වෛරයෙන් වෛරය
නොසන්සිඳේ
න හි වෙරෙන වෙරානි
සම්මන්තීධ කුදාචනං
අවෙරෙන ච සම්මන්ති
එස ධම්මො සනන්තනො
මේ ලෝකයෙහි කිසි කලෙකත් වෛරයෙන් වෛරය නො සංසිිඳෙත්, අවෛරයෙන් (ක්ෂාන්තියෙන් හා
මෛත්‍රියෙන්) ම සංසිිඳෙත්, මෙය පුරාතන වූ (බුදු පසේබුදු රහතුන් විසින් පුරුදු කොට
ආ) සිද්ධාන්තන ධර්මයකි.
මෙම ධම්මපද ගාථාව, බුදුරජාණන් වහන්සේ විසින් ‘කාලි‘ නම් යක්ෂණියක අරබයා දේශනා කරන
ලද්දකි. එම වර්තමාන හා අතීත කතා පුවත් මෙසේ ය.
ගොවිකම්වලින් ජීවත් වූ එක් පුරුෂයෙක් කුල කුමරියක් ආවාහ කර ගත් අතර, ඇය වඳ
ස්ත්‍රියක් බව දැන ගැනීමෙන් පසුව තවත් කුල කුමරියක් ආවාහ කර ගත්තේ ය. දෙවැනි බිරියට
දරුවන් ලද කල්හි සිය ස්වාමියා සතු සියලු ධනය ඇයට හිමිවීම ගැන ඊර්ෂ්‍යාව ඉපදවූවා ය.
එනිසා ඇයට වස්තුව නොලැබීම පිණිස දරුවන් ද අහිමි විය යුතු නිසා, ඇය ගැබ්බර වූ
අවස්ථාවල දී මිතුරු වෙසින් ආහාරපාන සමඟ ගැබ නසන බෙහෙත් මිශ්‍ර කර දී දෙවරක් ම ඇයගේ
දරු ගැබ් විනාශ කර දැමුවා ය.
දෙවැනි වරට ද ගබ්සා වූ කල්හි දෙවැනි බිරියගේ ඥාතීන් විසින් දුෂ්ට පුද්ගලයා හඳුනා
ගැනීමට ඇයට තිබූ නොහැකියාව පිළිබඳ දොස් පවරා, නැවත දරු ගැබක් පිහිටි කල්හි වඳ
ස්ත්‍රියට නොකියා සිටින්නැ’යි අවවාද කළහ. ඇය, එම අවවාදය පිළිගෙන තමා තෙවැනි වරටත්
ගැබ් ගත් බව නොකියා සිටිය ද, ඉදිරියට නෙරා තිබූ උදරය දැක තමාට නොදැන්වූයේ ඇයිදැ’යි
වඳ ස්ත්‍රිය විමසුවා ය. අවස්ථාවෝචිත ව වචන හැසිරවීමෙහි අදක්ෂ වූ මෙම ස්ත්‍රිය ඇගේ
දුෂ්ට ක්‍රියාව හෙළි කරමින් ඇයට දොස් පැවරීය.
තම ක්‍රියාව හෙළිවීම හේතුවෙන් කෝපයටත්, බියටත් පත් වූ වඳ ස්ත්‍රිය කෙසේ හෝ ඇයගේ
ආහාරයට ගබ්සා වන බෙහෙත් මිශ්‍ර කරන්නට සමත් වූවා ය. මෙවර, දරු ගැබ බොහෝ සේ මෝරා
තිබූ නිසා එය විනාශ වී වැටෙන්නට නොහැකිව තියුණු වේදනා ඇති කරමින් දෙවැනි බිරිය
මරණාසන්න තත්වයකට පත්කරලීය. ඇය එම වේදනාවෙන් ම මියගියේ මියගොස් යකින්නියක වී ඉපිද,
තී වදන දරුවන් ද කා විනාශ කරන්නට මට හැකි වේවා” යි සාප කරමිනි.
