සුවබර දිවියක් 40 කොටස: සිහිය දියුණුකර ගැනීමට අලසබව මකා දමන්න

සුවපත් මනසක් සුවබර දිවියක් 40 කොටස:

සිහිය දියුණුකර ගැනීමට අලසබව මකා දමන්න

ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමියන් විසින් රචිත Mindfulness in plain English  (සතිමත් බව වැඩීම) කෘතියෙනි.

සෑම සංගීතඥයෙක් ම ස්වර වාදනය කරයි. පියානෝ වාදනය ඉගෙන ගන්නා ඔබ, පළමුව ඉගෙන ගන්නා ස්වර වාදනය කිසිදා නවත්වන්නේ නැත. ඉතාම දක්ෂම පියානෝ වාදකයා පවා ස්වර වාදනය දිගට ම කරගෙන යයි. එය මලකඩ කෑමට ඉඩදිය නො දිය යුතු මූලික නිපුණතාවයකි.

සෑම බේස්බෝල් ක්‍රීඩකයෙක් ම පන්දුවට පහර දීම පුහුණුවෙයි. ඔවුන් ඉගෙන ගන්නා මුල්ම දෙය එය මෙන්ම කවදාවත් එම පුහුණුව නතර නො කරයි. සෑම ලෝක තරග මාලාවක් ම ආරම්භ වන්නේ පන්දුවට පහරදීම පුහුණුවෙනි. මූලික නිපුණතා සෑම විට ම මනාව මුවහත්ව පවත්වා ගත යුතුයි.

භාවනානුයෝගියා තමාගේ මූලික නිපුණතා පුහුණුවන්නේ වාඩි වී භාවනා කරමිනි. ඔහු තමාගේ පංච ඉන්ද්‍රියයන් භාවිත කරමින් තමාගේ ජීවිත අත්දැකීම් ක්‍රීඩාවේ නිරත වී සිටියි. බොහෝ අත්දැකීම් සහිත භාවනානුයෝගීයා ද තමාගේ මූලික නිපුණතා මුවහත් කරන වාඩි වී කරන භාවනාවේ නිරත වෙයි. කෙසේ වෙතත් වාඩි වී භාවනා කිරීම පමණක්ම ක්‍රීඩාව නො වන බව මතක තබාගැනීම වැදගත් ය. එය පුහුණුව යි. එම නිපුණතා පාවිච්චි කළ යුතු ක්‍රීඩාව තමාගේ ජීවිත පැවැත්ම ය. එදිනෙදා ජීවිතයේ දී ප්‍රයෝජනයට නො ගන්නා භාවනාව ඵල රහිත හා සීමිත පුහුණුවකි.

විපස්සනා භාවනාවේ අරමුණ ඔබ ඉන්ද්‍රියයන් මඟින් හා සංජානනයෙන් ලබන අත්දැකීම්වල මූලික හා ස්ථිර වෙනසක් ඇති කිරීම යි. එමඟින් ඔබගේ මුළු ජීවිත අත්දැකීමේ ම පෙරළියක් ඇති කිරීම බලාපොරොත්තු වේ. වාඩි වී භාවනා කරන කාල සීමාවන් අලුත් මානසික පුරුදු ඇතිකර ගැනීම සඳහා වෙන්කර ඇති කාලයකි. සංවේදනා ලබා ගැනීමේ හා අවබෝධ කර ගැනීමේ නව ක්‍රම ඔබ ඉගෙන ගනියි. ඔබගේ සිතිවිලි සමඟ ගනුදෙනු කරන නව ක්‍රම හා නිරන්තර වේගයෙන් පහළවන හැඟීම් හසුරුවා ගැනීමේ නව ක්‍රම සොයාගනු ඇත. මෙම නව මානසික හැසිරීම් ඔබගේ එදිනෙදා ජීවන රටාවට එකතු කර ගත යුතුයි. එසේ නොකළහොත් භාවනාව ඵලරහිත, ජීවිතයට සම්බන්ධ නොවූ, න්‍යායාත්මක අත්දැකීම් සමූහයක් පමණක් වනු ඇත. මෙම කොටස් දෙක සම්බන්ධ කිරීම සඳහා උත්සාහ දැරීම අත්‍යවශ්‍ය ය. යම් ප්‍රමාණයක ඒකාබද්ධ කිරීමක් ඉබේම සිදුවෙන නමුත් එය ඉතා සෙමෙන් සිදුවන ක්‍රියාවලියක් වන අතර, එතරම් විශ්වාසදායක ද නොවේ. මෙය ප්‍රතිඵල රහිත ක්‍රියාවක් යයි සිතා මේ සියල්ල අත්හැර දැමීමට පවා ඔබට සිතෙනු ඇත.

එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කටයුතු කරමින් සිටිය දී ම ඔබ භාවනාවේ යෙදෙමින් සිටින බව ප්‍රථම වතාවට දැන ගැනීම ඔබගේ භාවනා ජීවිතයේ වඩාත්ම මතකයේ රැඳෙන සිදුවීමක් වනු ඇත. ඔබ මහ මඟ ගමන් කරමින් සිටින විට හෝ, කැළිකසළ ඉවත්කරමින් සිටින විට හෝ ඉබේම එය සිදුවෙනු ඇත. ඔබ පරිස්සමින් ගොඩනඟා ගත් මෙම නිපුණතාවය සැලසුම් නොකළ අවස්ථාවක මෙලෙස මතුවීම සැබෑ ප්‍රීතියට හේතුවකි. එය ඔබට අනාගතය දැකීම සඳහා කුඩා කවුළුවක් විවර කර දෙයි. පුහුණුවේ සැබෑ අරුත පිළිබඳ මොහොතක එබී බැලීමක් වැනි වැටහීමක් ඉබේම ලැබෙනු ඇත. විඥානික සිතිවිලිවල ඇතිවූ මෙම වෙනස සැබැවින්ම ඔබගේ අත්දැකීම්වල ස්ථිර අංගයක් වීමට තිබෙන ඉඩකඩ ඔබට දැනෙනු ඇත.

