[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මරණාසන්න වේදනාව සමනය කර ගන්නට...

මරණාසන්න වේදනාව සමනය කර ගන්නට...

සුදත්ත එහෙම නැත්නම් අපි කවුරුත් දන්න අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ බුද්ධ ශාසනයේ ප්‍රධාන දායකයා වගේම, සෑම බෞද්ධයකුම පාහේ ආදර්ශයට ගත යුතු ශ්‍රේෂ්ඨ චරිතයකින් හෙබි සත්පුරුෂ පුද්ගලයෙක්.

මේ අනේපිඬු සිටුතුමාට බුද්ධ ශාසනයේ ප්‍රධාන උපාසක තනතුර ලැබෙන්නේ අහම්බයකින් නම් නෙවෙයි, කල්ප ලක්ෂයක් පුරා ඒ වෙනුවෙන් ම පෙරුම්දම් පිරූ නිසා.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මෙතුමා සිටුවරයෙක්. එක් දවසක පදුමුත්තර බුදුරජාණන් වහන්සේ තම උපාසකයෙක් ප්‍රධාන දායක තනතුරේ පිහිටුවනවා මෙතුම දකිනවා. මොහුටත් හිතෙනවා අනාගතයේ දවසක මටත් මෙහෙම තනතුරක් ලබා ගන්න ඕන කියලා. සිටුවරයා සත් දිනක් බුදුරදුන් ප්‍රමුඛ ලක්ෂයක් භික්‍ෂු සංඝරත්නයට මහදන් පවත්වලා අවසාන දවසෙහි ප්‍රාර්ථනා කරනවා,

“මතු යම් භවයක කිනම් හෝ බුදුසසුනක ප්‍රධාන දායක තනතුර ලැබේවා” කියලා. මෙය දුටු බුදුරජාණන් වහන්සේ විවරණ දෙනවා, “මින් කල්ප ලක්ෂයක් මතුයෙහි ගෞතම බුද්ධ ශාසනයෙහි සුදත්ත නමින් ඉපිද අනාථපිණ්ඩික නමින් ප්‍රසිද්ධ ව එම සසුනෙහි ප්‍රධාන දායකත්වය දරන බව” එතැන් පටන් කල්ප ලක්ෂයක් පුරාවට සසර සැරිසරමින් දනාදී දස පින් කිරියවත් පුරමින් පැමිණ, අප ගෞතම බුදුරදුන් සමයෙහි සුදත්ත නමින් සිටුවරයෙක් ව ඉපිද අනාථපිණ්ඩික නමින් ප්‍රසිද්ධ විය.

බුදුරදුන් හමුවෙහි බණ අසා පැහැදී උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මහදන් පවත්වා, විශාල පරිශ්‍රමයක් යොදා රන් කහවනු භූමියෙහි අතුරා ජේත කුමරුගෙන් ඔහුගේ වන උයන ලබාගෙන, කෝටි ගණනක ධනයක් යොදවමින් ජේතවනාරාමය ඉදිකර බුදුසසුනට පූජා කළා.

දවසට අවස්ථා තුනක් පමණ බුදුරදුන් හා භික්ෂු සංඝයා මුණගැහීමට විහාරයට ගියා. මේ විදියට නොයෙක් කුසල කර්ම සිදු කරමින් තමා සිටුතුමා කාලය ගත කළේ.

මේ විදියට පින්කම් කර ගත්තු සිටුතුමා අවසාන කාලයේ දී දරුණු ලෙස රෝගාතුර වුණා. මේ පිළිබඳ මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසක පාළි අනාථපිණ්ඩිකෝවාද සූත්‍රයේ සඳහන් වෙලා තිබෙනවා. රෝගාතුර වුණ සිටුතුමාට බුදුහාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය දකින්න අවශ්‍ය වුණා.

තම සේවකයකුගේ අත පණිවිඩයක් යැව්වා බුදුහාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයට තමන් රෝගී වී ඇති බව දැනුම් දෙන්න කියලා. විශේෂයෙන් සැරියුත් මහරහතන් වහන්සේට තමන් බලන්න සිටු මාලිගයට වඩින්න කියලත් ආරාධනා කළා. මේ ආරාධනාවට සැරියුත් තෙරුන්, ආනන්ද තෙරුන් සමඟ මාලිගයට වැඩම කරනවා.