මෙසේ, මෙම ස්ත්‍රීන් දෙදෙනා ම මියගොස් ඉන්පසු භවයන්හි එකිනෙකාගේ දරුවන් කමින් සිට,
අවසානයේ අප බුදුරදුන් කල පෙර කී වඳ ස්ත්‍රිය කුල දියණියක්ව ද, “යකින්නියක වෙම්වා”
යි පැතූ දෙවැනි බිරිය සැබැවින් ම යකින්නියක්ව ද උපන්නාය. එහිදී, කුල දියණිය වැදූ
දරුවන් දෙදෙනෙක් ම මෙම යක්ෂණිය විසින් කා දමන ලද අතර, දෙවැනි දරුවා පැහැර ගැනීමට
පැමිණි අවස්ථාවේ දී කුල දියණිය ළඟම පිහිටි විහාරයට දිවගොස් එහි වැඩ සිටි බුදුරදුන්
පාමුල දරුවා තබා තම දරුවා යකින්නගෙන් බේරා දෙන ලෙස ඉල්ලා සිටියා ය.
දේවානුභාවයෙන් විහාරයට ඇතුළුවීමට නොහැකිව විහාර ද්වාරය අබියස බලා හිඳි යක්ෂණිය ද
කැඳවාගෙන අවුත් කුල දියණිය ඇතුළු පැමිණ සිටි පිරිසට “නහි වෙරෙන” ආදි ගාථා වදාළහ.
වෛර පිරිමසා ගැනීමට වෛරය ම යොදා ගැනීමෙහි බියජනක බව දේශනා කර දෙපිරිස අතර පැවති
වෛරය සන්සිඳුවාලීමට බුදුරජාණන් වහන්සේ ක්‍රියා කළහ. දේශනාව අවසානයේ යක්ෂණිය සෝවාන්
වූ අතර, බුදුරජාණන් වහන්සේගේ අවවාදය පරිදි කුල දියණිය විසින් මෙම යක්ෂණිය
ආහාරපානාදියෙන් පෝෂණය කිරීම භාර ගත්තා ය. යක්ෂණිය ද කුල දියණිය ඇතුළු එම
ගම්වැසියන්ගේ ගොවිකම් සාර්ථක වීමට වැසි ලැබෙන, නොලැබෙන කාලයන් ආදිය පෙන්වා දෙමින්
බොහෝ උපකාර ඇති චරිතයක් ව වාසය කළා ය. ඉන් දෙදෙනා අතර පැවති සංසාරික වෛරය
සන්සිඳිණි.
මෙම කතා ප්‍රවෘත්තියෙහි ඉදිරිපත් කළ බද්ධ වෛරය ආරම්භ වීමට මූලික හේතුව නම්, එකිනෙකා
විසින් තමාගේ පැවැත්මට සත්ප්‍රාය නොවන ස්ථාන හඳුනාගෙන, ඉන් ඈත් ව සිටීමට තරම්
නුවණැති නොවීමයි. තමා වඳ ස්ත්‍රියක් බව දැන තම ස්වාමියා දෙවැනි බිරියක් ආවාහ කර
ගැනීමට කටයුතු කරනු දැන දැනත්, ඔහු වෙතින් ඉවත්ව නොගොස් එම නිවෙසෙහි ම රැඳෙන්නට ඇය
තීරණය කළාය.
දෙවැනි බිරිය ද, තමා විවාහ වීමට සැරසෙන පුද්ගලයාට දැනටමත් බිරියක් සිටි බැවින්
මුලදී විවාහ වීමට අකැමැති වුව ද, තමාට ලැබෙන දරුවන්ගේ නාමයෙන් ඔහුගේ ධනය පවරා
ගැනීමේ තණ්හාවෙන් පසුව විවාහයට කැමති වූවා ය.
එසේ ම, එක් වරක දී දෙවැනි බිරිය විසින් වඳ ස්ත්‍රියගේ කූටෝපක්‍රමය හෙළි කරනු
ලැබිණි. අනෙකාගේ රහසිගත කූට උපක්‍රම තමා විසින් දැනගනු ලැබුව ද ඉන් තමා ද ආරක්ෂා
වී, අන් අය ද ආරක්ෂා කරනු විනා, යමකුගේ කූට උපක්‍රම හෙළි කරමින් ඔහු අවමානයට ලක්
කිරීම වූ කලි සතුරකු නිර්මාණය කර ගැනීමේ පහසු ම ක්‍රමය බව ඇය නොදැන සිටින්නට ඇත.
