[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

භාවනායෝගියාගේ පරමාර්ථය කෙලෙස් සහිත සිත

භාවනායෝගියාගේ පරමාර්ථය කෙලෙස් සහිත සිත නිකෙලෙස් කර ගැනීමයි

බෞද්ධ භාවනාව යනු දීර්ඝ කාලයක් තිස්සේ මනස පුහුණු කිරීම සඳහා භාවිත වන ඉතා සාර්ථක ක්‍රමයකි. වර්තමාන කාර්යබහුල ජීවන රටාව තුළ මානසික නිදහස, සහනය ලබා ගැනීමට සහ සිත සන්සුන් කරගැනීමට බලාපොරොත්තු වන කාහටත් භාවනාව මහඟු පිටුවහලකි. භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීම මතින් වඩන්නා වූ භාවනා ක්‍රම ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ඉවහල් වේ.

සිත වැඩීම

භාවනා යන වචනයේ තේරුම සිත දියුණු කිරීම වැඩීම යන්න යි. එය තාවකාලිකව සිත සන්සුන් කර ගැනීමක් පමණක්ම නොව සිතේ දියුණුව ද සිදුවන ක්‍රියාවලියකි. බෞද්ධ භාවනාව තුළින් සිතේ ඇති කුසල ධර්ම නැවත නැවත මතු වී වැඩීමත්, ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් යටපත් වීම තුළින් සිතේ පිරිසිදු බව හෙවත් චිත්ත විසුද්ධියත් මූලිකව සිදු වේ. එම ක්‍රියාවලිය භාවනා යෝගියාට නො දැනීම සිදුවන සිද්ධියකි. උපමාවකින් කියතහොත් යම් රෝගයකට ප්‍රතිකාර ලබා ගන්නා රෝගියකු තමන් ලබා ගන්නා ඖෂධ ශරීරය තුළ ක්‍රියාත්මක වන ආකාරය නොදන්නා වුවත් නිසි ආකාරයෙන් ඖෂධ භාවිත කළ හොත් ඖෂධ ක්‍රියාත්මක වී සුවපත් වීම සිදු වන්නාක් මෙනි.

භාවනාව නිවැරැදිව වඩනා සෑම මොහොතකම කෙලෙස් යටපත්වීමේ ක්‍රියාවලිය සිදු වේ. චිත්ත ඒකාග්‍රතාවය ද ඇති වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝ සතුන්ගේ හිත සුව පිණිස පවතින භාවනා ක්‍රම බොහෝ ප්‍රමාණයක් දේශනා කර වදාළහ. සිත නිවා ගැනීමට සියල්ල වැඩිය යුතු නොවේ. නමුත් එක් භාවනාවක් හෝ ප්‍රගුණ කළ යුතු ය.

භාවනා ක්‍රම

බුදු දහමේ ඉගැන්වෙන භාවනා ක්‍රම ප්‍රධාන ආකාර දෙකකි.

සමථ භාවනා සහ විදර්ශනා භාවනා යි.

සමථ භාවනාව තුළින් සිදුවන්නේ කෙලෙස් නිසා විසිර පවත්නා චංචල වූ සිත යම් භාවනා අරමුණක් ඔස්සේ පිළිවෙළින් මෙහෙයවා එකඟතාවයට පත් කිරීමයි. එය සාමාධිය උපදවා ගැනීමකි. සමථයේ දී භාවනා අරමුණු ලෙස ගනු ලබන්නේ

1. බුද්ධානුස්සති 6. දේවතානුස්සති

2. ධම්මානුස්සති 7. උපසමානුස්සති

3. සංඝානුස්සති 8. මරණානුස්සති

4. සීලානුස්සති 9. කායගතාසති

5. චාගානුස්සති 10. ආනාපානසති භාවනායි.

