දීමේ සිතිවිලි
යටපත් කර ගන්න එපා
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
අපගේ ශාක්‍යමුනි වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන්පා බොහෝ කලකට පසු සිදු වූ
කතාවක් තමා මේ කියන්න යන්නේ.
අතීතයේ දඹදිව මගධ දේශයේ තිබුණා, ‘මචල’ කියලා ගමක්. ශ්‍රද්ධාවෙන් පිරුණු ඒ වගේම හොඳට
කෘත ගුණ හඳුනන අය තමා මේ ගමේ ජීවත් වුණේ. මේ හැමෝම බමුණු කුලයට අයත් උදවිය. එහෙම
වුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමා අනුගමනය කළේ.
මේ ජනතාව අතර ජීවත් වුණා ‘මෝරිය’ නමින් බමුණෙක් සහ ‘සේනානි’ නමින් බැමිණියක්. මේ
අඹු - සැමියන් දරුවන් හදා වඩා ඔවුන් පෝෂණය කර විවාහ කර දුන්නා. දෙන්නා සමන්පිච්ච
වැල් දෙකක් එතී තිබෙනවාක් මෙන් ආදරයෙන් ජීවත් වුණා. දෙන්නාට දෙන්නා ගුණ ධර්ම ආරක්ෂා
කරමින්, සමඟියෙන් හිටියා. ඔවුන් විවාහ වූ දවසේ සිට දන් දෙන්න පුරුද්දක් ඇති කර
ගත්තා. භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වඩිනකම් බලාගෙන ඉඳලා හැමදාම මොනවා හෝ දෙයක්
පූජා කරනවා. එහෙම දන් දෙන ගමන් පවුලේ යුතුකම් ද ඉටු කරනවා. කලකදී ක්‍රමයෙන් ධනය
පිරිහී ගියා. දරුවන් සියලු දෙනා ම වෙන ම ජීවත් වෙන්න පටන් ගත්තා. එතැන් සිට මේ
දෙන්නා හරිම අමාරුවෙන් තමා ජීවත් වුණේ. ඒ වුණත් දන් දෙන එක නම් නතර කළේ නෑ.
දිනක් දන් දෙන්න නිවෙසේ කිසිවක් සොයාගන්න නැති වුණා. දවසක් මේ මහලු බැමිණිය තමන්ගේ
සැමියා අමතා කියනවා,
‘ස්වාමිනි, අද දන් දෙන්න ගෙදර මොකුත්ම ඇත්තේ නෑ. අපට දන් දෙන එක නතර කරන්න වෙයි ද?
මම නම් ඒකට කැමැති නෑ. අපි කොහොම හරි යමක් දන් දෙන්න ඕනෙ. මොකද දැන් කරන්නේ?
‘කියලා. ඉතින් මේ දෙන්නාම දානය පිළිබඳ යහපත් ගුණ තිබූ නිසා ගැටලු ආවත් දාන චේතනාව
යටපත් කළේ නෑ. ලැබුණ දවසක දන් ටිකක් ආයෙත් දෙමුයි කියලා බමුණාට කියන්න තිබුණා. ඒ
වගේම බැමිණියටත් එහෙම පිළිතුරක් සකසාගෙන බමුණාගේ හිතේ පහළ වෙන දාන චේතනාව යටපත්
කරන්න තිබුණා. දෙන්නා ම එකිනෙකාට එහෙම කිව්වේ නෑ. දෙන්නාට ම ඕනෙ කොහොම හරි පෙර
පවත්වා ගෙන ආ දානය දිගට ම කරගෙන යන්න.
බැමිණියගේ මේ කතාව අසා බමුණා එක උපායක් කල්පනා කරන්න වුණා. කොහොම හරි දන් දෙන්න ඕනෙ
කියන අදහස ඇති කර ගත්තා. ඊට පස්සේ තමන්ගේ බැමිණිය අමතා ඇය සනසමින් මෙහෙම කියනවා .
