එදා අබෞද්ධයන් කී බුදු ගුණ
චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් දසපාරමී ධර්මයන් සම්පූර්ණ කොට බුද්ධත්වයට පැමිණි අප
තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නව අරහාදි ගුණයක් හෝ අෂ්ට විද්‍යා
පසළොස්චරණ ධර්මයක් හෝ දශබල චතුර්වෛශාරද්‍යාදී අපරිමිත ගුණ සමූහයක් හෝ අබෞද්ධයන්
දන්නේ නැත.
ඔවුන්ට වැටහෙන්නේ නැත. එහෙත් ඔවුන් පිළිගන්නා ගුණ සමුදායක් බුදුරජාණන් වහන්සේ
කෙරෙහි කවදත් පවතී. ඔවුන් කියා ඇති ඒ බුදුගුණ බුදුරජාණන් වහන්සේ විසින් අගය කරන ලද
ඒවා නොවන නමුත්, එබඳු ගුණ විශේෂයන් සාමාන්‍ය මහජනයා අතර එදා පමණක් නොව අද පවා
සම්භාවනයට හේතුවන කරුණු බව කිව යුතුය. බුද්ධ කාලයේදී ම අබෞද්ධයන් විසින් එකහෙළා
පිළිගත් ඒ ගුණ විශේෂයන් මොනවාදැයි සොයා බැලීමෙන් ලෝකයේ මානව සංස්කෘතිය පිළිබඳ
වැදගත් පාඩමක් ඉගෙන ගත හැකිවා පමණක් නොව තත්කාලීන මානව සිතුම් පැතුම් පිළිබඳ
අවබෝධයක් ද ලැබිය හැකි වන්නේය. එදා බොහෝ අන්‍ය තීර්ථකයන් හා ශ්‍රමණ බ්‍රාහ්මණයන්
බුදුරදුන්ගේ සිදුරු සොයමින් නොයෙක් අභූත චෝදනා හා අපවාදයන් නගා ඇති අතර, මධ්‍යස්ථ
මතධාරි ගුණගරුක සත්පුරුෂ බ්‍රාහ්මණාදීන් උන්වහන්සේගේ ගුණ නිසා ගරු බුහුමන් කර තිබෙන
බවද ත්‍රිපිටක සාහිත්‍යයෙහි සඳහන් වන්නේය.
එක්තරා ප්‍රභූ බ්‍රාහ්මණයකු වූ සෝණදණ්ඩ බ්‍රාහ්මණයා සිය සග බමුණන් සමඟ බුදු ගුණ කී
ආකාරයෙන් එදා ඔවුන් බුදුරදුන් දැන සිටි ආකාරය පැහැදිලි කරවයි.
බුදුරජාණන් වහන්සේ චම්පා නගරයට වැඩමවා සිටි අවස්ථාවක එහි අධිපතියා වූ සෝණදණ්ඩ
බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ දකින්ට යන්ට සූදානම් වෙද්දි සහායක බමුණන් ඔහු
වළකමින් “ශ්‍රමණ ගෞතමයන් ඔබතුමා වෙත පැමිණෙනවා මිස ඔබ එතුමන් වෙත යාම නුසුදුසුය’ යි
කරුණු ගෙන හැර පාමින් කියා සිටි විට, සෝණදණ්ඩ බ්‍රාහ්මණයා විසින් තමා බුදුන් වෙත
යාමේ යුතුකම් වශයෙන් ගෙනහැර දැක්වූ බුදුගුණ සැකෙවින් මෙසේය.