එලෙසම දස කසිණ ලෙසින්

1. පඨවි කසිණය 6. පීත කසිණය

2. ආපෝ කසිණය 7. ලෝහිත කසිණය

3. තේජෝ කසිණය 8. ඕදාත කසිණය

4. වායෝ කසිණය 9. ආකාස කසිණය

5. නීල කසිණය 10. ආලෝක කසිණය

යන භාවනා අරමුණුත් දස අසුභ සහ සතර බ්‍රහ්ම විහාරත්, අරූපාවචර භාවනා ක්‍රම සතරත්, චතු ධාතු ව්‍යවස්ථාන හෙවත් ශරීරයේ ධාතුන් වශයෙන් දැකීමත්, අයිති වේ. මේ ක්‍රම සියල්ල ගත් විට කර්මස්ථාන සතළිහකි. මේ කර්ම සතළිස සම සතළිස් කර්මස්ථාන නමින්ද හඳුන්වනු ලබයි.

මෙම ක්‍රම මඟින් සිදුවන්නේ යහපත් කුසල අරමුණක සිත පවත්වා ගැනීම යි. මෙම භාවනා ක්‍රම පුරුදු පුහුණු වීම මඟින් ඔබට සිතේ සන්සුන් බව ගොඩනඟා ගැනීමටත් පංච නීවරණ යටපත්වීම නිසා ඇති වන උපචාර සමාධි (භාවනා වැඩීමේ දී ඇති වන මූලික සිතේ එකඟතාවයන්) ස්වභාවයනුත් ඇති කරගත හැකි වේ. වඩ වඩාත් දියුණු කළ හොත් ධ්‍යාන උපදවාගැනීමට හැකියාව ගොඩනඟා ගත හැකි ය.

විපස්සනා භාවනාව නැතහොත් විදර්ශනා භාවනාව, ප්‍රඥා භාවනාව ලෙසද හඳුන්වන්නේ විශේෂ වූ දැක්ම හෙවත් විනිවිඳ දැකීම යන්න යි. පරමාර්ථ ස්වභාවයන් හඳුනාගැනීම මූලික කරගන්නා භාවනා ක්‍රමය යි.

යෝගාවචරයකු සමථ භාවනාව ඔස්සේ භාවනාවන් වඩා සිත එකඟ වූ පසු තමන් යනු නාම රූප ධර්ම ලෙස මෙනෙහි කරමින් ඒවායේ අනිත්‍ය දුක්ඛ අනත්ත ස්වභාවයන් නුවණින් විමසා බැලීම මූලිකම විදර්ශනා වැඩීමයි. මෙහිදී නාම රූප ධර්ම ත්‍රිලක්ෂණය ඔස්සේ මෙනෙහි කිරීම මඟින් යෝගියා හට ලෝකය සකස් වී ඇති පරමාර්ථ ස්වභාවයන් වටහාගැනීමට හැකියාව ඇත. මෙය විදර්ශනාව වැඩීමේ මූලික අවස්ථාව යි.

