[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අකුසල් දුරැර තිසරණයෙහි පිහිටමු

අකුසල් දුරැර තිසරණයෙහි පිහිටමු

“යේ කේචි බුද්ධං සරණං ගතා සේ - න තේ ගමිස්සන්ති අපායං” (යමෙක් බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම් ඔහු අපායේ නොයයි කියා ධර්මයේ සඳහන් වෙනවා.)

බෞද්ධයන් සියලු දෙනා ම “බුද්ධං සරණං ගච්ඡාමි” කියා “මම බුදුන් සරණ යමි.” යි කියූ අයයි. එනමුදු කාලයක පටන් මියයන බොහෝ දෙනා පේ‍්‍රත ලෝක, නාග ලෝක, තිරිසන් ලෝකවලත් ඉපිද ඇති වග නම් අපට සිතෙනවා. එනම්, කටින් කියූ පමණින් සරණ නොලැබෙන බව නොවේද මෙහි අදහස.

ඒ වගේම අද අපි මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත් වුණාට මරණින් මත්තේ කවුරු වේවි ද කියලා කියන්න බැරි අනතුරක් අපේ ජීවිතවල තිබෙනවා. එයට හේතුව, අපි සතර අපායට වැටෙන ස්වභාවයේ ඉන්න අනියත ගති ඇති අය නිසයි. ඇසිපිය හෙළන මොහොතෙන්, සතර අපායට ගෙන යන අකුසල් අපේ සිතේ හට ගන්නා බව හිතට එබී බැලුවොත් පෙනෙයි. ඒ තරමට මේ අකුසල් ජීවිතය අභ්‍යන්තරයට කිඳා බැසලාමයි තිබෙන්නේ. ඒ විතරක් නොවේ, අපේම කර්මයෙනුත් හොඳට බැට කන්න වෙනවා. සසර පුරුදුත් එමටයි. මෝඩකම නිසා කෙළවරක් නැතුව වළවල්වල වැටෙනවා නේද? ඒ මදිවට අමනුෂ්‍ය ප්‍රශ්න. හදි හූනියං කරනවා. නොනවත්වාම ජරා මරණ දුකෙන් වෙලිලා ඉන්නේ. පින් බලයකුත් හරියට නෑ. සක්කාය දිට්ඨිය නිසා පටලැවිලා ඉන්නේ. ලෙහාගන්න කොනක්, පොටක් හොයාගන්න බැරුව ඉන්නේ. අවිද්‍යාව කියන අඳුරේ ගිලිලයි ඉන්නේ. අධර්ම රාගය, විෂම ලෝභය, මිථ්‍යාදෘෂ්ටිය බලවත් වෙලා තියෙන්නේ. කෙලෙස් වරුසාවෙන් නිතර තෙමිලා ඉන්නේ. හැම තැන ම අධර්මය පැතිරිලා. ඉතින් මේ වගේ මහා භයානක තත්වයක අපේ ජීවිත තිබෙන්නේ. අපි අසරණයි. මේ අසරණකමෙන් මිදෙන්න සරණ පිහිටන හැටි ඔබට මේ ලිපියෙන් දැනගන්නට ලැබේවි.

ශක්තිමත් ගොඩනැඟිල්ලක පදනම තමයි එහි අත්තිවාරම. ඒ වගේ මේ ධර්ම මාර්ගයේ අත්තිවාරම තමයි ‘සරණ’ කියලා කියන්නේ. සරණක් අවැසි නම් පළමුවෙන් ම අපේ අසරණකම ගැන හොඳට තේරුම් ගන්නම ඕනෙ. බුද්ධ කාලයේ සිටි මිනිසුන්ගේ පින් බලය නිසා වචනයෙන් කියූ පමණින් සරණ පිහිටියා. අද අපි ගිරව් වගේ “මම බුදුන් සරණ යමි” කියා දහස් වර කීවත් සරණ පිහිටන්නේ නෑ.

