|
සත්‍යය යනු කුමක්ද? -
01:
සත්‍යයේ පිහිටමින්
සත්‍යය
දිනවන්න
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
බුත්තල
ඤාණාධාර හිමි
බෞද්ධ දාර්ශනික ඉගැන්වීම් අතර ‘සත්‍යය’ යන සංකල්පය තරම් බුහුමනට පත් වූ වෙනත් වදනක්
නොමැත.
ලොව බුදුවරු පහළ වනුයේ අවිද්‍යාන්‍ධකාරයෙහි ගැලී, ලොව සැබෑ තතු වටහා ගැනීමට අසමත්
වූ සත්වයන්ට ලොව සැබෑ තතු අවබෝධ කරලීමට ය.
සිද්ධාර්ථ මහ බෝසතාණෝ සතර පෙරනිමිති දැකීම් වශයෙන් පෙන්වා දෙනුයේ ලොව සැබෑ තතු
පළමුවරට දුටු අවස්ථාව යි. ජරා, මහලු, ව්‍යාධි (ලෙඩ රෝගවලට මුහුණපෑම) සහ මරණ
(ජීවිතයේ අවසානය වන මරණය) යන අවස්ථාවලට පත්වූවෝ මින් පෙර දැක නො සිටියහ. මෙහිදී ලොව
සැබෑ තතු දුටු බෝසතාණෝ මිනිසා ජීවිත කාලය පුරාවට ජාත්‍යාදී දුකට පත් වීම නිසා විඳීන
දුකෙන් මුදා ගැනීමේ මාර්ගයක් කල්පනා කළහ. ඒ අනුව ලොව සැබෑ තතු සෙවීමේ (සත්‍ය
ගවේෂණය) අරමුණින් උන්වහන්සේ පැවිදි රූපය තෝරාගෙන, ඒ ඔස්සේ ආර්ය පර්යේෂණය ආරම්භ කළ
බවත්, එම පර්යේෂණ ක්‍රමවේදයෙන් ලොව සැබෑ තතු අවබෝධ කර ගත් ආකාරය පිළිබඳවත් අරිය
පරියේසන සූත්‍රයේ සඳහන් වේ. සත්‍යය යනු කුමක් ද? යන්නත්, එම සත්‍යය වටහා ගැනීමට
කුසල ගවේෂණයෙහි යෙදුණු බවත් (කිං කුසල ගවේසි) අරිය පරියේසන සූත්‍රයෙන් පැහැදිලි ය.
ආලාරකාලාම හා උද්දකරාමපුත්‍ර වැනි ගුරුන් වෙත ගොස් ඔවුන් වෙතින් උගත් දෙයින් සැබෑ,
සදාතනික සත්‍යය එහි නො වන බව උන්වහන්සේ පසක් කරගත්හ. පසුව උන්වහන්සේ අනුපමේය දුෂ්කර
ප්‍රතිපදාවක් අනුගමනය කොට, මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ සිත වැඩීමෙන් ලොව සැබෑ යථාර්ථය
වටහා ගනිමින් තුන් ලොවට ම මහෝත්තම වූ සේක. ඒ සත්‍යය අවබෝධ කරලීමේ සන්තුෂ්ටිය
බුදුරදුන් විසින් ම උදානයක් ලෙසින් ප්‍රකාශ කොට වදාළේ එහෙයිනි.
පස්වග තවුසන් මූලික කර ගෙන පළමු වරට ලොවට සත්‍යය පෙන්වා දෙමින් දම්සක් පැවතුම්
සූත්‍රය වදාළ අතර, එහිදී බුදුරදුන් සත්‍යය සතරක් සොයා ගත් බවත්, ලොව පවත්නා යථාර්ථය
ලෙස මෙම සිව්සස් දහම වදාළහ. මෙතැන් සිට පන්සාළිස් වසක් දේශිත සම්බුද්ධ දේශනාව තුළ
අන්තර්ගත දහම් කරුණු අතර, සත්‍යයෙහි පමණක් ඇති වටිනාකම සඳහන් කර තිබෙන අවස්ථා
කිහිපයක් මෙසේ ය.