විදර්ශනා භාවනා වැඩීම යෝගියා හට විවිධ ආකාර ඔස්සේ සිදු කිරීමට හැකියාව පවතී. එනම් සළායතන ලෙස පංචඋපාදානස්කන්ධ ලෙස ධාතු අටලොස ලෙසින් ආදී වශයෙන් විවිධ ක්‍රම රාශියක් ඔස්සේ විදර්ශනාව වැඩීමේ හැකියාව පවතී. විදර්ශනා වැඩීම තුළින් යෝගියාට “මම” යන්න හොඳින් අවබෝධ කිරීමට හැකියාව ඇත. සසර දුක නිමා කර ගත හැකි ක්‍රමය නම් විදර්ශනාව යි. පිරිසිදු ලෙස විදර්ශනාව වැඩීම සඳහා ඉතා පැහැදිලිව කර්මස්ථාන ලබාදෙන ගුරුවරයකු සොයාගත යුතු වේ. විදර්ශනා වඩන යෝගියා හට ගුරුවරයා සමඟ සාකච්ඡා කිරීමට අවකාශය තිබීම භාවනාව සාර්ථක වීමට සෘජුවම බලපාන කරුණකි. මන්දයත් භාවනා වැඩීම යනු කයේ රෝගාබාධයකට බෙහෙත් දීමක් නොව සිතේ ඇති කෙලෙස් රෝගය සුවපත් කිරීමට පිළියම් කිරීමකි. එය සාකච්ඡා කරමින් හා ප්‍රශ්න විචාරමින් හා සැක දුරු කර ගනිමින් සිදු කළ යුත්තකි. භාවනාව ආරම්භ කිරීම ආධුනික භාවනා යෝගියකු තමන්ට සුවපහසු හා නිශ්ශබ්ද වටපිටාවක් සහිත ස්ථානයක තම භාවනාව ආරම්භ කිරීම වඩාත් සුදුසු වේ. ඉරියව් පවත්වා ගැනීමට පුරුදු වීම වැඩි වේලාවක් තමන්ට පවත්වා ගත හැකි ඉරියව්වක් පුරුදු කර ගැනීම අවශ්‍යය. පර්යංකයෙන් සිටීමේ අපහසුතා ඇති අය විසින් පුටුවක හෝ බිම දෙපා දිගා කරගෙන සිටිමින් භාවනාව පුරුදු කිරීම වරදක් නැත. ආරම්භයේදී මිනිත්තු 5 - 10 වැනි කෙටි කාලයක් හෝ ඉරියව් පැවත්වීමට පුරුදු කර ගැනීමත් දිනෙන් දින හෝ දින දෙකකට වරක් කාලය ටික ටික වැඩි කර ගත හැකි ය. කෙසේ වුවද භාවනා වැඩීමේදී ඇතිවන ඉරියව් අපහසුතා පවා ගුරුවරයා සමඟ සාකච්ඡා කළ යුතුය. ඔබ කිසිම විටෙක උපදෙසකින් තොරව භාවනාව සම්බන්ධ විනිශ්චය කිරීම හෝ වෙනස් කිරීම නොකළ යුත්තකි.

සිත විසිරීම

භාවනාවේ දී සිත විසිරීම ඉතාමත් ස්වභාවික දෙයකි. සිත විසිරීම හෙවත් වෙනත් අරමුණුවලට ගිය විට ඒ බව දැනගෙන නැවත නැවත එසේ වුවත් කලබලයක් හෝ කළකිරීමක් ඇති නො කරගෙන ඉවසීමෙන් හා සිහිකල්පනාවෙන් යුක්තව සිත නැවතත් භාවනා අරමුණේ පිහිටවා ගත යුතු ය. සෑම විට ම භාවනා කරන විට අලුතින් භාවනා කරන යෝගියකු සේ තමන් ලැබූ අත්දැකීම් හෝ පෙර සිදුවූ සිත් කලබල වීම් හෝ නැත්නම් භාවනාවේ වැඩීම නො වැඩීම හෝ උපාදාන නො කරගත යුතු ය. මන්දයත් සමහර යෝගීන් භාවනා වැඩීමේ දී තමන් පෙර වැඩූ භාවනාවල අත්දැකීම් සොයන්නට ගොස් භාවනාව අසාර්ථක කරගනී. ඒ දේ පිළිබඳව තර්ක කර කර සිටීම භාවනා යෝගීයා හට බලවත් බාධාවකි.

අසමබරතාව විමසීම

භාවනාවක් මඟින් සමාධියක් උපදවා ගැනීම සඳහා මූලික වන හේතුන් තුනකි. එනම් ශ්‍රද්ධා වීර්ය සිහිය වේ. ඔබේ භාවනාව වැඩීම සාර්ථක නොමැති නම් මොහොතකට ශ්‍රද්ධා වීර්ය සිහිය යන බල ධර්ම හා ඉන්ද්‍රියධර්ම ලෙස ක්‍රියාත්මක මෙම ධර්මවලින් කුමක් අඩුද හෝ අසමබරද යන්න විමසා බලන්න. එය ඔබට විසඳගත නොහැකි නම් වැරැදි නිගමනවලට නෑවිත් ඔබේ කර්මස්ථාන ලබා දෙන ගුරුවරයා සමඟ ගැටලුව සාකච්ඡා කර ගැටලුව හඳුනාගන්න. එය ඔබේ භාවනාවේ දියුණුවටත් ගැටලු නැවත ඇතිවුහහොත් එය මඟහරවා ගැනීමටත් උපකාරක වේ.