හේතුව සරණ කියන්නේ, මොකක්ද කියා පැහැදිලි කරගෙන නැති නිසයි. ඒ වගේම සරණ පිහිටන අයුරින් මෙනෙහි කරන්න දක්ෂ නැති නිසයි. අපේ හිත පිහිටන්නේ, හිත බැසගන්නේ අපි සංවේදී දේවලටයි. අපට රාගයක්, ද්වේෂයක්, මානයක් හට ගත්තාම එහි හිත පිහිටන්නේ ඒක හොඳට හිතේ අටුවන් බැහැල තිබෙන නිසයි. ඒකට සංවේදී නිසයි. ඒත් ශ්‍රද්ධාව හට ගත්තා ම, සරණ ගියා ම ඒකේ හිත බැසගන්නේ නැත්තේ අපේ සිතේ කුසල් මුල් බලවත් නැති නිසයි. පැහැදීම බලවත් නැති නිසයි. අපේ පැහැදීම බලවත් කර ගත්තොත්, “ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙස් ප්‍රහාණය කළ සේක. භාග්‍යවතුන් වහන්සේ තමා මට සරණ. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වදාළේ කෙලෙසුන් නැසීමටයි. ඒ නිසා මේ ධර්මයත් මට සරණක්.

බුදු සමිඳුන්ගේ ශ්‍රාවක සංඝරත්නය මේ කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. ඒ නිසා ශ්‍රාවක සංඝරත්නයත් මට සරණක්.” කියලා. එතකොට තමා සරණ පිහිටන්නේ.

අපි අනියත ගති ඇති අය නිසා සෝවාන් වන තුරු අපට රැකවරණයක්, සරණක් වුවමනයි කියලා පැහැදිලි කර ගෙන තිබෙන්න ඕනෙ.

දවසක් දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් අසා සිටියා. “මේ ලෝක සත්වයා පිහිටලා ඉන්නේ කුමක් මත ද?” කියලා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ

“මේ ලෝක සත්වයා පිහිටා ඉන්නේ දුක මත.” කියල යි. ඒ බුදු වදන මොනතරම් නම් සත්‍යයක් ද? මේ කරුණ අපි හොඳට මතක තියාගන්න ඕනෙ. අපි දුක් ගොඩක ඉන්න බව අමතක වුණොත් අපට සරණට පැමිණෙන්න බැරි වෙනවා ම යි.

අන්ධකාරයේ ඉන්න කෙනකුට ඈත පැල්පතක දැල්වෙන පහන් එළියක් දකින්නට ලැබුණොත් ඒක දිහා බලාගෙන ආලෝකය තිබෙන දිශාවට යන්න පුළුවන්. ඒ වගේ “භාග්‍යවතුන් වහන්සේ සරණ යෑම, ධර්මය සරණ යෑම, ශ්‍රාවක සංඝරත්නය සරණ යෑම” අන්ධකාරයේ ඈත පේන එළි වගේ පෙනෙන්න ඕනෙ. එතකොට අඳුර මැදින් හෙමිහිට ඉලක්කය තියෙන දිශාවට යන්න පුළුවන්. ඒ විදිහට තමන්ගේ ජීවිතයේ පිහිටට තියෙන දෙය පැහැදිලි කර ගන්න ඕනෙ. යහපත අයහපත තේරුම් ගන්න ඕනෙ. එතකොට අනෙක් දේ ප්‍රශ්න නොවේවි.