පුහුදුන් ලෝකයාගේ සුපුරුදු ස්වභාවය හෙළි කරමින, දෙවැනි බිරියට ද, තමාට අයහපතක් සිදු
කළ ස්ත්‍රියගෙන් පළිගැනීමේ වුවමනාව නිතැතින් ම පහළ විය. තමා මරා දැමීමට සැරසෙන
පුද්ගලයකු හෝ අරබයා තම සිතෙහි ක්‍රෝධයක් පහළ වූයේ නම්, එසේ “තම” සිතෙහි හට ගත්
අකුසල සිතිවිලි මඟින් විපාකය ලැබෙනුයේ එම සිත අයත් වූ තැනැත්තාට හෙවත් “තමාට ම” බව
සිහිපත් වීමට තරම් බහුල ව වැඩූ ධර්මානුකූල පුහුණුවක් ඇයට නොතිබිණි. වඳ ස්ත්‍රිය
විසින් කර ගත් පාපයෙහි විපාක ඇයටත්, පළිගන්නට ගොස් තමන් කර ගන්නා පාපයෙහි විපාක
තමාටත් වෙන වෙන ම ලැබෙන බවත්, බද්ධ වෛරයක් ඇති කර ගතහොත් තම ඉදිරි සියලු ආත්මභාවයන්
ම සහනයෙන්, පී‍්‍රතියෙන් ජීවත්වීමේ අවස්ථාව අහිමි වන බවත් සිහිපත් නොවීම ද ඇයගේ
අවාසනාවකි.
සිතිවිලි පාලනය කර ගැනීමෙහි යම් අඩුපාඩු පැවතිය ද, මෙම ස්ත්‍රීන් දෙදෙනා ම සසරෙහි
බුදුරජාණන් වහන්සේත්, ධර්මයත් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙන සිටි බව යක්ෂණිය සෝවාන්
ඵලයට පත්වීම, කුල දියණිය විසින් තම දරුවා අනතුරින් ගලවා ගැනීමට බුදුරදුන්ගේ පිහිට
අයැදීම, යක්ෂණියට උපකාර කරන්නැ’යි බුදුරදුන් දුන් අවවාදය කුල දියණිය විසින් විශ්වාස
කරනු ලැබීම යන කරුණුවලින් පැහැදිලි වේ. යම් හෙයකින් හෝ යක්ෂණියට ධර්මාවබෝධය
ලැබීමෙහි ප්‍රඥාව නොතිබිණි නම්, එම බද්ධ වෛරය නිමා කිරීම බෙහෙවින් අපහසු වන්නට
තිබිණි.
එසේ ම, තමන්ගේ පි‍්‍රයතම වස්තුව වූ සුරතල් සිඟිති දරුවන් දෙදෙනකු ම කා දමනු ලැබූ
යක්ෂණියට වුව ද සමාව දීමෙන් පමණක් නොනැවතී ඇය රැක බලා ගන්නට ද එකඟ වෙමින්, මින්පසු
ධර්මාවබෝධයෙන් යුතු ජීවිතයක් ගත කිරීමට කුල දියණිය ගත් තීරණය සියලු දෙනාගේ ම
සැනසීමට හේතු විය. යක්ෂණිය සෝවාන් ඵලය සාක්ෂාත් කොට සිත පිහිටුවා ගත්තේ වුව ද, කුල
දියණිය තම පැරැණි වෛරය ම සිහිපත් කරමින් “මඟඵල ලැබුවේ වුව ද, මේ මාගේ දරුවන් කා
දැමූ යකින්න ම නොවැ” යනාදී වෛරී සිතිවිලි සිත්හි රඳවා ගනිමින් පැරණි වෛරය සිතින්
ඉවත් කර ගැනීමට තරම් මෘදු නොවී ඇයට කරදරයක් වනු දැකීමේ ආශාවෙන් හෝ පසුවූයේ නම්,
එවිට ද බුද්ධ දේශනාවෙන් නිසි පල නොලැබේ. එබැවින්, කොතරම් බුද්ධ අවවාද ශ්‍රවණය කළේ
වුව ද, ඉන් නිසි පල ලබා ගැනීම පිණිස ඒවා ක්‍රියාවට නැංවීම ද අත්‍යවශ්‍ය බව මෙම කතා
ප්‍රවෘත්තිය පහදා දෙයි.
