[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කරුණා සිත පතුරවමු

කරුණා සිත පතුරවමු

අන් අයගේ කායික මානසික පීඩා කෙරෙහි ඇතිවන අනුකම්පාව කරුණාව යි (පරදුක්ඛේ හදයං කම්පතී ති කරුණා) මිනිස් ලෝකයේ ජීවත්වන අප සියලු දෙනාම සෑම මොහොතක ම විවිධ දුක් කරදර පීඩාවලින් දුක් විඳිනවා.

ලෙඩ දුක් කරදර, හදිසි ස්වභාවික විපත් ආදියේ දී බොහෝ දෙනා කායිකවත්, මානසිකවත් පීඩා විඳිනවා. ඒ ආකාරයෙන් අසරණ භාවයට පත් වූ අය දෙස අනුකම්පාවෙන් බැලීමේ දී ඇතිවන්නේ කරුණාව යි. කරුණාවන්ත කෙනා එවැනි අවස්ථාවලදී අනුකම්පාවෙන් යුතු ව ඒ අසරණ වූවන්ට පිහිට වීමට ඉදිරිපත් වෙනවා. ආහාරපාන, ඇඳුම් පැලඳුම්, වාසස්ථාන ආදිය ලබා දෙනවා. ඒ වගේ ම අන් අය කෙරෙහි අනුකම්පා සහගත කෙනා තමන්ගේ ක්‍රියාවක් නිසා හෝ වචනයක් නිසා හෝ අනුන් ව කායික, මානසික පීඩාවට පත් කරවන්නේ නැහැ. මිනිසුන්ට වගේ ම සතුන්ට පවා අනුකම්පාවෙන් සලකනවා. ගිලානෝපස්ථානයේ යෙදෙනවා. සමාජ සුබසාධන කටයුතු සිදු කරනවා.

‘මිත්ත’ සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ අයුරින් වදාළා. ‘පින්වත් ආනන්ද, ඔබ ඔබේ මවුපියන්ට, සහෝදර ඥාති හිත මිත්‍රාදීන්ට සැබෑ කරුණාවක්, මෛත්‍රියක් ඇත් ද? ඒ අය තිසරණය තුළ ම සමාදන් කරවන්න. චතුරාර්ය සත්‍ය ධර්මය ම ඔවුන්ට කියා දෙන්න. සීලාදී සේඛ බල ධර්මවල පිහිටුවන්න.” අන් අය සසර දුකෙන් මිදෙනවාට කැමති කෙනා අනුකම්පාවෙන් යුතු ව ඔවුන් ධර්මයට පමුණුවා ගන්නවා. මේ ආකාරයට එදිනෙදා ජීවිතය තුළ සිතෙන්, කයෙන්, වචනයෙන් කරුණාවන්ත බව දියුණු කරන කෙනාට එය භාවනාවක් වශයෙන් ප්‍රගුණ කරන්නත් පුළුවන්. කරුණා චේතෝ විමුක්තිය කියා එය හඳුන්වනවා.

කරුණා චේතෝ විමුක්තියත් මහග්ගත, අප්පමාණ යන ආකාර දෙකෙන් ම දියුණු කර ගත හැකියි. කරුණා චේතෝ විමුක්තිය වඩන ශ්‍රාවකයාට චිත්ත සන්තානයෙන් හිංසාව ප්‍රහාණය කළ හැකි බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. (නිස්සරණං හේතං ආවුසෝ විහේසා යදිදං කරුණා චේතෝ විමුක්ති) කරුණා භාවනාව වඩන ශ්‍රාවකයාට ඒ අරමුණු තුළ ම සිත එකඟ වෙනවා. ධර්මය අර්ථ වැටහෙනවා. ප්‍රමුදිත භාවයත්, නිරාමිස පී‍්‍රතියත් හටගන්නවා. කායික මානසික සැහැල්ලුව හෙවත් පස්සද්දිය හටගන්නවා. සැපවත් වූ සිතේ චිත්ත සමාධිය ඇති වෙනවා. ඒ කරුණා චේතෝ විමුක්තිය තුළ පිහිටා විදර්ශනා වැඩීමෙන් ආශ්‍රව ක්ෂය කිරීමට හෙවත් මඟ ඵල නිවන් පසක් කිරීමට අවස්ථාව උදාකර ගත හැකි බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. තතිය පුද්ගල සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයෙන් ද දේශනා කොට තිබෙනවා.

“මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා කරුණා සහගත සිත දස දිසාවට ම පතුරුවා වාසය කරනවා. සියලු සත්වයන් කෙරෙහි, සකල ලෝකයා කෙරෙහි කරුණා සහගත සිතින් විපුල වූ, මහග්ගත වූ , අප්‍රමාණ වූ, වෛර නැති, තරහ නැති කරුණා සිත පතුරුවා වාසය කරනවා. ඔහු ඒ කරුණා සැපය ආස්වාදය කරමින්, එයට ම කැමති වෙමින්, එයින් ම සන්තෝෂයට පත්වෙමින්, ඒ ධ්‍යානය තුළ ම සිටිමින්, එහි ම බැස ගනිමින්, එහි ම බහුල ව වසමින්, නො පිරිහුන ධ්‍යානයෙන් යුතු ව කළුරිය කොට ආහස්සර බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ වේ. කල්ප දෙකක් ආයුෂ ඇති ඒ බඹ ලොව දී සීල, සමාධි, ප්‍රඥා පරිපූර්ණ කරගෙන ආයු අවසානයේ දී පිරිනිවන් පාන්නේ වේ.”

එම නිසා මෙලොව යහපත උදාකරන, පරලොව සුගතිගාමී කරන, අමා මහ නිවන පිණිස පවතින්නා වූ කරුණා භාවනාව අපි මෙලෙසින් පුරුදු කර ගනිමු.

මහග්ගත කරුණා චේතෝ විමුක්තිය වඩන හැටි

මම කායික පීඩා නැත්තෙක් වෙම්වා. මානසික පීඩා නැත්තෙක් වෙම්වා. කායික සුවයෙන් සුවපත් වෙම්වා. මානසික සුවයෙන් සුවපත් වෙම්වා. සුව සේ ජීවත් වෙම්වා.

මා මෙන් ම, මේ නිවෙසේ සිටින සියලු දෙනා ම.... මා මෙන්ම, මේ ගමේ සිටින සියලු සත්වයෝ.... මා මෙන් ම, මේ නගරයේ සිටින සියලු සත්වයෝ.... මා මෙන් ම, මේ පළාතේ සිටින සියලු සත්වයෝ... මා මෙන් ම මේ රටේ සිටින සියලු සත්වයෝ.... මා මෙන් ම මේ ලෝකයේ සිටින සියලු සත්වයෝ.... මා මෙන් ම මේ සියලු සත්වයෝ ම කායික පීඩා නැත්තෝ වෙත්වා. මානසික පීඩා නැත්තෝ වෙත්වා. කායික සුවයෙන් සුවපත් වෙත්වා. මානසික සුවයෙන් සුවපත් වෙත්වා. සුව සේ ජීවත් වෙත්වා.

අප්පමාණ කරුණා චේතෝ විමුක්තිය වඩන හැටි....

මම කායික පීඩා නැත්තෙක් වෙම්වා. මානසික පීඩා නැත්තෙක් වෙම්වා. කායික සුවයෙන් සුවපත් වෙම්වා. මානසික සුවයෙන් සුවපත් වෙම්වා. සුව සේ ජීවත් වෙම්වා.

උතුරු දිශාවේ සිටින සියලු සත්වයෝ.... උතුරු අනු දිශාවේ සිටින සියලු සත්වයෝ... නැඟෙනහිර දිශාවේ සිටින සියලු සත්වයෝ.... නැඟෙනහිර අනු දිශාවේ සිටින සියලු සත්වයෝ... දකුණු දිශාවේ සිටින සියලු සත්වයෝ.... දකුණු අනු දිශාවේ සිටින සියලු සත්වයෝ.... බටහිර දිශාවේ සිටින සියලු සත්වයෝ..... බටහිර අනු දිශාවේ සිටින සියලු සත්වයෝ.... උඩ දිශාවේ සිටින සියලු සත්වයෝ......

යට දිශාවේ සිටින සියලු සත්වයෝ කායික පීඩා නැත්තෝ වෙත්වා. මානසික පීඩා නැත්තෝ වෙත්වා. කායික සුවයෙන් සුවපත් වෙත්වා. මානසික සුවයෙන් සුවපත් වෙත්වා. සුව සේ ජීවත් වෙත්වා.

වෙසක් පුර අටවක

අප්‍රේල් 23 බ්‍රහපතින්දා අ.භා. 08.55න් පුර අටවක ලබා 24 සිකුරාදා අ.භා. 07.28න් ගෙවේ.
 24 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   

Full Moonඅමාවක

මැයි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]