අපේ හිතේ සරණ පිහිටන ආශ්චර්ය ක්‍රමයක් තිබෙනවා. ඒක මනාව තේරුම් ගෙන ජීවිතයට ගලපා බලන්න ඕනෙ. පුරුදු කරන්න ඕනෙ. නිතර නිතර මෙනෙහි කරන්න ඕනෙ. එතකොට සරණ මේ හිතේ පිහිටනවා ම යි. ඒක මේ විදිහට තේරුම් ගනිමු. යම් හේතුවක් නිසා ඔබට තරහක් ඇති වූ විට මේ විදිහට සිහි කරන්න. දැන් මා තුළ තරහක් හටගත්තා. ඒක මහා භයානක දෙයක්. මා දුගතියට රැගෙන යන දෙයක්. අනේ මම සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ ද්වේෂයෙන් සදහට ම නිදහස් වූ උත්තමයෙක් නේද? භාග්‍යවතුන් වහන්සේට තරහ හටගන්නෙ නෑනේ. එහෙනම් උන්වහන්සේ ම යි මට සරණ’ කියලා සරණ යන හැටි තේරුම් ගන්න. ඊට පස්සෙ හිතෙන්නෙ ඕනෙ ඒ බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් වදාළා. ඒ ධර්මයෙන් අපට කියා දුන්නෙත් මේ අකුසල් ප්‍රහාණය කරන්න ම යි. මේ ධර්මය මට සරණක්. මේ ධර්මයේ හැසිරුණු ශ්‍රාවක සංඝරත්නය මට සරණ යි. උන්වහන්සේ මේ ධර්මය පුරුදු කර සියලු අකුසල් ප්‍රහාණය කළා. මේ ආකාරයට සරණ මෙනෙහි කරද්දී ද්වේෂය ඔබගේ සිතේ පිහිටන්නේ නැතිව යනවා. සරණෙහි ම හිත පිහිටන්න ගන්නවා. ඒකයි බුද්ධ දේශනාවේ තිබෙන්නේ, “මහණෙනි, යම් විටක තථාගතයන් වහන්සේ සිහි කරයි ද, ඒ අවස්ථාවේ ඔහුගේ සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යට නොවෙයි.” කියලා.

ඒක හරියට මේ වගේ දෙයක්. වැස්ස වෙලාවට නොතෙමී ඉන්න පුළුවන් විශාල කුඩයක් වගේ. (ඡත්තං මහන්තං යථ වස්ස කාලේ) කුඩේ ළඟ නැති කෙනා වැස්සට තෙමි තෙමී විඳවනවා මිසක් බේරිල්ලක් නෑ. වැස්සෙන් බේරෙන්න නම් ඔහු ළඟ කුඩේ තිබෙන්න ඕනෙ. කුඩේ තිබෙනවා නම් වැහි බිඳු එක දෙක වැටෙන කොට ඔහු ඉක්මනට කුඩේ ඉහළ ගන්නවා.

එතකොට වැස්සට තෙමෙන්නෙ නෑ. කුඩෙන් ආවරණය වෙලා නිසා බේරෙනවා. (ඒසානිසංසෝ ධම්මේ සුචිණ්ණේ) ධර්මයේ හැසිරීමේ ආනිසංසය මෙයයි. (න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී) ධර්මයේ හැසිරෙන පුද්ගලයා දුගතියේ යන්නේ නෑ.

ඔය විදිහට අපේ හිතේ රාගය, ද්වේෂය, ඉරිසියාව, උඩඟුකම, බය ආදි ළාමක මනෝ විතර්ක හට ගන්න වාරයක් වාරයක් පාසා භාග්‍යවතුන් වහන්සේගේ සරණ මෙනෙහි කළොත් ටික ටික ඔබගේ සිත සරණෙම පිහිටනවා. හිතෙන් කෙලෙස් බැහැර වෙනවා.

හරියට වැස්ස වහින හැම අවස්ථාවේ ම කුඩේි ඉහළා ගත්තොත් නොතෙමී ඉන්න පුළුවන් වගේ. ඉතින් හිත සරණේ පිහිටන කොට ඒ සරණ තුළ තමයි ධර්මය වැඩ කරන්නේ. ඒ සරණ නොපිහිටන තාක් කල් ධර්මය දැනුමක් පමණයි. දැනුමකින් එහාට දෙයක් ලබන්න බෑ. හේතුව තමයි තමන් තුළ ශ්‍රාවකභාවය පිහිටලා නැතිකම. එය ආභරණයක් වගේ. නමුත් ඊට එහා දෙයක් කරන්න බෑ. ඒ නිසා සරණේ පිහිටා සිටීම කියන්නේ මහානුභාව සම්පන්න දෙයක්.