කායික, මානසික හෝ සමාජයීය වශයෙන් තමාට අකටයුතුකම් සිදු කළ තැනැත්තන්ට, තමා විඳි
පීඩාව ඒ අයුරින් ම ඔහුටත් ලබා දීමේ අවශ්‍යතාව හෙවත් “පළිගැනීමේ අවශ්‍යතාව මඟඵල
නොලත් සෑම පුද්ගලයකුගේ ම ස්වභාවයකි. මඟඵල ලැබූ උතුමන් වහන්සේට ද සෙසු ලෝකයාගෙන්
අකටයුතුකම් සිදු වන නමුදු එතුමන්ට එවැනි ක්‍රියා “ක්‍රියා මාත්‍රයක්” වශයෙන්
සලකාගෙන එම ක්‍රියා උපාදානය කර ගැනීමෙන් වැළකී සිටීමට හැකි වනුයේ විදර්ශනා
ප්‍රඥාවෙන් ලොව දෙස බලා “මමත්වය” දුරු කර ඇති නිසාවෙනි.
පළිගැනීමේ අවශ්‍යතාව ක්‍රියාවෙන්, වචනයෙන් හෝ සිතිවිල්ලෙන් හෝ සිදු කළ හැකි ය.
ක්‍රියාවෙන් හෝ වචනයෙන හෝ සිදු කරන ඇතැම් පළිගැනීම් හේතුවෙන් තමා නෛතික වශයෙන්
බලපෑමකට ලක්විය හැකි බව දන්නා ඇතැමෙක් එසේ නීතියෙන් දඬුවම් නොලැබෙන ක්‍රම වන දේව
කන්නලව් කිරීම, දේව දඬුවම් පැතීම, වස්කවි කීම, ශාපකිරීම ආදිය අනුගමනය කරමින්
අනෙකාගේ අයහපත පතමින් පව් රැස් කර ගනිති. මෙවැනි ක්‍රමවලින් වරදකරුට කෙසේ වෙතත් ඒවා
සිදු කරන පුද්ගලයාට ම වන පාපය දැක එවැනි ළාමක පිළියම්වලින් වැළකී සිටින තවකෙක් තමාට
වරද කළ පුද්ගලයා වෙත අයහපත් විපාක එනතුරු බලා සතුටු වෙමින් පව් රැස්කර ගනිති.
තමාට අයහපතක් සිදු කළ තැනැත්තාට ද අයහපතක් සිදු වූ කල්හි ඔහු තවදුරටත් තමාට හිරිහැර
කිරීමෙන් වැළකී සිටිනු ඇතැයි යන මිථ්‍යා මතයක් මිනිස් සිත තුළ මුල්බැස පවතී. කුමන
අයහපතක් සිදුවුව ද, ඒ සියල්ල ම සිදු වනුයේ අනෙකාගේ දෝෂයක් හේතුවෙන් බව ප්‍රකාශ
කරයි. තමාගේ පවිටු සිත නිසා මෙවැනි දෑ සිදුවනු ඇතැයි’ යන්න පිළිගැනීමට මිනිසා මැළි
වනවා පමණක් නොව, තමා කළ පාපකර්ම ද පාප නොවන බව හේතු සහිත ව හුවාදැක්වීමට වුව ද
ඇතැමෙක් නොපැකිළේ.
තමාටත්, තමා සන්තක වස්තුවටත්, හානියක් කළ තැනැත්තා මරා දැමූ පසු හෝ ඔහුට නැවත තමාට
එදිරිව නැඟී සිටීමට නොහැකි තත්වයකට පත්කළ පසු තමාගේ ජීවිතයට බලපෑමක් වූ එක්
ගැටලුවක් නිම වේ යැයි සිතයි. නමුත්, එය සමාන වන්නේ තමාට දෂ්ට කළ දෙබරකුගෙන්
පළිගැනීමට කියා එවැනි දෙබරුන් දහස් ගණනක් සිටින දෙබර වදයකට පහරදීමකට ය.