1. සත්මුතු පරම්පරාවක පටන් ජාතිවාදියෙන් හෙළා දකිනු නොලැබූ යහපත් මවුපිය
දෙපාර්ශ්වයකින් පැවත ඒම
2. වැදගත් විශාල නෑ පිරිසක් හැර පැවිදි වූ කෙනකු වීම
3. භූමිගත වූ ද, ආකාශ ගත වූද, හිරණ්‍ය ස්වර්ණාදි මහත් ධනයක් අත්හැර පැවිදි වූ කෙනකු
වීම
4. භද්‍ර යෞවන වයසේදීම ගිහිගෙදරින් නික්මීම
5.මවුපියන් අකමැත්තෙන් සිටිද්දීම ඇඬූ කඳුළෙන් සිටිද්දීම ගිහිගේ හැර පැවිදිවීම
6. පරම රූප සම්පත්තියෙන් හා දර්ශන සම්පත්තියෙන් අභිරූ පැවැත්වීම
7.ආර්ය ශීලයෙන් සිල්වත් වීම
8. අර්ථවත්, විශ්වසනීය, සභ්‍ය යහපත් වචන කතා කරන්නකු වීම
9. බොහෝ දෙනකුන්ගේ ආචාරය ප්‍රාචාර්යයෙකු වීම
10. කාමාශාවන් නැති කළ කෙනකුවීම
11. කර්මවාදි ක්‍රියාවාදි කෙනකු වීම හා බ්‍රාහ්මණ ජනයාට පව් පෙර දැරිව හැසිරෙන
කෙනකු නොවීම
12. උසස් වූ අසම්භින්න ක්ෂත්‍රිය කුලයකින් පැවත එන කෙනකු වීම
13. මහත් සම්පත් ඇති ආඪ්‍ය කුලයකින් පැවත ඒම.
14. නොයෙක් දෙනා ප්‍රශ්න අසා දැන ගැනීමට දුර රටවල සිට පැමිණෙනු ලබන කෙනකුවීම
15. ලක්ෂ ගණන් දෙවි දේවතාවන් උන්වහන්සේ සරණයාම
16.අරහාදි ගුණයන්ගෙන් සමන්විත යැයි පතළ කෙනකුවීම
17.දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වීම
18. ‘ඒහි සාගතවාදී’ (එන්න, ආයුබෝවන් කීම) ආදි ශිෂ්ට පැවතුම් ගුණයන්ගෙන් යුත්
කෙනකුවීම
19. සිවුපිරිස විසින් පූජිත සම්මානිත කෙනකුවීම
20 බොහෝ දෙව් මිනිසුන් මුන් වහන්සේ කෙරෙහි ප්‍රසන්නව සිටීම
21. මුන් වහන්සේ වසන තැන සිටින අමනුෂ්‍යයන් මිනිසුන්ට හිංසා පීඩා නොකිරීම
22. බොහෝ ශ්‍රාවක පිරිසක් ඇති ගණාචාර්යකු ද ශ්‍රේෂ්ඨ ආගම් කර්තෘවරයකු ද වීම
23. නොයෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සම්බුදු ගුණ කීර්තියකින් පතළව සිටිද්ද ඒ සියල්ලන්ටම
වඩා උන්වහන්සේගේ ඤාණ කීර්තිය පතළව තිබීම
24. අඹුදරුවන් හා මැති ඇමැතිවරුන් සහිතව බිම්බිසාර රජතුමා දිවි හිමියෙන් උන්වහන්සේ
සරණ ගොස් තිබීම
25. එසේම කොසොල් රජතුමාද, පොක්ඛරසාතී බ්‍රාහ්මණයා ද උන්වහන්සේ සරණ ගොස් තිබීම
26. ඒ සියල්ලටම වඩා ශ්‍රමණ භවත් ගෞතමයෝ චම්පා නගරයට ආගන්තුකයෙකි. ආගන්තුක සත්කාරය
අප විසින් කළ යුතුය. එහෙයින් උන් වහන්සේ හමුවීමට ළඟට යා යුත්තේ අප ය. මේ හැර තවත්
අප්‍රමාණ ගුණ උන්වහන්සේ කෙරෙහි ඇත්තේ යැයි සෝණදණ්ඩ බ්‍රාහ්මණයා සිය සගයන් අමතා
ප්‍රකාශ කළේය. ඒ අනුව ඔවුන් සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ වෙත ගියෝය.
සිද්ධාර්ථ කුමාරයන් වශයෙන් කළ ආත්ම පරිත්‍යාගයත්, පාරම්පරික වැදගත්කමත්, ශිෂ්ට
සම්පන්න ගතිගුණත්, ප්‍රසාදජනක රූප සම්පත්තියත්, කීර්තිමත්භාවය හා පරිවාර
සම්පත්තියත්, අනභිභවනීය බලපරාක්‍රමයත් කලින්ම නොමසුරුව පිළිගෙන සිටි නොයෙක්
බ්‍රාහ්මණයෝ බුදුරජාණන් වහන්සේ හමුවීමෙන් පසු උන්වහන්සේගේ ශීල, සමාධි, ප්‍රඥාදී ගුණ
විශේෂයන් අසා බුදු දහම වැලඳගත්හ.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපිලේඛන ඇසුරිනි
- හේමමාලා රන්දුනු |