“සිටුතුමනි, ඔබට කෙසේද? ඉවසිය හැකිද? යැපිය හැකිද? ඔබගේ දුක් වේදනා අඩු ද? වැඩි ද?”

යනුවෙන් සෞඛ්‍ය තත්ත්වය විමසනවා.

ඒ වෙලාවේ සිටුතුමා කියනව, “ස්වාමීනි, මට ඉවසන්න බැහැ, මට දරාගන්න බැහැ, මගේ දුක් වේදනා උත්සන්නයි. තමන්ගේ අසාධ්‍ය බව තවත් පැහැදිලි කරනවා මේ විදියට,

“බලවත් පුරුෂයෙක් තියුණු ආයුධයකින් හිස් මුදුන පෙළන්නේ යම් සේ ද, ස්වාමීනි, වාතය මගේ හිස් මුදුන පෙළයි. ශක්තිමත් පුරුෂයකු වරපටකින් හිස බැඳ තද කරයි ද, එවිට වේදනාවක් ඇත් ද, ස්වාමීනි, වාතය මගේ හිස පෙළයි. ගව ඝාතකයකු ගවයකුගේ කුස කපන විට වේදනාවක් වෙද්ද, මාගේ කුසේ එබඳු වේදනාවක් දැනේ. බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුබල මිනිසෙකු අල්වා අඟුරු වළක ලා තබන්නේ ද, එපරිදි මගේ ශරීරයෙන් ඩාදිය ගලයි, තවයි, වේදනාව නැඟෙයි. යනුවෙන් සිය කායික වේදනාව විස්තර කළේ ය.

මේ ඇසූ සැරියුත් හිමිට අවබෝධ වූයේ සිටුතුමා අධික වේදනාවකින් සිටින බවත්, කායික වේදනාවට පිළියම මානසික සුවය සැලසීම පමණක් බවත් ය. එනිසා මෙතුමාගේ ප්‍රඥාව අවදි කොට ධර්ම මාර්ගයට සිත යොමු කිරීම පිණිස ධර්මය දේශනා කළහ.

මෙහිදී සැරියුත් හිමියන් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ෂඩින්ද්‍රියන් හා ඒවාට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන ෂඩාරම්මණයන් සංවර කර ගන්නා අයුරු දේශනා කළහ. ඇසට රූපය ගැටුණු විට නිමිති තුනක් ඇතිවේ.

මනාපයක් (සතුටක් - සුඛ)

අමනාපයක් (දුකක් - දුක්ඛ) හා

මනාපාමනාපයක් (මධ්‍යස්ථ බව - අදුක්ඛමසුඛ) ය.

මනාපයේ කෙළවර රාගය යි. නොඇලිය යුතුයි. අමනාපයේ කෙළවර ද්වේශය යි. නොගැටිය යුතුයි. මනාපාමනාපය මධ්‍යස්ථ ව උපේක්ෂාවක් බවට පෙරළා ගත යුතුයි. යනුවෙන් වදාළහ. මෙසේ ෂඩින්ද්‍රිය හා ෂඩාරම්මණ සේ ම, සතර මහාභූත (පඨවි, ආපෝ, තේජෝ, වායෝ) පඤ්චස්කන්ධය (රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ) අරූපාවචර ධ්‍යාන (ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්චායතනය, නේවසංඤ්ඤානාසඤ්ඤායතනය) හා මෙලොව හා පරලොව කෙරෙහි ද තෘෂ්ණා මාන ඇති නොකරගෙන හික්මීම ඇති කරගත යුතු බව සැරියුත් හිමියෝ තවදුරටත් වදාළහ. මෙය ශ්‍රවණය කළ සිටුතුමා හැඬුවේ ය. එවිට ආනන්ද තෙරුන් විමසුවේ, “සිටුතුමනි, සිත අරමුණුවල ඇලුනා ද? ගැළුනා ද?” “නැත ස්වාමීනි, සිත නොඇලුනෙමි. නොගැලුනෙමි. එතකදුවත් මෙතරම් කලක් බුදුරදුන් හා භික්ෂූන් ඇසුරු කළ ද, මෙබඳු ධර්මයක් නොඅසන ලදී.” සිටුතුමා පිළිතුරු දුන්නේ ය.