එක් මිනිසකු තමාට කළ නොපනත්කමකට ඔහු අරමුණු කර පළිගැනීමට සිතුව ද, අපට අමතක වන
වැදගත් කරුණක් නම් ඔහු ද අප සැම මෙන් පවුල, මිතුරු සමාගම වැනි සමාජ කණ්ඩායම්
කිහිපයක සාමාජිකයකු බවයි. කිසිදු සමාජ කණ්ඩායමක් තම සාමාජිකයකුට හානියක් වනු දැකීමට
අකමැති වන අතර, තම සාමාජිකයකුට හානි කරන ඕනෑම පුද්ගලයකුට එරෙහි ව නැඟී සිටීමට
අනෙකුත් සාමාජිකයන් පෙළඹේ. ලොව සෑම කල්හි ම යුද ගැටුම්, ආරවුල් ආදිය නිර්මාණය වනුයේ
මේ අයුරිනි.
සියලු සත්වයන් මෙන් ම මනුුෂ්‍යයා ද තණ්හාවෙන් අන්ධ ව, සිහිමුළා වූවකු ලෙස සසරෙහි
හැසිරෙන්නෙකි. ඉටු කර ගත් ආසා සම්බන්ධයෙන් ඒවා ප්‍රමාණවත් නොවීමෙන් ද, ඒවා තවමත්
ඉටුකර ගැනීමට නොහැකි වීමෙන් ද, මිනිසා තම සමස්ත ජීවිත කාලයේ ම තමා ලද දේ
සම්බන්ධයෙන් තෘප්තියකට පත් නොවේ. එබැවින්, ඇති නැති කවර මනුෂ්‍යයකු වුව ද බෙහෙවින්
අතෘප්ති කර ස්වභාවයකින් පසුවේ. කොතරම් ලැබුණ ද එය ප්‍රමාණවත් නොවේ. මෙය මිනිස්
සමාජය තුළ වෛරය, ක්‍රෝධය පැතිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරයි.
යම් පුද්ගලයකු අතින් තමාට අයහපතක් සිදු වූ පසු ඔහුගෙන් පළිගැනීමට වෙහෙසවීමට වඩා,
අයහපත් චරිත ඇති පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් හැකිතාක් ඉවත්ව සිටීම නුවණට හුරු ය. නමුත්,
ලොව කිසිදු පුද්ගලයකුට සැමවිට ම අපට වුවමනා පරිදි ක්‍රියා කිරීමට නොහැකි බැවින්,
අනෙකාගේ සුළු වරදක දී වුව ද ඔහු දුදනකු ලෙස හැඳින්වීමෙන් ද වැළකිය යුතු ය.
යම් අයහපතක් සිදුවීමට පෙර, කර්ම විපාකයක් නිසා හෝ නොදැනුවත්කම නිසා හෝ එය වළක්වා
ගැනීමට නොහැකි වූ කල, “මෙය මෙසේ කරන්නට තිබුණා” යැයි සිතා පසුතැවීමෙන් ද, වරදකරුට
දඬුවම් පැමිණවීමට උත්සුක වීමෙන් ද, තමාට සිදු වූ අයහපත් ප්‍රතිවිපාක
ප්‍රත්‍යාවර්තනය කිරීමේ කිසිදු හැකියාවක් නොමැත. මින් ඉදිරියට හෝ එවැනි
ප්‍රතිවිපාකයක් සිදු නොවීම පිණිස කළ හැකි ස්ථිරසාර පිළියම වනුයේ දඬුවම් දී,
බියගන්වා අනෙකාගේ හැසිරීම වෙනස් කිරීමට යත්න දැරීම නොව තම නුවණ මෙහෙයවා කටයුතු
කිරීමට පුහුණුවීමෙන් තමා අනෙකාගේ වෛරයේ ගොදුරක් බවට පත්වීම වළක්වාලීම හෙවත් “තමාගේ”
හැසිරීම වෙනස් කර ගැනීම යි.
