දන් දෙන්නාගේ පරමාර්ථය සිත ලෝභයෙන් මුදා ගැනීමයි

දන් දෙන්නාගේ පරමාර්ථය සිත ලෝභයෙන් මුදා ගැනීමයි

බෞද්ධ දර්ශනයට අනුව දානය යනු අත්හැරීම යි. නැතිනම් පරිත්‍යාගය යි. දානය සංසාර ගමන තුළ අප කාටත් සැප විපාක ළඟා කර ගැනීමට උපකාරක වන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ගේ ආරම්භක අවස්ථාවයි.

දානය ප්‍රධාන වශයෙන් ආකාර කිහිපයකට ම බෙදා දැක්විය හැකිවේ.

ආමිස දාන

ආමිස දාන යනු ආහාර පාන, වස්ත්‍ර සේනාසන, ගිලන්පස ආදී භෞතික වස්තූන් අවශ්‍යතා ඇති අයට හෝ පූජ්‍ය පක්ෂයේ කා හට හෝ පූජා කිරීමයි. භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කරනු ලබන මල් පහන්, සුවඳ පැන්, ගිලන්පස පූජාවන්ද ආමිස පූජාව වේ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ පරිදි ආමිසයට වඩා ප්‍රතිපත්තිය උතුම් වේ. නමුත් අප කා හටත් මූලිකව ම ධර්ම මාර්ගයේ ගමන් කිරීමේ ආරම්භයක් ලෙසත් සෞම්‍ය වූ චෛතසික පහළ කර ගැනීමේ පහසු ක්‍රමයක් ලෙසත් එමෙන්ම සසර තුළ නිවන් දකින තාක් සැප සම්පතින් ආඪ්‍ය වූ ජීවිත හා සුගති සැප සම්පත් ලැබීමටත් ආමිස දානය උපකාරක වේ. දානං සග්ගස්ස සෝතාණං යන බුද්ධ වචනයෙන් විස්තර කෙරෙන්නේ දානය ස්වර්ගයට බවයි.

ධර්ම දානය

සියලු දානයන්ට වඩා උතුම් දානය ධර්ම දානයයි. “සබ්බ දානං ධම්ම දානං ජිනාති” යන පාඨයෙන් පැහැදිලි වේ. දහම් කරුණු එය කියාදීම, දහම් පොත්පත් බෙදා හැරීම, ධර්ම මාර්ගය පෙන්වාදීම ධර්ම දානයකි. ඉතා පිරිසුදු චේතනාවකින් මෙම කුසලය සිදු කර ගැනීමට මනාවූ හික්මීමක් තිබිය යුතුය. ධර්ම දානය බලවත් ආනිසංස ගෙන දෙන්නේ එසේ වූ විටය. මන්ද,ධර්මය ප්‍රචාරය කිරීම ආත්ම අභිවෘද්ධිය පිණිස නොව කාරුණිකත්වය, පරාර්ථකාමීත්වය ආදි තැන්හි පිහිටා කළ යුත්තකි.

අභය දානය

අභය යනු භය නැති කිරීම ය. මරණයට කැප වූ සතුන් නිදහස් කිරීම, බියෙන් සිටින අයට ආරක්ෂාව සැලසීම හා අන් අයට හිංසාවක් නොකර ජීවත්වීම පවා මීට අයත් වේ. ඔබ සමාදන් වන පංච සීලයේ ‘පානාතිපාතා’ සිල්පදයත් අභය දානයට අයත් වේ.

දානය පිළිගන්නා පාර්ශ්වය අනුව දානය බෙදා දැක්විය හැකියි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ දක්ෂිණා විභංග සූත්‍රයේ දක්වා ඇති පරිදි මූලිකව ම දානය කොටස් දෙකකට බෙදිය හැකිය.

01. පුද්ගලික දානය

කිසියම් නිශ්චිත පුද්ගලයෙක් හෝ ගණනක් අරමුණු කරගෙන දෙනු ලබන දානය යි. මෙය පුද්ගලයාගේ ගුණ ස්වභාවය අනුව ආකාර 14කට බෙදේ. බුදුරජාණන් වහන්සේගේ සිට තිරිසන් සත්වයා දක්වා ම පුද්ගලික දාන පරාසය විහිදී ඇත. උදාහරණයක් ලෙස නිවෙසට වැඩම කළ එක් භික්ෂුන් වහන්සේ නමකට දානය පිළිගැන්වීම, යාචකයකුට මුදල් හෝ ආහාර ලබා දීම. පුද්ගලික දාන විෂයයෙහි බලවත්ම ආනිසංස ලබන දානය නම්. බුදුරජාණන් වහන්සේ පූජා කරනු ලබන දානය යි.

02. සාංඝික දානය -

පුද්ගලිකත්වයෙන් පූජා නොකර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ තුන්කාලයේ මහා සංඝරත්නය අරමුණුූ කරගෙන පූජා කරනු ලබන දානය යි. මෙහිදී මේ මා අඳුරන හිමිනමක්, මිත්‍ර හිමි නමක්, ගුණවත් හිමිනමක් ආදී වශයෙන් තෝරා ගැනීමක් සිදු නොකරයි. පුද්ගලික දාන දස දහසකටත් වඩා එක් සාංඝික දානයක් මහත්ඵල මහානිසංස බව බුදු දහමේ ඉගැන්වේ. දෙනු ලබන දානයේ ස්වභාවය, දානය අනුවද බෙදා දැක්විය හැකිය. දානයක් දීමේදී දන් දෙන්නා සතු වස්තූන් හා දෙනු ලබන ආකාරය අනුව දානය කොටස් තුනකට මෙහිදී බෙදා දක්වයි.