‘ඔබ මේ ගැන එතරම් හිතන්න එපා. අපි කොහොම හරි දන් දෙන්න යමක් හොයා ගමු. ගොඩක් ම
වටින්නේ තමන්ගේ දහදිය වගුරුවා හොයා ගත් ධනය දන් දෙන එක. ඒ බව බුදුරජාණන් වහන්සේ
දේශනා කර තිබෙනවා. ඉතින් අපි දෙන්නත් ඒ බව හොඳට දැනගෙනනේ මෙච්චර කලක් දන් දෙන්නේ. ඒ
නිසා අපේ සිත, කය, වචනය, වෙහෙසා මොනවා හරි දෙයක් හොයාගෙන දන් දෙමු‘යි කියලා.
ඊට ටික වේලාවකට පසු බමුණා නැවතත් බැමිණිය අමතා කියනවා.
‘මට ඔය කුස්සියේ තියෙන මල්ලක් හරි, වට්ටියක් හරි භාජනයක් හරි හෝදලා පිරිසිදු කර
ගෙනත් දෙන්න. මම දන් දෙන්න යමක් ගෙන එන්නම් කියලා. පසුව බමුණා භාජනයක් ගෙන පිටත්
වුණා. හැබැයි බිරියට කිව්වේ නෑ කොහේද යන්නේ කියලා. මේ වයසක බමුණා වාරු ගෙන හෙමින්
හෙමින් ගම්මානයේ කෙළවර තිබූ මහා කෑලෑවට ඇතුළු වුණා. ඇවිදගෙන යන ගමන් කෑමට හොඳ පළා
වර්ග, ලොකු, පොඩි ගෙඩි වර්ග, අල වර්ග එකතු කරමින් ටිකෙන් ටික වනාන්තරය ඇතුළට ම
ගියා. දැන් භාජනය පිරෙන්නම පලතුරු, පළා වර්ග, අල වර්ග එකතු වෙලා. ඒ නිසා නැවතත් ගමට
එන්න පිටත් වුණා. ඒ එන මාවතේ දකින්න ලැබුණා, පිරිසිදු වතුර ගලන ලස්සන ඔයක්. ඉතින්
ගමන් වෙහෙසත් එක්ක ඇඟපත ටිකක් සීතල කරගෙන යන්න ඕනෙ කියන අදහසින් ඔයට බැස්සා. සීතල
පිරුණු වතුරේ ගමන් විඩාව නැති වෙනකම් නාන්න පටන් ගත්තා. බමුණාට දැන් ගොඩට එන්න
හිතෙන්නෙ ම නැති තරම්. මේ අතරේ ඔය සමීපයේ තිබුූ විශාල ගහකට අධිගෘහිත දෙවියෙක්
කිමිදි කිමිදී නාන මහලු බමුණා දිහා බලලා හිතුවා, මේ මනුෂ්‍යයා සත්පුරුෂයෙක් ද?
අසත්පුරුෂයෙක් ද?. ටිකක් පරීක්ෂා කර බලන්න ඕනෙ කියා. පසුව බමුණාගේ මෙලොව වගේම අතීත
ජීවිතය ගැනත් දිවැසින් බැලුවා. එතකොට දකින්න ලැබුණා, මේ ඉන්නේ ඉතාම සත්පුරුෂ,
ගුණදම් රකින, නිතර දන් දෙන කෙනෙක් බව. ඒ වගේම දන් දීමට යමක් නිවෙසේ නැති නිසා
තමන්ගේ වයස ගැනවත් නො හිතා මේ වනාන්තරයට ඇවිත් ඉන්නේ දන් දෙන්න යමක් ගෙන යන්න. ඒ
නිසා මොහුට පිහිට වෙන්න ඕනෙ කියා හිතා ඔය ඉවුරේ ඇති වට්ටියේ තියෙන පලතුරු, පළා වර්ග
සහ අල වර්ග සියල්ල ම රත්රන් බවට පත් කළා. බමුණා ස්නානය කර ඇවිත් බලනවිට දුටුවේ
තමන්ගේ පලතුරු වට්ටියේ හැම දෙයක් ම රත්රන් බවට පත්ව තිබෙනවා. මෙය දුටු ‘මෝරිය’
බමුණා බොහොම බයට පත් වුණා. ළං වුණේ නෑ. පැත්තකට වෙලා බලාගෙන හිතුවා මොකද මේ සිදු
වුණේ කියලා. මම දුක සේ හොයා ගත් සියල්ල ම දැන් රත්රන් බවට පත් වෙලා. මේක නොපෙනෙන
බලවේගයකින් වූ දෙයක්. මෙය ගත්තොත් මට විපතක් වෙයි. බියෙන් සිටින මොහු අසලට අර
දෙවියා මනුෂ්‍ය ස්වරූපයෙන් පෙනී සිට මෙහෙම කියනවා
‘බමුණාණෙනි, බය වෙන්න එපා. මමයි මේ සියල්ල රත්රන් බවට පත් කළේ. ඔබ මේ සියල්ල ගෙන
යන්න. ගිහින් අභිමත විදිහට දන් දෙමින් සිල් රකිමින් සුව සේ ජීවත් වෙන්න‘ කියලා.