බුදු, පසේබුදු, මහරහත් උතුමන් විසින් සැබැවින් ම මිනිසා වෙතින් බලාපොරොත්තු වනුයේ
ක්‍රෝධ සිතිවිලි කෙසේ හෝ යටපත් කර ගැනීමක් නොව, ඇලීම ද, ගැටීම ද නොමැති පී‍්‍රතිමත්
වූ නිර්වාණාවබෝධ ය යි. නමුත්, සෝවාන් ඵලය හෝ සාක්ෂාත් කර නොගත් පිරිස අවම වශයෙන් තම
සිතෙහි උපන් ක්‍රෝධ සිතිවිලි එම මොහොතෙහි ම හඳුනාගෙන, එහි ආදීනව මෙනෙහි කළ යුතු ය.
ඇසුරු ගසන සැණයක් තරම් වූ කාලයක් හෝ එම සිතිවිලි සිතෙහි රඳවා නොගෙන මතකයෙන්
සර්වාකාරයෙන් ම ඉවත් කර දැමීමට හෝ පුහුණු විය යුතු බව සසරෙහි බියජනක බව දත්
උන්වහන්සේ නිතරම සිහිපත් කරති.
චිත්තානුපස්සනාව වැඩීමෙන් තම සිතෙහි සිතිවිලි ක්‍රියාත්මක වන ආකාරය විමසීමට හුරු වූ
විට තම සිතෙහි ක්‍රෝධ සිතිවිලි වැඩෙමින් පවතින බව හඳුනාගත හැකි වේ. අනෙකා කෙරෙහි තම
සිතෙහි පවතින ක්‍රෝධ සිතිවිලි ඉවත් කර, යහපත් සිතිවිලි ඇති කර ගැනීමට මෛත්‍රී
භාවනාව ඉවහල් වේ. ආනාපාන සතිය වැඩීමෙන් තම සිතෙහි හටගෙන ඇති අකුසල සිතිවිලි යටපත්
කර සිත ප්‍රකෘති තත්වයට පත්කර ගැනීමට හැකි වේ. අසත්පුරුෂයන් සමඟ කලහකොට කුසලයෙහි
ප්‍රමාදවීමේ බය උපදවා ගැනීමට මරණානුස්සතිය ඉවහල් වේ.
සිතෙහි හටගත් අකුසල සිතිවිලි යටපත් කොට අනවරත සිතීමෙන් තොර නිදහසක් ලබා දීමට මෙවැනි
සමථ භාවනා පුහුණුවීම අතිශය වැඩදායි වේ.
භාවනාවෙන් සිත පිහිටුවා ගැනීමට අමතරව, ක්‍රෝධයෙහි ආදීනව සඳහන් බුද්ධ දේශනා, අකුසල්
සිතිවිලිවලින් මිදීමෙහි නිදහස විස්තර කෙරෙන උදාන ගාථා ආදී ධර්ම කොට්ඨාස නිතර මෙනෙහි
කිරීමෙන් ද සිතෙහි ක්‍රෝධය වැඩීම පාලනය කළ හැකි ය.
කවරකු අරබයා හෝ තම සිතෙහි මුල්බැසගෙන ඇති ක්‍රෝධ සිතිවිල්ලක් සිතෙන් ඉවත් කර
ගැනීමෙන් යහපතක් වනුයේ තමාට ම මිස අනෙකාට නොවේ. මහා යුද්ධයක් දක්වා වර්ධනය වනුයේ
එක් පුද්ගලයකුගේ සිතෙහි හටගත් වෛරී සහගත සිතිවිල්ලකි. එබැවින් සිතෙහි වරක් හටගත්තා
වූ වෛරී සිතිවිලි එම මොහොතේ ම සිතෙන් පලවාහැර නිවනෙහි ප්‍රමාදය වළක්වා ගැනීමට තරම්
අප නුවණැති විය යුතු ය.
(මූලාශ්‍රය - ඛුද්දක නිකාය අටුවාව)
ටී. සේනානායක |