ලොවට උතුම් පින්කෙත

ලොවට උතුම් පින්කෙත

අසූවැනි වයසෙහි පසු වූ පසේනදි කොසොල් රජතුමා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමිපයේ ඒ ශ්‍රාවක සංඝරත්නයේ ගුණ ශෝභමානවත් ව තම සිතැඟි පරිදි පසසමින් මෙසේ පැවසුවා.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, රජවරු වනාහි රජවරු සමඟ විවාද කරත් ම ය. ක්ෂත්‍රීයවරු ද ක්ෂත්‍රීයවරුන් සමඟ විවාද කරත් ම ය. බ්‍රාහ්මණවරු ද බ්‍රාහ්මණවරුන් සමඟ විවාද කරත් ම ය. ගෘහපතිවරු ද ගෘහපතිවරුන් සමඟ විවාද කරත් ම ය. මෑණියෝ ද දරුවා සමඟ විවාද කරත් ම ය. පියාණෝ ද දරුවා සමඟ විවාද කරත් ම ය. සහෝදරයා ද සහෝදරිය සමඟ විවාද කරත් ම ය. සහෝදරිය ද සහෝදරයා සමඟ විවාද කරන්නේ ම ය. යහළුවා ද යහළුවා සමඟ විවාද කරන්නේ ම ය.

එහෙත් ස්වාමීනි, සමගිව වැඩ වසන්නා වූ ද, සමඟිව සතුටු වන්නා වූ ද, වාදවිවාද නො කරන්නා වූ ද, කිරි හා දිය එක් වූ කලක් පරිද්දෙන් ඔවුනොවුන් කෙරෙහි පි‍්‍රය ඇසින් දකිමින් වාසය කරන්නා වූ ද, භික්ෂූන් වහන්සේ මම දකින්නෙමි. එනුදු ස්වාමීනි, මේ තරම් සමඟි සම්පන්න වූ ශ්‍රාවක පිරිසක් බුදු සසුනෙන් බැහැර වූ වෙන කිසිදු ආගමක මම නො දකින්නෙමි. ස්වාමීනි, මේ වනාහි භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ වූ මාගේ ධර්මානුකූල වැටහීම ය. එනම් ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රී සද්ධර්මය ද මැනවින් වදාරන ලද්දේ ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ද සුපටිපන්න වන සේක වශයෙනි. (ධම්මචේතිය සූත්‍රය)

මේ ආකාරයට අපගේ භාග්‍යවතුන් වහන්සේගේ බුදු සසුනේ පැවිදි වූ උතුම් සඟරුවන බුදු සසුනේ බඹසර සුරකිමින් නිවන් මඟ වැඩුවා. එනිසයි උන්වහන්සේ සියලු පිරිස් අතර අග්‍ර වන්නේ. ඒ සඟරුවන ආදරයෙන් සරණ යන ඒ සඟ පිරිසට ගරුසත්කාර දක්වන පිරිස මෙලොව වගේම පරලොව සැපයට පත්වන්නේ.

වස්කාලය එළඹුණ එක්තරා කාලයක භික්ෂුන් වහන්සේ සම්බුදුරජාණන් වහන්සේගෙන් අනුශාසනා ගෙන හිමාලය දෙසට වැඩම කළා. තමට බොහෝ දුර ද නොවූ, ළඟ ද නොවූ රමණීය වනාන්තරයක උන්වහන්සේ නවාතැන් ගත්තා. බණ භාවනා පුරුදු කරමින් කාලය ගත කළා. මේ පින්වත් ස්වාමීන් වහන්සේ ගස් යට වැඩ සිටිමින්, භාවනා කරද්දි උන්වහන්සේ සීල තේජස නිසා ඒ ගස්වල විමාන පිහිටාගෙන සිටි දෙවි දේවතාවන්ට ඒ විමානවල රැඳෙන්නට නොහැකි වුණා.

දෙවිවරු සිතුවා “මේ ස්වාමින් වහන්සේ දිනක් දෙකක් සිට නැවත වඩීවි” කියලා. නමුත් දිගට ම රැඳී සිටියා. දෙවිවරු දැනගත්තා මේ වස් තුන් මාසය ම මේ උත්තමයෝ එහිම වැඩ වාසය කරන්නට සූදානම් වන බව. දෙවිවරු කල්පනා කළා “හරි වැඩක් අපට වෙන්නේ. මාස තුනක් ම අපගේ විමානය නැති වෙනවා. ඊට වැඩියෙන් දිගට ම හිටියොත් අපට විමාන සදහට ම නැති වෙනවා. එනිසා අපි මේ පිරිස බියට පත් කරමුයි කතිකා කර ගත්තා. එදින රාත්‍රියේ දී බියකරු රූප මවමින්, ශබ්ද නඟමින්, දුර්ගන්ධය පතුරුවා හරිමින් ඒ ස්වාමින් වහන්සේ බියට පත් කළා. මේ කරදර, හිරිහැර මධ්‍යයේ ඒ ස්වාමින් වහන්සේ දුකසේ වස් කාලය ගත කළා.

