ලක් දෙරණ මෙත් මලින් සරසා සාමයේ පා ගමන ඇරඹෙයි
දිල්හානි ජයවර්ධන
අවිහිංසාවාදයේ සහ සාමයේ පණිවිඩය ලොවට ගෙන යමින් අමෙරිකාවේ ප්‍රාන්ත හරහා දින 110ක්
කිලෝමීටර් 3700ක් පමණ පාද චාරිකාවේ යෙදුණු වියට්නාමයේ පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ මහා
සඟරුවන මහනුවර අස්ගිරිය ශ්‍රී විජය සුන්දරාරාම විහාරාධිකාරී, අමෙරිකාවේ ටෙක්සාස්
ප්‍රාන්තයේ ඇලන් හි ගෝතම බුද්ධ විහාරයේ විහාරාධිපති, ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති
හිමිගේ ආරාධනයකට අනුව මෙරටට වැඩම කළේ පසුගිය 21 වැනි දා ය.
චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය යන සම්බුදු වදන සමාජගත
කිරීමේ අරමුණින් ඇරඹි මේ සාම පා ගමන ධුතාංගයකි. බුද්ධ චීවරය වෙනුවෙන් කැපවී සිටින
භික්ෂූන් වහන්සේ නිහඬව පාද චාරිකාවේ යෙදීම මෙයින් සිදු වේ.
පසුගිය 21 වැනි දා උදෑසන මෙරටට වැඩම කළ පඤ්ඤාකර හිමියන් ඇතුළු මහා සඟරුවන අත්තනගල්ල
රාජමහා විහාරයට වැඩම කළ අතර, එහිදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පඤ්ඤාකර හිමියෝ
මෙලෙස අදහස් දැක්වූහ.
“පාර දෙපස සිටින ජනතාවට අප ආචාර කළත් ශබ්ද නඟන්නේ නෑ. අපේ ස්වාමීන් වහන්සේ හුස්ම සහ
පියවර කෙරෙහි සිහියෙන් යුතුවයි ගමන් කරන්නේ. අප ජනතාව සමඟ කතා කරන්නේ දහවල් දානය
ලබා ගන්නා ස්ථානයේ දී හෝ රාත්‍රියේ දී විවේක ගන්නා ස්ථානයේ දී පමණයි. එමනිසා මේ සාම
පා ගමනේ පණිවිඩය නිසි ලෙස සමාජගත වීමට නම් සෑම අඩියක් පාසාම අපි පසුපස නො එන ලෙස මම
සිවිල් ජනතාවගෙන්, යූටියුබ්, ටික්ටොක් සහ මාධ්‍ය ආයතනවලින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
අප වටා විශාල පිරිසක් එකතු වුණොත් අවුල්සහගත තත්වයක් ඇති වෙන්න පුළුවන්. අපට සහාය
දැක්වීමට වතුර බෝතලයක්, රසකැවිලි වගේ දෙයක් පූජා කිරීමට කැමැත්තෙන් සිටින බව මම
දන්නවා. ඒවා පූජා කිරීමේදීත් සිහියෙන් කළ යුතුයි. කරුණාකර එකිනෙකා තල්ලු කර ගන්න
එපා. ස්වාමීන් වහන්සේ සහ ආලෝක ඇල්ලීමට උත්සාහ කරන්න එපා. පාර දෙපස විශාල පිරිසක්
සිටින විට අපට ගමන් කිරීමට ඉඩ මදි වෙන්න පුළුවන්. ගෞරවනීය ලෙසත්, කල්පනාකාරී ලෙසත්
කටයුතු කරමින් පින් රැස් කර ගන්නා ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. “
පසුව අනුරාධපුරයට වැඩම කළ උන්වහන්සේ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්
බැහැදැක ආශීර්වාද ලබා ගත් අතර, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පූජනීය අංකුරය පිළිගෙන
රුවන්වැලි මහා සෑරදුන් අබියස දී විශේෂ ආගමික වතාවත්වල නිරත වූහ. අනතුරුව පෙරේදා
(22) ඓතිහාසික රංගිරි දඹුලු රාජමහා විහාරය අසලින් මේ සාම පා ගමන ආරම්භ විය. ඒ අනුව
22 වැනි දා (පෙරේදා) දඹුල්ලේ සිට මාතලේ දක්වාත්, 23 වැනි දා (ඊයේ) මාතලේ සිට මහනුවර
දක්වාත්, 24 වැනි දා (අද) මහනුවර සිට බෙලිගම්මන දක්වාත්, 25 වැනි දා (හෙට)
බෙලිගම්මන සිට තෝලංගමුව දක්වාත්, 26 වැනි දා (අනිද්දා) තෝලංගමුවේ සිට යක්කල
දක්වාත්, 27 වැනි දා යක්කල සිට කැලණිය දක්වාත්, 28 වැනි දා කැලණියේ සිට කොළඹ
දක්වාත් මේ සාම පා ගමන සිදු කෙරෙන අතර, 28 වැනි දින සිට දින තුනක් කොළඹ හුනුපිටිය
ගංගාරාම විහාරස්ථානයේ දී මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටිති.
සාම පා ගමනේ භික්ෂූන් වහන්සේ පෙරේදා (22) මාතලේ අලුවිහාරයේ ද ඊයේ (23) මහනුවර
මහමළුවේ ද රාත්‍රී නවාතැන් ගෙන ඇති අතර, අද (24) දින බෙලිගම්මන විහාරයේ නවාතැන්
ගැනීමට නියමිත ය. හෙට (25) දින තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ද , අනිද්දා (26)
යක්කල අබේසේකරාරාමයේ ද , 27 වැනි දා කැලණිය රාජමහා විහාරයේ ද , 28 වැනි දා සිට දින
තුනක් කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරයේ ද නවාතැන් ගැනීමට නියමිත ව ඇත.
රජයේ ආරක්ෂක අංශ පනවා ඇති නීතිරීතිවලට අනුකූල ව සැදැහැවතුන්ට මේ භික්ෂූන් වහන්සේ
රාත්‍රී නවාතැන් ගන්නා ස්ථාන සහ දානය ලබා ගන්නා ස්ථානවල දී ධර්මය ශ්‍රවණය කිරීමට
මෙන්ම උන්වහන්සේ දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
|