|
දුරුතු අමාවක පෝ දා
2026-01-18
අප්‍රමාදි වෙමු
එක් ව්‍යවහාර වර්ෂයක් අවසන් කොට නව ව්‍යාවහාරික වර්ෂයක් ආරම්භයේ අපි ගමන් කරමින්
සිටින්නෙමු. 2025 වර්ෂ අති ශීඝ්‍රගාමී ව ගෙවී ගිය අයුරු බොහෝ දෙනෙක් අත්විඳින්නට
ඇත. දින 365 මේ සා වේගයෙන් ගෙවී ගියේ සමාජ, ආර්ථික මෙන් ම පෞද්ගලිකව අප මුහුණ දුන්
අර්බුදයන් ගහන වූ කාල පරිච්ඡේදයකිනි. අප සිතනවාට වඩා වේගයෙන් කාලය ගත වෙනවා පමණක්
නොව, අප අපේක්ෂා කරනවාට වඩා තීව්‍ර වූ නොයෙක් අර්බුදයන් ද අප කරා එළඹේ. ජීවත්වීම
යැයි කියන්නේ ඒ පැටලැවිලි ලෙහා ගනිමින් යෙදෙන ගමනට ය.
උදෑසන අවදිවී වැඩපලට පැමිණෙමින් සිටියවුන් ද, වැඩබිමේ සේවයේ නියුතු ව සිටිය ද, වැඩ
ඇරී නිවෙස් වෙත යමින් සිටිය ද, රාත්‍රියේ පවුලේ උදවිය සමඟ පවුලේ කටයුතුවල යෙදෙමින්
සිටිය ද, කමින්, බොමින් සතුටු වෙමින් සිටිය ද, විවේකීව, නිදහසේ සිටිය ද, ඕනෑම අයෙක්
කිසිදු පණිවිඩයක් හෝ ඉඟියක් හෝ නො තබා මරණයට පත් වූ අවස්ථා ගැන කොතකුත් නම් මේ ගෙවී
ගිය වසරේ අපට අසන්නට දකින්නට ලැබුණා නොවේ ද? ඒ ඇතැම් මරණයන්ගේ අනපේක්ෂිත ස්වභාවය,
ඛේදනීයභාවයත් ගැන ඇසෙද්දී අප සිත තුළත් යම් සසලවීමක් ඇති වුවත්, ඒ ගැන වැඩි තැකීමක්
නො කරමු. අපිද ඒ ඉරණමින් නිදහස් වූවෝ නොවෙමු. මිනිසුන්ගේ ආයුෂය වසර හැට දහසක් වූ
කාලයේ දී අප මහා බෝසතාණන් වහන්සේ ‘අරක’ නම්වූ ශාස්තෘවරයකු ව ඉපිද තමන් වහන්සේගේ
අනුගාමිකයන් හික්මවූයේ තණ අග වූ පිනි බිඳ හිරු උදාවන කල්හි සැණෙකින් බිඳී යන
පරිද්දෙනි. මිනිසුන්ගේ ජීවිතය පවතින්නේ ඉතා සුළු කලක් බව නුවණින් අවබෝධ කොට ගෙන
කුසල් කළ යුත්තේ ය කියා අවවාද කර ඇත. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එකරුණ
දක්වා සියක් වසරකට මඳක් වැඩියෙන් මිස බොහෝ කල් ජීවත් නො වන මේ කාලයට ද ඒ පර්යාය
මැනවින් කිවයුත්තේ යැයි වදාළ සේක.
“සියක් වසරක් ජීවත් වන්නෙක් ගේ රාත්‍රීන් තිස් හය දහසක් ගෙවී යන කල්හි දෙවේලෙහි බත්
අනුභව කරන්නේ නම් වාර ගණනින් හැත්තෑ දෙදහසකි. එයද බත් වැරදුණු කාලය අතහැරීමෙනි”
යනුවෙන් වසර සියයක් ජීවත් වන්නෙක්ගේ ආයුෂය ද, ආයු ප්‍රමාණය ද ඍතු ද, අවුරුදු ද, මාස
ද, අර්ධ මාස ද, රාත්‍රී ද, දහවල ද, බත ද, බත වැරදුණු කාලය ද ගණන් කොට දක්වමින් අපගේ
ශාස්තෘන් වහන්සේ වදාළේ “මහණෙනි, ශ්‍රාවකයන්ට හිතෛෂී වූ, අනුකම්පා ඇත්තා වූ
ශාස්තෘවරයකු විසින් අනුකම්පාව උපදවා යමක් කළයුත්තේ ද මා විසින් එය ඔබට කරන ලද්දේ ය.
මහණෙනි, ඔය තිබෙන්නේ රුක් සෙවණ ය. ඔය තිබෙන්නේ ශූන්‍යාගාරයෝ ය. මහණෙනි, ධ්‍යාන
වඩව්. ප්‍රමාදයට පත් වන්නට එපා. ප්‍රමාදයට පත් වූ පසු කලක පසුතැවෙන්නට එපා. මෙය ඔබට
අපගේ අනුශාසනාවයි.” යනුවෙනි. (අරක සූත්‍රය අං. නි. සන්තක නිපාතය) සියක් වසරක් ම අප
ආයුෂ ලබන්නේ වුවද දැනුදු ඉන් යම් කාලයක් ඉක්මවා ගොස් ඇත. ඒ කාලය ඉක්ම ගියේ ද, උපන්
පැටලැවිලි ලෙහා ගැනීම තුළ පමණක් නම්, පැටලැවිලි උපදින්නා වූ ස්වභාවය හඳුනා ගැනීමට
එයින් නිදහස් වීමට උත්සාහයක් නොවන්නේ නම්, උතුම් ක්ෂණ සම්පත්තිය හිමිව තිබියදීත් මේ
ජීවිතයට අප ඵලදායි ව අනලස්ව සහ අප්‍රමාදීව කුසල්දහම් තුළ හසුරුවමින් සනාතන රැකවරණය
ලැබීමට තවමත් හිතෛෂී වූවා මදි නොවේ ද? නව වසරට අප පිය නැඟුවත්, නැතත් අප කළයුත්තේ
වහා වහා ම අප්‍රමාදී වීම ය. |