එතකොට මේ බමුණා දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා, පින්වත්, දෙවියෙනි, ඔබට මෙවැනි දෙයක්
කරන්න තරම් තේජසක් තිබෙනවා නම් මම මේ අහන ප්‍රශ්නයටත් ඔබට පිලිතුරු දෙන්න පුළුවන්.
ඒ නිසා මට මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.
ඔබ මේ සියල්ල රත්රන් බවට පත් කර මට දෙන්නේ ඇයි.? මම ඔබගේ පෙර ඥාතියෙක් ද? යහළුවෙක්
ද? මගෙන් කිසියම් උපකාරයක් ඔබ ලබාගෙන තිබේ ද? කුමක් නිසා මට මේ තරම් ධනයක් දෙන්නේ
ද? එසේ නැතිනම් මා විසින් කරන ලද කුසලයක් නිසා මේ සියල්ල මට දෙන්නේ ද? මේ කාරණය මට
පහදා දෙන්නයි ඉල්ලා සිටියා. එවිට දෙවියන් බමුණාගේ අතීත ආත්මය සිහිකරමින් බලා
කියනවා.
‘බමුණ, මම දේවතාවකුව සිටි පමණින් අසත්පුරුෂයන්ට පිහිට වන්නේ නෑ. ඔබගේ අතීත කුසලයක්
නිසාම තමයි මේ සම්පත් ඔබ වෙත හිමි වුණේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක්තරා
භික්ෂූන් වහන්සේ නමක් සොරු රංචුවකට අසුව උන්වහන්සේගේ පාත්‍රය, සිවුරු පිරිකර ආදී
සියල්ල පැහැර ගත්තා. ඊට පස්සේ උන්වහන්සේ කොළ අතු ඇඳගෙන වනාන්තරය මැදින් ආරාමයට වඩින
කොට උන්වහන්සේට ඔබ වස්ත්‍රයක් පූජා කළා. ඒ වගේම නිවෙසට වැඩමවාගෙන ගොස් රස ආහාරවලින්
සංග්‍රහ කළා. ගෞරව දක්වමින් උන්වහන්සේ පසු පස ගමන් කළා. මේ විදිහට ඒ ආත්මයේ දී ඔබ
පින්කමක් කරගෙන තිබෙනවා. මේ ආත්මයේත් ඔබ පින්කම් කරනවා. එහි විපාකය තමා මේ ආකාරයට
ඔබට විඳින්න ලැබෙන්නේ‘යි ලස්සන කතා පුවතක් සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා.
බලන්න, පින්වත්නි දන් දීමේ විපාකය අවශ්‍ය ම මොහොතක විපාක දුන් හැටි. මේ බමුණාටත්,
බැමිණියටත් දාන චේතනාව ඉවත දමන්න හේතු දහසක් තිබුණත් එහෙම කළේ නැහැ. තමන්ගේ දාන
චේතනාව ඉටුකර ගන්න උපක්‍රමයක්මයි හිතුවේ. ඒ නිසා සත්පුරුෂයන් ඇසුරු කරන්න. එවිට දන්
දෙමින්, සිල් රකිමින් ජීවිතය පවත්වන්නට අවස්ථාව ලැබෙනවා. එය මෙලොව වගේම පරලොවත්
සාර්ථක කර ගන්නට හේතු වෙනවා. |