වස් පවාරණයෙන් පසුව නැවත බුදුරජාණන් වහන්සේ වෙත වඩින ස්වාමීන් වහන්සේගේ මුහුණුවල පි‍්‍රයමනාප බවක් තිබුණේ නැහැ. බොහෝම වෙහෙසට පත්වෙලා සිටියේ. උන්වහන්සේ එකින් එක වූ කරදර බුදුරජාණන් වහන්සේ සැලකර සිටියා. භාග්‍යවතුන් වහන්සේ සම්බුදු නුවණින් දුටුවා මේ සඟ පිරිසේ ජය භූමිය ඒ රමණීය වන සෙනසුන කියලා.

“පින්වත් මහණෙනි, නුඹලා නැවත ඒ ස්ථානයට ම වඩින්න. නුඹලාගේ ජය භූමිය වන්නේ ඒ රමණීය වනය යි. මෙහි සිත අරමුණූ කොටගෙන වැඩිය යුතු ගුණදහම් පුරුදු කරගන්න” කියා අවවාද කරමින් කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළා.

ශාස්තෘන් වහන්සේගේ අවවාදය හිස් මුදුනින් පිළිගත් ඒ ස්වාමීන් වහන්සේ තමන් වහන්සේලාට බිය තැතිගැන්වීම ඇතිකළ ස්ථානයට යළිත් නො පැකිළිව වැඩම කළා. මෙත් සිතින් යුතුව ගුණදහම් වඩන සඟ පිරිස ගැන දෙවිවරුන්ගේ සිතේ මහා ප්‍රසාදයක් ඇති වුණා. ස්වාමීන් වහන්සේගේ මෙත් සිතේ ආනුභාවයෙන් දෙවිවරුන්ගේ අමනාපය දුරු වුණා. ඒ දෙවිවරු සඟ පිරිසට උපස්ථාන කරන්නට පටන් ගත්තා. උන්වහන්සේගේ සීල තේජසින් දෙවිවරු විමාන අතහැර දැමුවා. ඒ උතුම් සඟ පිරිස මෛත්‍රී චිත්ත සමාධිය ම දියුණු කර එයම විදර්ශනා කොට උතුම් අරහත්වය සාක්ෂාත් කළා.

ඒ වගේම නීච කුලයේ උපන් සත් හැවිරිදි සුනීත කුලීනයන්ගේ අසූචි කඳ කර තබාගෙන පාරේ ගමන් කරමින් සිටියා. මහාපුරිස ලකුණින් හෙබි අසහාය රූප කායකින් යුතු වූ සම්බුදුරජාණන් වහන්සේ ඔහු ඉදිරියට වැඩම කරමින් සිටියා. භාග්‍යවතුන් වහන්සේ දුටු සුනීත මහමගින් බැහැරව ගුළි ගැසුණා. තථාගතයන් වහන්සේගේ කරුණා නෙතට යොමු වූ සුනීත ඒහි භික්ෂු පැවිද්දෙන් ගෞතම සම්බුදු සසුනේ අරහත් ධජය දරාගත්තා. ඒ සුනීතයන් වහන්සේ නිවන අරමුණු කොටගෙන බණ භාවනා කරද්දී නොබෝ කලකින් සව්කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත් වුණා. පසුදා උදෑසන ඒ උත්තමයන් වහන්සේට දෙව්, බඹුන් රජුන් වන්දනා කළා.

එසේ මේ ලොව වැඩ සිටිමින් ලෝකයෙන් නිදහස් වූ අමා නිවනට වැඩි සාරිපුත්ත, මොග්ගල්ලාන ආදි වූ නිකෙලෙස් මහ රහතන් වහන්සේගේ පටන් අද දක්වා ම පැවැත එන ලොව වැඩ වෙසෙන උත්තම ශ්‍රාවක සඟ රුවනට අපගේ නමස්කාරය වේව.

දුරුතු අමාවක

ජනවාරි 18 ඉරිදා පූ.භා. 00.04න් අමාවක ලබා 19 සඳුදා
පූ.භා. 01.21 න් ගෙවේ.
18 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

Full Moonපසළොස්වක

‍පෙබරවාරි 01 

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]