1) සච්චං චේ අමතාවාචා - ඒසධම්මෝ සනන්තනෝ :- සත්‍යය අමෘතය වැනි ය. එය සදාතනික
ධර්මයකි.
2) සච්චෙ අටත්‍ථ ච ධම්මෙ ච - අනුස්සතො පතිට්ඨිතෝ :- සත්පුරුෂයෝ හැමකල්හි ම
සත්‍යයෙහි හා ධර්මයෙහි පිහිටා කටයුතු කරති.
3) සච්චං හවේ සාධුතරං රසානං :- රස අතර උත්කෘෂ්ට ම රසය සත්‍යය රසය යි.
4) සච්චේන කිත්තිං පප්පොති :- සත්‍යය කතා කිරීමෙන් කීර්තිය පැතිර යයි.
5) සච්චමේව භාසෙය්‍ය :- සත්‍යය ම කියන්න.
6) සච්චං ධම්මෝ ධිතී චාගො - සවෙ පෙච්ච න සෝචති :- සත්‍යවාදියා පරලොව දී ශෝක නො
කරයි.
පූර්වෝක්ත දේශනා පාඨවලින් සත්‍ය වචනය කෙ තරම් උතුම් ද යන්න පැහැදිලි ය. මෙහි දී
‘සත්‍යය’ යනු කුමක්ද යන්න මැනවින් වටහා ගැනීමට එහි විරුද්ධ පදය වන අසත්‍යය හෙවත්
බොරුව පිළිබඳ විමසා බැලිය යුතු ය. සත්‍යය යම් තරමකට පැසසුමට ලක් වන්නේ ද, එසේ ම
අසත්‍යය ද ගැරහුමට ලක්වන බව සිතිය යුතු ය. මේ නිසා සත්‍යය වචනය හෙවත් යහපත් උතුම්
වචනය තරම් සිත් සනහන අමා වදනක් තවත් නොමැත. එය ලොව සදා පවතින ධර්මයකි. මෙලොව පහළ වූ
ශ්‍රේෂ්ඨම සත්‍යවාදී උතුමාණෝ මෙන් ම සත්පුරුෂයාණෝ ද බුදුරජාණන් වහන්සේ ය. ඒ උතුම්
සත්‍යය ධර්මයෙහි පිහිටියෝ ද සත්‍යවාදී ව දැහැමින් දිවි ගෙවනු ලැබේ. ඒ නිසා මිනිසුන්
රවටමින්, මුළාවේ හෙළන ලෝකයා තුළ විශ්වාසය හා සමගිය වඩවන සත්‍යවාදී බව තරම් උතුම්
රසයක් තවත් නොමැත. යම් අයකු මේ උතුම් ධර්මය තුළ පිහිටා කටයුතු කිරීමෙන් කීර්තිය දස
දිගෙහි ම පැතිරී යමින් දෙවියන් වෙත ද ගුණ සුවඳ විහිදේ. ඒ නිසා සත්‍යය වචන කතා කිරීම
දෙලොව ම යහපතට මෙන් ම නිවන් සාධනය පිණිස ද උපකාරී වේ. එලෙස කටයුතු කළාහු පරලොව දී
ශෝක කිරීමට හේතු නොමැත. සත්‍යයක් යනු ඇත්තක් ය. එය වෙනස් විය නොහැකි, වෙනස් කළ
නොහැකි සදාතනික සත්‍යයක් විය යුතු ය. කිරි සුදු පැහැති ය. මෙය සත්‍යයකි. එහෙත් මෙම
සත්‍යය අසත්‍යයක් බවට පත් කිරීමට පුළුවනි. එයට වෙනත් වර්ණාදී යමක් මිශ්‍ර කළ විට
කිරෙහි වූ සුදු පැහැති බව නැති වී යයි. එහෙත් බුදුරදුන් පෙන්වා දුන් සත්‍යය වනාහි
කිසිවකුට කිසි ලෙසකින්වත් වෙනස් කළ නොහැකි ය. ආර්ය සත්‍යය යනු එය යි.