එනිසා ඔබගේ හිතේ ළාමක අකුසල් හටගන්න කොට සරණ ම මෙනෙහි කරන්න ඕනෙ. තමන්ගේ හිතේ රාගයක්, ද්වේෂයක්, මෝහයක්, ආඩම්බරකමක්, බයක්, තැතිගැනීමක් ඇති වුණාම,

“අනේ බුදුරජාණන් වහන්සේට මේ කෙලෙස් නෑනේ” කියලා මෙනෙහි කරන දේ සත්‍යයක් ද? අසත්‍යයක් ද? සත්‍යයක් ම යි. මේ ධර්මය පුරුදු කිරීමෙන් ළාමක අකුසල් දුරුවෙනවා කියන එක සත්‍යයක් ද? අසත්‍යයක් ද? සත්‍යයක් ම යි.

මගඵලලාභී ශ්‍රාවක සංඝරත්නය මෙවැනි අකුසල් දුරු කළා කියන දෙය සත්‍යයක් ද? අසත්‍යයක් ද? සත්‍යයක් ම යි. සත්‍යය තුළයි ආනුභාවය තිබෙන්නේ. ඒ ආකාරයට මෙනෙහි කරන්න දක්ෂ නො වන තාක් කෙලෙස් වරුසාවෙන් තෙමි තෙමී තමයි ඉන්න වෙන්නේ.

ධර්මය මෙනෙහි කිරීමේ දක්ෂතාව තමා මෙහි අත්තිවාරම. එසේත් නැත්නම් පදනම. ධර්ම ඥානය හරියට තමන් තුළ පිහිටන්න නම් ඒකට වුවමනා කරන මූලිකම දේ තමයි සරණ කියන්නේ. ඒ කියන්නේ තමන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය බව මතක තිබීම, ධර්මය සරණ ගිය බව මතක තිබීම, ශ්‍රාවක සංඝරත්නය සරණ ගිය බව මතක තිබීම, ඒ මතකයෙන් බැහැර වූ දැනුම තමන්ට ආඩම්බරකමක් සපයයි. “අන් අයට වඩා තමන්ට දැනුමක් තිබෙනවා” කියලා උඩඟු සිතක් ඇති කරලා දෙයි. තමාටත් දැන් යම් දැනුමක් තිබෙනවා කියලා තමන්ට හිතෙයි. ඊට එහා දෙයක් නෑ. ඊට එහා දෙයක් ලැබෙන්න නම් නිතර ම තමන්ට සරණ සිහිවෙලා තිබෙන්න ඕනෙ. ඒ වගේම තමන් සීලයක පිහිටි බව සිහි වෙන්න ඕනෙ. ඔය මූලික සරණයටයි, සීලයටයි කියන්නේ සෝතාපත්ති අංග සමාදන් වෙනවා කියලා.

සෝවාන් වූ කෙනකුට නම් බුදු සමිඳුන් කෙරෙහි පිහිටි පැහැදීම සෙලවෙන්නෙ නෑ. ඒ වගේ ම ධර්මය කෙරෙහි, සංඝරත්නය කෙරෙහි පිහිටි පැහැදීම සෙලවෙන්නෙ නෑ. සීලයත් ආර්යකාන්ත බවට පත් වෙනවා. එතකොට සරණ ම යි ස්ථිර වෙන්නේ. සරණ මනා කොට නො පිහිටපු අය දහම් කතාව කරන්නේ අන් අයගේ ප්‍රසාදය දිනා ගැනීමට යි. ඊට එහා දෙයක් නෑ. සරණින් බැහැරව විමුක්තියක් හෙව්වට ඒ විමුක්තිය කවදාවත් ලැබෙන්නේ නෑ. ඒ කියන්නේ සරණ නැති ව කවදාවත් ධර්මය අවබෝධ කරන්න බෑ. කිසිදු මගඵලයක් ලබන්න බෑ. ඒ නිසා මේ කරුණු තේරුම් ගෙන සරණේ මනා කොට පිහිටියොත් ඒ කෙනාගේ හිතේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි මහා ගෞරවයක් හටගන්නවා. ඒ ගෞරවයෙන් ධර්මය සේවනය සේවනය කරනවා. එවිටයි ධර්මය පිහිටන්නේ.

වෙසක් පුර අටවක

අප්‍රේල් 23 බ්‍රහපතින්දා අ.භා. 08.55න් පුර අටවක ලබා 24 සිකුරාදා අ.භා. 07.28න් ගෙවේ.
 24 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   

Full Moonඅමාවක

මැයි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]