලීම හෙවත් යාචනය ආර්යයන් කරන්නේ නැත. ආර්යයෝ ඉල්ලීම ගරහති. පිඬු පිණිස හැසිරෙන භික්ෂුව ඉල්ලීමක් කරන්නේ නැත. ඒවා හුදෙක් භික්ෂු ජීවිතය පවත්වාගෙන යෑමට ආහාර පුදා සැදැහැත්තෝ පින් සිදු කර ගනිති. මේ බව මෙසේ ප්‍රකාශිත ය.

“ න චෙ යාචන්ති අරියා,
අරියා ගරහන්ති යාචනං
අරිය උද්දිස්ස තිට්ඨන්ති
ඵසාව අරිය යාචනා”

තිසරණ ගතවීමෙන් ආර්ය බෞද්ධයකු වූ සත්පුරුෂයා විසින් ඉටු කළ යුතු ප්‍රධාන යුතුකම පන්සිල් සමාදන් වීම ය. තමා විසින් ම කියා ගැනීමෙන් හෝ භික්ෂුන් වහන්සේ නමක ලවා කියවා ගැනීමෙන් හෝ කරන්නේ පොරොන්දු වීමකි. මේ පොරොන්දු වීම හෙවත් සමාදන් වීම යම්තාක් දුරට කඩ නොකර ආරක්ෂා කර ගැනීමට හැකි වේ නම් එහි ශක්තිය ඉතා මහත් ය. ප්‍රතිපත්තියක් වශයෙන් මෙය රැකීමෙන් දෙව් මිනිසුන් අතර අපරාජිත බලයක් පැවැත්විය හැකි ය. මෙය අරියකන්ත සීලයයි.

මෙම ලිපියෙහි මුල් කොටස බක් අමාවක පෝදා පත්‍රයේ පළ විය.

වෙසක් පුර අටවක

අප්‍රේල් 23 බ්‍රහපතින්දා අ.භා. 08.55න් පුර අටවක ලබා 24 සිකුරාදා අ.භා. 07.28න් ගෙවේ.
 24 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   

Full Moonඅමාවක

මැයි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]