01. දාස දානය

තමා පරිභෝජනය කරනු ලබන ආකාරයටත් වඩා බාල සහ ගුණාත්මයෙන් අඩු දෙයක් අනුන්ට දීමයි. මෙහිදී ලෝභී සිත සම්පූර්ණයෙන් යටපත් වී නැත. මෙසේ ලෝභ චේතනාවෙන් දන් දෙන්නාට ආනිසංස දුබලභාවයට පැමිණේ.

02. සහය දානය

තමන් පරිභෝජනය කරනු ලබන දෙයට සමාන ගුණාත්මයෙන් යුතු දෙයක් දන් දීමයි. පළවැනි ආකාරයට වඩා කුසලානිසංස රැස් වේ.

03. සාමි දානය

තමා පරිභෝජනය කරනු ලබන දෙයට වඩා ගුණාත්මයෙන් උසස්ව ඉතා පිරිසුදුව සහ වටිනා දෙයක් දන් දීම සාමි දානය යි. මේ ආකාරයෙන් දන්දීම වඩා කුසලානිසංස සහ විපාක ගෙන දේ. මෙහිදී දාන දායකයාගේ ලෝභ සිත යටපත් වී ඇත. කා හට දන් දුන් දෙයක් වුවත් මේ ආකාරයෙන් දන් දීම සුදුසු ය.

පාරමිතා ලෙස දානය බෙදෙන ආකාර

සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝසතාණන් වහන්සේ පුරනු ලබන දාන පාරමිතාව මට්ටම් තුනකින් යුක්තය. මෙය ඕනෑම බෞද්ධයකු තමන්ගේ පරිත්‍යාගශීලී බව මැන ගැනීමට ගත හැකි මිනුම් දණ්ඩකි.

01. දාන පාරමිතා

තමා සතු වස්තූන් දන්දීම දාන පාරමිතාව යි.

වෙස්සන්තර රජු තම රාජ්‍යය දන්දීම, දූ දරු පිරිස දන් දීම උදාහරණ ලෙස ගත හැකිය.

02 දාන උප පාරමිතාව

තමාගේ ශරීර අවයව අන් අයට පරිත්‍යාග කිරීමයි. ලේ දන් දීම, ඇස් දන් දීම, වකුගඩු දන් දීම ආදිය අයත් වේ. උදාහරණයක් ලෙස අප මහා බෝසතාණන් වහන්සේ රජු ලෙස සිටිය දී ඇස් දන් දුන් අවස්ථාව ගත හැකිය.

03. දාන පරමත්ථ පාරමිතාව

තමාගේ ජීවිතය පවා අන්‍යයන් උදෙසා පරිත්‍යාග කිරීමයි. උදාහරණයක් ලෙස කුසගින්නේ සිටි ව්‍යාඝ්‍ර ධේනුවකට ආහාරය පිණිස තම ශරීරය බෝසතාණන් වහන්සේ දන් දීමයි. එය ඉතා දුෂ්කර දානයකි.

දානය ආනිසංස වැඩිවීමට බලපාන කරුණු

දානයක ආනිසංස බලවත්වීමට දීම පමණක්ම නොව තවත් කරුණු බලපායි. එනම්

1. දායකයාගේ පිරිසුදු භාවය - දානය පූජා කිරීමට පෙර, දෙන අවස්ථාව, දුන් පසු සිතේ ඇතිවන සතුට පූර්ව මංචන අපරයන අවස්ථා තුන පිරිසුදු චේතනාවලින් යුක්ත වීම දානයේ ආනිසංස බහුල භාවයට පත් කරයි.

2. දන්දෙන වස්තුවේ පිරිසුදු බව - දාන වස්තුව නොකළ යුතු වෙළෙදාමින් තොරව, දැහැමිව ලබාගත් දාන වස්තුවක් වීම තමන් දහදිය වගුරුවා හෝ වෙහෙස වී ධාර්මික රැකියාවකින් උපයා ගත් දෙයක් වීම මින් අදහස් වේ.

3. ප්‍රතිග්‍රාහකයාගේ පිරිසුදුකම - දානය ලබන තැනැත්තා සිල්වත්, ගුණවත් අයකු වීම දානයේ ආනිසංස වැඩිවීමට හේතු වේ. කෙසේ වුවත් සාංඝික දාන විෂයයේ දී මෙය බලපාන්නේ නැත. මන්ද යත් ප්‍රමාණ කළ නොහැකි තරම් තුන්කාලයට ම මහ සඟරුවන අයත්වන නිසාවෙනි. අගුණවත් කෙනකුට වුවද දන් දීමේ දී කරුණා මෛත්‍රියෙන් දිය යුතුය.

දානයේ ආනිසංස

භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි නිතර දන්දෙන පුද්ගලයා මෙලොව පරලොව වශයෙන් ඵලවිපාක බොහෝමයක් ලබයි. එනම්

බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්වීම, කලණ මිතුරන් ඇසුරට ලැබීම, කීර්තිය පැතිරීම, ඕනෑම පිරිසක් අතරට බිය සැකකින් තොරව යාහැකි වීම, මරණින් මතු සුගතිගාමී වීම.

වඩවඩාත් විස්තරාර්ථ සහිතව දාන ආනිසංස විපාක ලද්දා වූ ආකාරය හා එම ස්වභාවයන් විමානවත්ථු ආදී ග්‍රන්ථ පරිශීලනයෙන් දැනුවත් විය හැකිය.

දුරුතු අමාවක

ජනවාරි 18 ඉරිදා පූ.භා. 00.04න් අමාවක ලබා 19 සඳුදා
පූ.භා. 01.21 න් ගෙවේ.
18 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

Full Moonපසළොස්වක

‍පෙබරවාරි 01 

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]