නොයෙක් කර්මාන්තවල නියැළී පඤ්චකාම අනුභව කරමින් කටයුතු කරන මිනිසුන්ට මෙවැනි ධර්ම දේශනා නොකරන බව සැරියුත් හිමියෝ වදාළහ. “හිමියනි, එසේ නොකියන්න. වහා ධර්මය අවබෝධ වන අල්ප රජස් මිනිස්සු සිටිති. ඔවුනට මෙබඳු දේශනා පවත්වන්න.” යනුවෙන් සිටුතුමා ඉල්ලා සිටියේ ය.

සැරියුත් ආනන්ද දෙනම ධර්මය දෙසා වැඩි පසු ස්වල්ප වේලාවකින් සිටුතුමා කළුරිය කොට තුසිත දෙව්ලොව අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍ර නාමයෙන් පහළ විය.

මෙම දිව්‍ය පුත්‍රයා බුදුරදුන් හමුවට පැමිණ, “බුදුරදුන් ප්‍රමුඛ භික්ෂු සංඝරත්නය ඇසුරු කරන ජේතවනාරාමය සමීපයෙහි සිටීමත් තමන්ට ප්‍රීතිය උපදවන බව ප්‍රකාශ කළේ ය. පසුව ගාථාවකින්.

පුද්ගලයකුගේ පාරිශුද්ධත්වය පිළිබඳ ප්‍රකාශ කරවන ලදී.

කම්මං විජ්ජා ච ධම්මෝ ච
සීලං ජීවිත මුත්තමං
ඒතේන මච්චා සුජ්ඣන්ති න
ගොත්තේන ධනේන වා

“මාර්ග චේතනා ඇති කර්මය ද, මාර්ග ප්‍රඥා ඇති විද්‍යාව ද, සමාධිපාක්ෂික ධර්මය ද, ඇති සිල්වතුන්ගේ

ජීවිතය උතුම් ය. එයින් මිනිස්සු පිරිසිදු වෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසුදු නොවෙත්.

මෙහිදී පැහැදිලි කරනුයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි

කම්මං යන්නෙන් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවය ද, විජ්ජා යන්නෙන් සම්මා දිට්ඨි හා සම්මා සංකප්පය ද, ධම්මෝ යන්නෙන් සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිය ද, විස්තර වේ.

තස්මාහි පණ්ඩිතො පොසො
සම්පස්සං අත්තමත්ත‌නො
යොනිසො විචිනෙ ධම්මං
එවං තත්ථ විසුජ්ඣති

“එහෙයින් නුවණැති මිනිසුන් තමන්ට වැඩ කැමැති ආර්ය ධර්ම නුවණින් විමසන්නේ ය. ඒ ආර්ය මාර්ගයෙහි පිරිසුදු වන්නේ ය.

මේ ගාථාවන්‌ගෙන් පුද්ගලයාගේ පාරිශුද්ධත්වය ධනයෙන් හෝ ගෝත්‍රයෙන් හෝ සිදු නොවන බවත්, ආර්ය මාර්ගයෙහි හැසිරෙන නුවණැත්තාට ම පිරිසිදු විය හැකි බවත් පැහැදිලි ය.

මින් පසුව සැරියුත් හිමියන්ගේ ගුණය ද ගායනා කළේ ය.

සියල්ල අනුමත කළ බුදුරදුන්, පසුදින දේවතාවෙක් පැමිණ මෙසේ ප්‍රකාශ කළේ යැයි මෙය නැවත ශ්‍රී මුඛයෙන් භික්‍ෂූන්ට දේශනා කළහ.

එය අසා සිටි ආනන්ද තෙරුන් එම දේවතාවා අනේපිඬු සිටුතුමා බව ප්‍රකාශ කළේ ය. බුදුරදුන් එය නිවැරැදි බව තහවුරු කළ සේක.

දුරුතු අව අටවක

ජනවාරි 10 සෙනසුරාදා
පූ.භා. 08.27න් අව අටවක ලබා
11 ඉරිදා. පූ.භා. 10.23න් ගෙවේ
10 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

Full Moonපසළොස්වක

 ‍පෙබරවාරි 01 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]