|
වෙසක් පුර අටවක පෝ දා
2026-04-24
වැරැදි නිවැරැදි කර ගනිමු
වැරැදි, අඩුපාඩු සිදුවීම දියුණු නොකළ සිතක ස්වභාවය යි. එහෙත් ස්වභාවය ඒ යැයි
සිතමින් කෙනෙක් කළ වරද නැවත නැවත සිදු කරනවා නම්, අඩුපාඩු මඟහරවා නොගන්නේ නම්, එය ඒ
පුද්ගලයා තමන්ට ම සිදු කර ගන්නා හානියකි.
තෙරුවන් සරණ ගිය බෞද්ධයා එසේ දිගින් දිගට ම වැරැදි කරන, අඩුපාඩු සහිත පුද්ගලයෙක්
නොවේ. බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථය ලෙස පූජනීයත්වයට පත් වූ ධම්මපදයේ සඳහන් ලෙස
යො ච පුබ්බේ පමජ්ජිත්වා
පච්ඡා සෝ නප්පමජ්ජති
සො ඉමං ලෝකං පභාසේති
අබ්භා මුත්තෝ ව චන්දිමා
අනුවණකම නිසා තමන් අතින් මුල දී අඩුපාඩු සිදුවුණත්, පසුව ඒ පමා බවින් මිදී අප්‍රමාද
ව, අඩුපාඩු මඟ හරවාගෙන, නිවැරැදි ජීවිතයකට යොමු වී වළාකුලෙන් මිදුණූ සඳ වගේ ලෝකය
බැබළවීම බොදු මඟ යන පුද්ගලයාගේ ස්වභාවය යි.
මිනිසුන් මරා ඇඟිලි රැස් කළ අංගුලිමාල ඒ තැනට වැටුණේ ගුරුවරයාගේ පළිගැනීමේ චේතනාව
ප්‍රබල වීම නිසා ය. එහෙත් අවසානයේ සම්බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මය ශ්‍රවණය කරන්නට
තරම් පෙර සසර කළ පින් බලවත් වීම නිසා, අංගුලිමාල ඒ වැරැදි ජීවිතයෙන්, පාපකාරි
ජීවිතයෙන් මිදුණේ ය. අප්‍රමාදීව කෙලෙස් දුරු කොට මහ රහතන් වහන්සේ නමක බවට පත්වූහ.
තමන් කළ පාප කර්මයන්ගේ බරපතළකම ගැන සිතමින්, පසුතැවෙමින්, කළකිරීමෙන් ජීවත් වූවා
නම් ඔහුට මේ සම්බුද්ධ ශාසනය බබළවන මහරහතන් වහන්සේ නමක් බවට පත්වීමට හැකියාව නො
ලැබෙනු ඇත.
‘ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි’ ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා ධර්මය විසින් ම ආරක්ෂා කරන
බව සම්බුදු වදන යි. ඒ අමා ධර්මය ජීවමාන කාලයක මිනිස් ජීවිතය ලබන්නට තරම් අපි ද
වාසනාවන්ත වී සිටිමු. එහෙත් ඒ උතුම් ධර්මය ජීවිතයට ගලපාගෙන කුසලයෙහි අප්‍රමාදී
වන්නට අවස්ථාව උදා කර ගන්නේ අතළොස්සක් බව අපට සමාජ ජීවිතයේ දී අසන දකින දෙයින්
ප්‍රත්‍යක්ෂ වේ.
බොහෝ දෙනෙක් ජීවිතය වරදවා ගන්නේ එකට එක කරන්නට යෑමෙනි. යම් මොහොතක කාගේ හෝ වරදක්,
නො කටයුත්තක් නිසා තමන්ගේ සිතිවිලි ගිනියම් වී ද්වේෂ සහගත ව ප්‍රතිඋත්තර දීමට යනවා
විනා මේ ලෝක ස්වභාවය අවබෝධ කරගෙන සමාව දීමට තරම්, අනුන් කළ කම් අමතක කරන්නට තරම්
කෙනකුට නොහැකි වී තිබෙන්නේ උතුම් ධර්මය අසන්නට, දකින්නට අප්‍රමාණ අවස්ථා තිබියදීත්
දහමට වඩා තමන්ගේ මාන්නය, උඩඟුකම, යටහත්වීමට ඇති නො කැමැත්ත නිසා ය. සරලව ම කියනවා
නම් අනුවණකම නිසා ය. සම්මුති ලෝකය දෙස මසැසින් බලා ඉක්මන් තීන්දු තීරණ ගෙන අනුන්
මඩින්නට දරන වෙර වීරිය තුළ තමන් මැඬවෙන බව නො දැකීමේ අඥානකම නිසා ය. අනුන් විසින්
කවරාකාරයේ නො කටයුත්තක් තමන්ට සිදු කළ ද, ඒ උදෙසා තමන්ගේ සිත තුළ හට ගන්නා ද්වේෂයේ
පාපය ගෙවිය යුත්තේ ඒ පුද්ගලයා නම් නොවේ. තමන් ම ය. මේ සත්‍යය තේරුම් නො ගන්නා තාක්
අකුසලයෙහි ම ගිලෙනවා විනා කුසලයෙහි අප්‍රමාදී වන්නට අවස්ථාවක් නැත. එහෙයින් ලෝකය
දෙස මසැසින් නොව මනසින් දකින්නට කාලය එළැඹ තිබේ. දරුණු මනුෂ්‍ය ඝාතකයෙක් වූ
අංගුලිමාලට තමන් කළ මහා වැරැදි ගැන, තමන්ගේ පව්කාර ජීවිතය ගැන පසුතැවෙමින් ම සිටියා
නම් කිසි දිනෙක කෙලෙසුන් නසා උතුම් රහත් බව ලද නොහැකි වනු ඇත. මේ ආර්ය ශ්‍රාවකයන්
වහන්සේගේ චරිත කතා අපගේ ජීවිතයට මහඟු ආදර්ශයක් කොට ගැනීමේ කාලය එළඹ ඇත.
තමන්ගේ ජීවිතය වරදින් ගොඩ ගන්නට කිසිවකුට නොහැකි ය. මවට, පියාට හෝ කළ නොහැකි ය. කළ
හැකි දෙය නම් අවවාද, අනුශාසනා කිරීම ය. වරදෙහි දොස පෙන්වා දීම ය. විපාකයේ බරපතළකම
අවබෝධ කරවීම ය. ඒවා අසා දැන, වරදින් බැහැර විය යුතු තමන් ම ය. මහා මිනිස් සංහාරයක්
කළ චණ්ඩාශෝක, ධර්මාශෝක බවට පරිවර්තනය වී සම්බුදු දහම රට රටවල ප්‍රචාරය කරන්නට
අනුග්‍රහය දක්වමින් ඇප කැප වූයේ වරද නිවැරැදි කොට ධර්මයෙහි අප්‍රමාදී වීම නිසා ය.
අදත් බොදු හදවත් තුළ ඒ රාජ නාමය සඳක් ව බබළයි.
මේ ජීවිතය ඉතාම කෙටිය. මරණින් මතු කවර ආත්මයක් ලැබේ දැයි කාට නම් කිව හැකි ද? ගෙවෙන
හැම මොහොතක ම ධර්මයෙහි අප්‍රමාදී වෙමින්. වැරැදි නිවැරැදි කොට අඩුපාඩු මඟ හරවාගෙන
මේ ජීවිතයත්, පරලොව ජීවිතයත් සුවපත් කර ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු. |