තවදුරටත් ආශාවන් හා ලෝභයන් ඔබ පසු පස ලුහු නො බඳීන බවත් ඔබව බෙලහීන කරන සිතේ පැලපදියම් වී සිටින පීඩාකාරී සිතිවිලිවලින් මිදී ජීවිතය ගත කළ හැකි බවත් ඔබට තේරුම් යයි. පිටත සිට ඒ සියල්ල දෙස බලා සිටීමේ රසය ඔබට දැනෙනු ඇත. එය විශ්මයජනක මොහොතකි.

ඔබ ක්‍රියාශීලීව භාවනාව ජීවිතයට ඈඳා නො ගතහොත් මෙම දැක්ම ඉටුනොවනු ඇත. වාඩි වී සිටි කොට්ටය මතින් නැඟිට සිටීම භාවනා පුහුණුවේ ඉතාම වැදගත් මොහොතයි. භාවනාව අවසානයේ දී සමස්ත ක්‍රියාව ම අතහැර දැමීම හෝ එම නිපුණතාවයන් ජීවිතයේ අනෙක් කටයුතුවලට රැගෙන ඒම ඔබට කළ හැකිය.

භාවනාව යනු කුමක්ද? යන්න හරිහැටි අවබෝධ කර ගැනීම වැදගත්ම කටයුත්තකි. එය විශේෂ ඉරියව් සමූහයක් හෝ හුදෙක් ම මානසික අභ්‍යාස ගොන්නක් නෙවේ. භාවනාව යනු සිහිය දියුණු කර ගැනීම හා දියුණුවූ සිහිය එදිනෙදා ජීවිතයේ දී ප්‍රයෝජනයට ගැනීම යි. භාවනාවේ යෙදීමට වාඩිවීම අවශ්‍ය නැත. පිඟන් සෝදන අතරතුරේදී ඔබට භාවනා කළ හැකිය. ජලස්නානය කරන අතර හෝ ලිපියක් ලියන විට ද ඔබට භාවනා කළ හැකිය. භාවනාව යනු අවදිමත් බව බැවින් එය ජීවිතයේ සෑම කාර්යයක දීම භාවිත කළ හැකිය. නමුත් මෙය පහසු නොවේ. අප සාමාන්‍යයෙන් නිශ්චල පරිසරයක වාඩි වී සිහිය දියුණු කර ගැනීමට උත්සුක වන්නේ එවිට එය පහසුවෙන් කළ හැකි බැවිනි. චලනය වන විට භාවනා කිරීම වඩාත් අසීරු ය. ශබ්ද සහිත වේගයෙන් කරන කර්තව්‍යයන්හිදී ද භාවනාව තවත් දුෂ්කර ය. ප්‍රේමාන්විත ක්‍රියාවලදී හෝ තර්ක කිරීමේ දී වැනි මමත්වය උච්ච අවස්ථාවන්හි දී භාවනා කිරීම පරම අභියෝගයක් වනු ඇත. ආරම්භකයෙක් ඔහුගේ මනස පීඩාකාරි ක්‍රියාවන්වලින් තොරව හෝ අවම මට්ටමක පවත්වා ගත යුතුයි.

නමුත් පුහුණුවේ අවසාන අරමුණ වන, පීඩාකාරී සමාජයේ දී පවා නො වෙනස් වන මට්ටමකට සමාධිය හා සිහිය වර්ධනය කර ගැනීම, එසේම පවතී. ජීවිතය අභියෝග ගොන්නක් ඉදිරිපත් කරන අතර සැබෑ භාවනානුයෝගියා කිසිදාක එයින් විඩාපත් නොවේ.

භාවනාව ඔබගේ සාමාන්‍ය ජීවිතයට ගෙන ඒම පහසු කටයුත්තක් නොවේ. උත්සාහ කර බලන්න. ඔබගේ වාඩි වී කරන භාවනාවේ අවසානය හා “සාමාන්‍ය ජීවිතය” පටන් ගැනීම අතර සංක්‍රමණික මොහොත ඉතා දිගු පිම්මකි. අප බොහෝ දෙනකුට එය ඉතා දිගු ය. සමාධිය හා ශාන්ත බව විනාඩි ගණනක් තුළදී දිය වී ගොස් අප කලින් සිටියා වැනි තත්ත්වයට ම පැමිණේ. මෙම පරතරය දුරලීම සඳහා වසර සියගණනක් මුළුල්ලේ බෞද්ධයෝ මෙම සංක්‍රමණය පහසු කරවන අභ්‍යාස මාලාවක් සකස් කළහ. ඒවා එම දිගු පිම්ම කුඩා පියවර සමූහයකට කඩා දමයි. සෑම පියවරක් ම තනිතනිව පුරුදු කළ හැකිය.

දුරුතු අමාවක

ජනවාරි 18 ඉරිදා පූ.භා. 00.04න් අමාවක ලබා 19 සඳුදා
පූ.භා. 01.21 න් ගෙවේ.
18 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

Full Moonපසළොස්වක

‍පෙබරවාරි 01 

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]