සුත්ත නිපාතයේ දී බුදුරදුන් පෙන්වා දෙනුයේ ලොවෙහි පවතිනුයේ එක ම සත්‍යයක් බවත්,
සත්‍යය දෙකක් නොමැති බවත් ය. (ඒකම්හි සච්චං - න දුතියමත්ථි) ලොව තුළ පරමාර්ථ වශයෙන්
ගත් කල පවතින එක ම සත්‍යය වනාහි නිර්වාණ ධාතුව යි. බුදුරදුන් විසින් ජාති, ජරා,
ව්‍යාධි, මරණාදී දුක්වලින් පෙළෙන සත්වයන් ඒ දුකෙන් ගලවා ගැනීමට පෙන්වා දුන් උතුම්
සත්‍යය යි. තයෝධම්ම සූත්‍රයේ දී බුදුරදුන් පෙන්වා දෙනුයේ එකී ජාත්‍යාදී ධර්ම සමාජය
තුළ විද්‍යමාන වන නිසා පමණක් සම්බුදු දහමෙහි පැවැත්ම පවතින බවත්, ලොව පවත්නා
සදාකාලික දුක්ඛත්වයට පිළිතුරක් වශයෙන් මෙම ලෝක සත්‍යය වදාළ බවත් ය.
බුදුරජාණන් වහන්සේ තවදුරටත් වදාළේ එක් එක් පුද්ගලයා විසින් තම තමාගේ ඥානයේ ප්‍රමාණය
මත යම් යම් සත්‍යයන් පිළිබඳ ප්‍රකාශ කළත්, ලොව තුළ බොහෝ සත්‍යයන් නොමැති බව ය. (න
හෙව සච්චානි බහූනි නා නා) බුදුරදුන් විසින් ප්‍රථම දහම් දෙසුමේ දී සත්‍යය සතරක්
වදාළ බව ඉහත දී සඳහන් කළෙමි. එම කරුණු පිළිබඳ විමසා බැලීමේ දී පෙනී යන්නේ දම්සක්
පැවතුම් සූත්‍රයේ දී සත්‍යය සතරක් දේශනා කර නොමැත. එකම සත්‍යයක ප්‍රස්තර සතරක්
දේශනා කර ඇත. එනම් දුක පිළිබඳ වූ සත්‍යය යි. දුක නම් වූ සත්‍යයෙහි පැතිකඩ සතරක් බව
පැහැදිලි ය. එසේ ම සිව්සස් දහම් පිළිබඳ වදාළ සූත්‍ර දේශනා අතර, පූර්වෝක්ත සත්‍යය
සතර ම, සත්‍යය දෙකකට ලඝු කොට දක්වා තිබෙන අවස්ථා ද වේ.
එනම් මම දුකින් මිදීම ද, ඉන් නිදහස් වීම ද හැර අන් යමක් නො වදාරන බව යි.
සම්බුද්ධ දේශනය වනාහි මෙලොව පවත්නා උතුම් ම සත්‍යය වචනය වේ. “ඒතෙන සච්ච වජ්ජේන
සොත්ථි තේ හෝතු සබ්බදා” යනාදී වශයෙන් පිරිත් දේශනා අතරතුර පවසන්නේ ඒ නිසා ය. සත්‍යය
වචනයට ඇති බලය ශ්‍රේෂ්ඨ ය. යමෙක් තමා තුළ සත්‍යවාදී බව දියුණු කරන්නේ නම් වචනයෙන්,
ක්‍රියාවෙන් හා සිතින් සත්‍යය තුළ පිහිටා ක්‍රියා කළ යුතු ය. සත්‍යවාදී බව සිහිපත්
කොට සත්‍යය ක්‍රියාව වැනි උතුම් ක්‍රියාවල යෙදීමට ද පුළුවනි. බුද්ධත්වය සඳහා වූ
බුද්ධකාරක ධර්ම නම් වූ පාරමී පූරණය යනු ගුණ ධර්ම දහයකින් සිය චිත්ත සන්තානය උපරිම
මට්ටමට දියුණු කරලීම යි. ඒ අතර සත්‍යවාදී බව ද පාරමිතාවකි. එසේ ම ගිහි බෞද්ධයාගේ
නිත්‍ය ශීලය තුළ බොරුවෙන් වැළකී සත්‍යවාදී ව දිවි ගෙවීමට අනුදැන වදාරා තිබේ.
මතු සබැඳේ. |