සාකච්ඡා කළ යුතු දේ

භාවනා වඩන යෝගීන් ධර්ම කරුණු බොහෝ ලෙස නොවූවත් යම් තරමකින් දැන සිටිය යුතු ය. මන්දයත් එය භාවනාවේ සාර්ථකත්වයට අවශ්‍ය වේ. මූලිකව ම පංචනීවරණ, පංචබල, පංචඉන්ද්‍රීය, දස පාරමිතා, දස සංයෝජන, අර්ය අෂ්ඨාංගික මාර්ගය, චතුරාර්ය සත්‍ය, ආදී ධර්ම කොටස් දැන සිටීම හෝ ධර්මධර ගුරුවරයකු සමඟ සාකච්ඡා කිරීම කළ යුත්තකි.

භාවනාවෙන් ලෞකික ජීවිතයට

භාවනාවෙන් සිත සන්සුන් වීම නිසා ඔබට එදිනෙදා ජීවිතයේ ඇතිවන මානසික පීඩාකාරී තත්ත්වයන් මඟහරවාගත හැකි වේ. මානසික ආතති තත්ත්වයන් හා සාංකාවන් ආදී ස්වභාවයෝ ඇති නොවේ. තවද වර්තමානය තුළ ජීවත් වීමට පුරුදුවීම ජීවිතයේ අහිමිවීම් මෙන්ම හිමිවීම් වුවත් සමබරතාවයකින් යුක්තව දරා ගැනීමට හැකියාවක් ඇති වේ.

එදිනෙදා කටයුතු සිතට එකඟව සිහි කල්පනාවෙන් යුක්තව සිදු කිරීමේ හැකියාව. එය ලෞකික ජීවිතයේ දියුණුවට බලපාන ප්‍රධානම ලක්ෂණයකි. නීරෝගීමත් බවට සිතේ සැනසීම සන්සුන් බව හේතුවක් බව වෛද්‍ය විද්‍යාවෙන් බොහෝ කලකට පෙර සොයාගත් කරුණකි. සුවදායි නින්දත්, චිත්තවේගී හෙවත් ඊර්ෂ්‍යා, ක්‍රෝධ ආදී ක්ෂණික ආවේගයන් නුවණින් දැක පාලනය කර ගැනීමට හැකි වේ.

වේගවත් ජීවන රටාවක් තුළ ජීවත් වන ඔබ අප කාහටත් කායික මෙන්ම මානසික පීඩාවන් දුරුකර ගැනීමටත්, රැකියාවන්ගේ කාර්යබහුල මානසික රටාව තුළින් මිදීමටත්, පවුල් ගැටලු හා සාමාජීය අභියෝග හමුවේ සිත සැනසීමේ ඇති කර ගැනීමටත් එකම සහ හොඳම ක්‍රමය නම් අවුරුදු 2500 කටත් වැඩි කාලයක් තිස්සේ මනස සුවපත් කිරීමේ හා ප්‍රඥාව දියුණු කිරීමේ අද්විතීය මාර්ගය වන භාවනාව දියුණු කිරීම යි. මානසික සහනය පමණක් නොව විමුක්තිය ළඟාකර ගැනීමේ එකම මඟ ද එයයි.

දුරුතු අව අටවක

ජනවාරි 10 සෙනසුරාදා
පූ.භා. 08.27න් අව අටවක ලබා
11 ඉරිදා. පූ.භා. 10.23න් ගෙවේ
10 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

Full Moonපසළොස්වක

 ‍පෙබරවාරි 01 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]