|
සුවපත් මනසක්
සුවබර දිවියක් -
50 කොටස:
ස්වයං වෛරය හා හෙළාදැකීම බැහැර කරන්නේ මෙලෙසයි
ආචාර්ය
හේනේපොල ගුණරතන මහ නාහිමි
අංගුලිමාල පිළිබඳ කතාව අපට උගන්වන පාඩමක් ඇත. එනම් ඇතැම්විට සැරපරුෂ ලෙස පිටතින්
පෙනෙන මිනිසුන් ඇත්ත වශයෙන්ම එසේ නො වන බවයි. ජීවිතවල සිදුවන ඇතැම් සිද්ධි නිසා
ඔවුහු අයහපත් ලෙස හැසිරීමට පෙළඹෙති. අංගුලිමාල මිනීමරුවකු වූයේ ගුරු ගෞරවය නිසා ය.
එනිසා දරුණු අපරාධකරුවන්ට පමණක් නොව අප සියලු දෙනාට ද යහපත් මෙන්ම අයහපත් ලෙස
ක්‍රියා කිරීමට හේතුකාරක වන කරුණු අපමණ තිබිය හැකි ය.
මෛත්‍රී භාවනාව පුරුදු කිරීමට තවත් ක්‍රමයක් ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි. ඔබ
මෙහිදී ද භාවනාව ආරම්භ කරන්නේ ස්වයං වෛරය හා හෙළාදැකීම සිතින් බැහැර කිරීමෙන්
අනතුරුව ය. භාවනා වාරයක් ආරම්භයේ දී තමාට ම මෙසේ කියා ගන්න. එය අවංකව ම විශ්වාසයෙන්
යුතුව ම සිතින් සිතන්න.
මගේ සිත මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා සිතිවිලිවලින් පිරේවා. මම ත්‍යාගශීලී
වෙම්වා! මෘදු වෙම්වා! සන්සුන් වෙම්වා! සතුටින් සමාදානයෙන් සිටිම්වා! නිරෝගි වෙම්වා!
මගේ හදවත මුදු මොළොක් වේවා! මගේ වචන ප්‍රියමනාප වේවා! මගේ ක්‍රියා කරුණාවෙන් යුතු
වේවා!
මා දකින, අසන, ආඝ්‍රාණය කරන, රස විඳීන, ස්පර්ශ කරන, සිතන සියල්ල මෛත්‍රී, කරුණා,
මුදිතා, උපේක්ෂා වැඩීමට මට උදව් වේවා! මේ සියලු අත්දැකීම් ත්‍යාගශීලී බව හා මෘදු
මොළොක් බව වැඩීමට උපකාරී වේවා! මේ සියල්ල මට සන්සුන් වීමට උපකාරී වේවා! මිත්‍රශීලී
බව වැඩේවා! මේ සියලු අත්දැකීම් සමාදානය හා සතුට ගෙන දේවා! බිය, සංකාව, ආතතිය,
අසහනය, නොසන්සුන් බවින් මිදීමට මේ සියලු අත්දැකීම් මට උපකාරී වේවා!
ලෝකයේ කො තැනක වුවත්, කොයි දිසාවක වුවත්, මිනිසුන් සතුටින්, සාමයෙන් හා මිත්‍රශීලී
බවෙන් පිළිගැනීමට මට හැකි වේවා! සෑම දිශාවකින් ම මා ලෝභය, තරහ, පිළිකුල, වෛරය,
ඊර්ෂ්‍යාව හා බියෙන් ආරක්ෂා වේවා!
මෙසේ අප තුළ මෛත්‍රිය වඩා ගන්නා විට, අනෙක් අය තුළ ද මේ කාරුණික මෘදු ස්වභාවය ඇති
බව දැක ගැනීමට පුරුදු වෙමු. ඇතැම්විට එය සොයා ගැනීමට ගැඹුරට හාරා බැලීම අවශ්‍ය
වෙයි. ඇතැම්විට එය මතුපිටට ආසන්නයේ ම දැකගත හැකි වෙයි.
කසළ තුළින් දැක ගැනීම
මහමඟ දී කිළිටි රෙදි කැබැල්ලක් අහුලා ගන්නා භික්ෂුවකගේ කතාව බුදුරජාණන් වහන්සේ
විසින් දේශනා කොට තිබේ.
රෙදි කඩමල්ල කෙතරම් කිළිටි ද කිවහොත් එය අතින් ඇල්ලීමට පවා මේ භික්ෂුව කැමති වූයේ
නැත. ඔහු එය කකුලින් එහා මෙහා කර දූවිලි ගසා දමා, ඉතා පිළිකුලින් යුතු ව ඇඟිලි
දෙකින් අල්ලා තමා වෙතින් ඈත්කර බලයි. මෙසේ කරන අතරම, මේ කිළිටි කඩමල්ලෙන් යම් වැඩක්
ගත හැකි බව දකින ඔහු එය ගෙන ගොස් කිහිපවිටක් නැවත නැවත සෝදා බලයි. අවසානයේ සේදූ ජලය
පිරිසිදු බවත්, අර දූවිලි හා දැලි කුණු අතරින් ප්‍රයෝජනවත් රෙදි කඩක් මතු වූ බවත්
දකියි. මෙවැනි රෙදි කැබලි කිහිපයක් එකතු කර ගතහොත් මෙම රෙදි කඩින් සිවුරක් තනා ගත
හැකි බවත් භික්ෂුව අවබෝධ කර ගනී.
මේ අන්දමින් ම, පුද්ගලයකුගේ නපුරු වචන නිසා ඔහු කිසිම වැඩකට නැති කෙනකු ලෙස පෙනී යා
හැකි ය. මෛත්‍රිය දැක්වීමට ඔහුට කිසිසේත් ම පුළුවන්කමක් ඇතැයි සිතිය නොහැකි තරම් ය.
එහෙත් සම්මා වායාම (යහපත් වෑයම) අවශ්‍ය වන්නේ මෙහිදී ය. මේ පුද්ගලයාගේ දළ ගොරෝසු
පෙනුම යට ඉතා උණුසුම් හදවතක් සහිත දිලෙන මැණිකක ස්වභාවය ඇති කෙනකු සිටිය හැකි ය.
කෙනකු නපුරු වචන කතා කළ ද, ඇතැම්විට ඔහුට අනුකම්පාසහගත කරුණාවෙන් ක්‍රියා කළ හැකි
ය. කතාව කෙබඳු වුවත් ක්‍රියාව යහපත් විය හැකි ය. මෙබඳු පුද්ගලයන් බුදුරජාණන් වහන්සේ
විසින් හඳුන්වන ලද්දේ මතුපිට පාසි සහිත පොකුණකට සමාන කරමින් ය. ජලය අවශ්‍ය නම් පාසි
ඉවත් කරගත යුතු ය. එසේම කෙනකු තුළ ඇති දයාබරිත හදවත දැකීමට නම් ඇතැම්විට අපට ඔහුගේ
මතුපිටින් පෙනෙන අඩුපාඩු නොතකා හැරිය යුතු වෙයි. |